ජනාධිපතිතුමනි, මෙහෙම ආදායම් බදු ගැහුවොත් අපට මේ රටේ නැවත ආයෝජන කරන්න වෙන්නෙ නෑ – ඩඩ්ලි සිරිසේන

2018 දිගන ගැටුමේ සිට මේ වනවිට මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්වය දක්වා විවිධ අසීරුතාවන් මැදින් පැමිණි මෙරට ව්‍යාපාරිකයින්ගෙන් 36%ක ආදායම් බදු ප්‍රතිශතයක් දිගටම අය කරන්නේ නම් එම ව්‍යාපාරිකයින්ට මෙරට තුළ යළි ආයෝජන කිරීමේ හැකියාවක් නොමැති වනු ඇති බව අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

“ඇමතිතුමනි අපිටත් තියෙනවා මහ විශාල ගැටලු. ආදායම් බදු … රජයක් හරි විදියට ක්‍රියාත්මක වෙන්න – රජයක් නෙවෙයි ගෙදරක පවුල ගත්තත්, ඕනෑම ආයතනයක් ගත්තට්, ඕනෑම වැඩපිළිවෙලක් ගත්තත් ඒ සියලු දේ කරන්න අත්‍යාවශ්‍ය මූලිකම අමුද්‍රව්‍ය තමයි මුදල්. මේ මුදල් සම්බන්ධව ගත්තාම, මේ රටට ලෝකෙට නොපෙනෙන මහා සේවාවක් කරනවා අපේ ව්‍යාපාරිකයින් පිරිසක්. බැංකුවල තියෙන්නෙ මහජන මුදල්. ඒ මුදල් අපි අරගෙන ව්‍යාපාර කරලා තමයි ලාභයක් අරගෙන, ඒ ණය ගෙවලා, ඒ තැන්පතුකරුවන්ට වගකීමක් විදියට ඒ කියන පොලිය ලබාදෙන්නෙ විශේෂයෙන්ම අපි. නමුත් පහුගිය කාලෙ මේ රටේ ඇතිවුණු තත්වයන් එක්ක අවසානයේදී IMF එකේ යෝජනා යටතේ තමයි අපේ රටේ මූල්‍ය කටයුතු සියල්ලම දැන් පාලනය වෙන්නෙ. හැබැයි ඇමතිතුමනි, 36%ක පුද්ගලික බද්දක් අපෙන් අයකරනවා. ආයතනවලින් 30%ක් අයකරනවා. කිසිම ගැටලුවක් නෑ … ඇමතිතුමා මීට වැඩිය මම කිව්වොත් මට කියයි ‘නෑ ඩඩ්ලි, 50%ක් අයකරන රටවලුත් ලෝකෙ තියෙනවා’ කියලා. ඔව්, පිළිගන්නවා. ඔවුන් රටක් වශයෙන්, ආර්ථිකයක් වශයෙන් ශක්තිමත් වැඩපිළිවෙලකට ගිහිල්ලා, ආදායම් හොයාගෙන, ඇතැම් වෙලාවට ඒ රටේ සමස්ත ජනතාවටම විශ්‍රාම වැටුප් ගෙවන රජයන් ඒවා. අපේ මොනවද දෙන්නෙ ? රාජ්‍ය සේවකයාට හරි පඩියක් ගෙවාගන්න බැරි, රාජ්‍ය සේවකයාට හරි විශ්‍රාම වැටුපක් ගෙවාගන්න බැරි මේ ආර්ථික පසුබිම හදපු අයත්, හදන අයත් පිළිබඳ මම ඉතාමත් කල්පනාකාරී විදියට තමයි ඉන්නෙ. ඒ නිසා නියෝජ්‍ය ඇමතිතුමනි, මුදල් ඇමතිතුමා වශයෙන් ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාටත් මම මතක් කරනවා – මට හැම වෙලාවෙම මේ මීඩියා හම්බවෙන්නෙත් නෑ, මම ව්‍යාපාරිකයෙක්, ඒක නිසා මට මේවා හම්බුණු දවසට කියන්න ඕනෙ ඔක්කොටම කියන්න ඕනෙ තේරෙන එකෙන්ම – 36%ක බද්දක් අපේ ආදායමෙන් එකතු කරපුවාම මේක IMF එකේ යෝජනාවක් වශයෙන් මේ 36% එකතුකිරීමේ ඔවුන්ගේ ප්‍රධාන අරමුණ ඔවුන් දීපු ණයට ආරක්ෂාවක් සපයාගෙන ඒ ණය මුදල අයකරගැනීම. නමුත් නායකයින් වශයෙන් පාලකයින් වශයෙන් පැහැදිලිව ඔවුන්ට කියන්න ඕනෙ මේක අවුරුදු 5ක් තිස්සේ 2018 දිගන සිද්ධිය, 2019 පාස්කු සිද්ධිය, කොවිඩ් සිද්ධිය, ආර්ථිකය වැටුණු සිද්ධිය, දිට්වා සිද්ධිය, මේ ඇතිවෙලා තියෙන යුද්ධ තත්වය, මේ සියලු දේවල් යටතේ අපිට මේ වාගෙ බද්දක් ගෙවන්න වුණොත් අපේ රීඉන්වෙන්ස්ට්මන්ට් කියලා එකක් මේ රට තුළ දකින්න හම්බවෙන්නෙ නැහැ. මේ ගැන කාරුණික අවධානයක් යොමුකරන්න”

ඩඩ්ලි සිරිසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (28) ගාල්ලේදී පැවති ගෝල් සිටි සෙන්ටර් සුපිරි සාප්පු සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය අමතමිනි.