*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

පොදු සම්මුතියකට සජබ, එජාප ඇතුළු විපක්ෂයේ පක්ෂ රැසක් එක්වෙයි !

රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩගැනීමට නම් පොදු සම්මුතියකට යායුතුම බවට සජබ, ශ්‍රීලනිප, එජාප සහ ටීඑන්ඒ නායකයෝ සහ මාධ්‍යවේදීන් පිරිසක් එකම වේදිකාවකදී එකඟ වෙති.

ආර්ථික හා සමාජීය වශයෙන් රට ඇද වැටී ඇති දැවැන්ත ප්‍රපාතයෙන් ගොඩ ගෙන ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීම සඳහා මේ රටේ සියලුම දේශපාලන බලවේග පොදු සම්මුතියකින් යුතුව පෙළ ගැසිය යුතුව ඇතැයි සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය යන ප්‍රමුඛ දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සහ දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා එකම වේදිකාවකදී ප්‍රකාශ කළේය.

ඔවුන් මෙම අදහස පළකරන ලද්දේ ‘සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය’ මගින් පසුගිය ඉරුදින (27) සංවිධානය කරන ලද ‘කතිකාව’ සංවාදාත්මක වැඩසටහනට එක්වෙමිනි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ප්‍රවීණ මාධ්‍යවේදියකු වන වික්ටර් අයිවන් මහතාද සහභාගි විය.

පැමිණ සිටි සියලු දෙනාගේ ඒකමතික මතය වූයේ මෙම අවුල් වියවුල් 20 වැනි සංශෝධනය නිසා ඇති වූ බවය. එම නිසා ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට පූර්ණ බලය පැවරීම හා 20 වැනි සංශෝධනය බලරහිත කිරීමෙන් ගැටලු රාශියක් නිතැතින්ම විසඳන බවට මත පළ විණ.

මෙම ක්‍රියාදාමයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැනි මධ්‍යස්ථ මධ්‍යස්ත මත හා උපදෙස් ලබා ගැනීම වඩා ප්‍රයෝජනවත් බව වික්ටර් අයිවන් මහතා මෙහිදී යෝජනා කර සිටි අතර එම යෝජනාවටද සහභාගි සහභාගිවූවන්ගේ එකඟත්වය ලැබිණි.

”පොදු එකඟත්වයකින් යුතුව වැඩ කිරීමට කාලය ඇවිත්” – දයාසිරි

‘අද වන විට ආණ්ඩුව අසමත් වී ඇති බව ඉතාම පැහැදිලියි. එය වෙනම කාරණයක්. ඇත්ත ප්‍රශ්නය එය නොවේ. රට අසමත්භාවයකට පත්කර තිබෙනවා. එය වහාම වළක්වාගත යුතුයි. ඒ සඳහා මේ රටේ සියලු දේශපාලන බලවේග පොදු සම්මුතියකට පැමිණිය යුතුයි. අප සර්ව පාක්ෂික සමුළුවක් පිළිබඳව වන අදහස ජනාධිපතිවරයාට ඉදිරිපත් කළේ ඒ නිසයි’ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

මෙම සංවාදයේදී දයාසිරි ජයසේකර අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

රට ඇද වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ගැනීමට අප යෝජනා 22 ක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළා. එමෙන්ම ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ 11 නායකයන් එකට එක්වී මේ ගැන සාකච්ඡා කළා. එයින් පසුව ඇති වූ තත්ත්වය රටම දන්නවා. ඇමතිවරු දෙදෙනෙක් ආණ්ඩුවෙන් ඉවත් කළා. කෙසේ නමුත් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කළේ එවැනි තත්ත්වයක් තුළ ශ්‍රීලනිපය සමග එක්ව එම ගැටලුව සමහන් කර ගැනීමට හැකියැයි හිතපු නිසා වෙන්න පුළුවන්. නමුත් අප එහෙම හිතන්නේ නැහැ.

කොහොම නමුත් එම සමුළුවේදී මහ බැංකු අධිපතිවරයා දේශපාලන ප්‍රකාශයක් කළා. ඒක වැරදියි. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහතා සමග වාදයක් ඇතිවුණේ. ඒ නොවිය යුතු තත්ත්වයක්.

කොහොම නමුත් අද අපට පොදු එකඟත්වයකින් යුතුව වැඩ කිරීමට කාලය ඇවිත්. එක් එක් දේශපාලන පක්ෂ වෙන වෙනම දේශපාලනය කළාට අපට ප්‍රශ්නයක් නැහැ. නමුත් රට වැටී ඇති මෙම ප්‍රපාතයෙන් ගොඩ ගන්නට නම් සියලුම දේශපාලන පක්ෂ හා නායකයන් පොදු එකඟත්වයකට පැමිණිය යුතුමයි.

‘ශ්‍රී ලංකාවට විශේෂඥ උපදෙස් අවශ්‍ය වෙනවා’ – එම්.ඒ. සුමන්දිරන්

මෙම සංවාදයේ දී අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්දිරන් මහතා මෙසේ පැවසිය.

‘අද රට වැටී ඇති තත්ත්වයට විසදුමක් ලබාගැනීමට නම් ශ්‍රී ලංකාවට විශේෂඥ උපදෙස් අවශ්‍ය වෙනවා. මුහුණදී ඇති අභියෝගයේ ගැඹුර සලකලා ඒ අර්බුදයෙන් රට මුදා ගැනීම සඳහා උත්සාහ කරන ඕනෑම අවකාශයකදී ඊට සහය දෙන්න දෙමළ ජාතික සන්ධානය සූදානම්. ඒ නිසයි අප සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වෙන්නට තීරණය කළේ.

මෙහිදී අප අවධාරණය කරන්නේ රටේ මුල්‍ය පාලනය පාර්ලිමේන්තුවට හිමි විය යුතු බවයි. එහෙම කළොත් විතරයි පොදු සම්මුතියක් අනුව කටයුතු කළ හැකි වන්නේ.

‘මේ අර්බුදය ඇති කළේ ආණ්ඩුවයි ‘ – සජබ මහ ලේකම්

එහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙසේ පැවසිය.

‘අද තියෙන්නේ මෑත ඉතිහාසයේ ලංකාව මුහුණ දෙමින් සිටින දැවැන්තම අර්බුදයයි. එවැනි තත්ත්වයක ඇයි අප ජනාධිපතිවරයා කැඳවපු සර්ව පාක්ෂික සමුළුවට ගියේ නැත්තේ. එයට මා ප්‍රථමයෙන්ම පිළිතුරු දෙන්නම්.

මේ අර්බුදය ඇති කළේ ආණ්ඩුව විසින්. ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය වැරදි තීරණ ඊට හේතුවෙලා තියෙනවා. එයට හේතුව ආණ්ඩුව තුළද පොදු එකඟත්වයක් නොමැති වීමයි. ඒ බව අද හොඳටම පැහැදිලියි. ඒ නිසා ප්‍රථමයෙන්ම ආණ්ඩුව පොදු එකඟත්වයකින් වැඩ කළ යුතුයි. එතකොට අපට අපේ අදහස කියන්න පුළුවන්.

අප පෙනී සිටින්නේ ආණ්ඩුව වෙනුවෙන් නොවේ. රට වෙනුවෙන් හා රටේ ජනතාව වෙනුවෙන්. ඒ අනුව ඒ සඳහා පෙනී සිටින සෑම බලවේගයක් සමගම එක්ව පොදු එකඟත්වයකින් වැඩ කරන්න අප සූදානම්. එහිදී මූලිකත්වය ගත යුත්තේ පාර්ලිමේන්තුවයි.

නමුත් අද මේ රටේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පාර්ලිමේන්තුව නොතකා කටයුතු කරමින් සිටිනවා. ඔවුන් පාර්ලිමේන්තුවට නොදන්වා ජාත්‍යන්තරය සමග ඇති කර ගනිමින් තිබෙන රටට අහිතකර ගිවිසුම් ගැන කිසිවක්ම නොකියන තත්ත්වයක් තුළ අප කොහොමද ඔවුන් සමග එකට වැඩ කරන්නේ. ආණ්ඩුව ඒකාධිපති විදිහට කටයුතු කරද්දී, අනීතික උපක්‍රම යොදා ගනිමින් විපක්ෂයේ ක්‍රියාකාරීන්, මර්දනය කරත්දී අප කොහොමද ආණ්ඩුව සමග එක්ව කටයුතු කරන්නේ.

ඒ නිසා අද මේ ආණ්ඩුවෙන් පරිබාහිර සියලුම දේශපාලන බලවේග සමග එක්ව වැඩ කරන්න අප කිසි විටෙක පසුබට වෙන්නේ නැහැ. ඒ වගේම රට මුහුණ දෙන අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා වන පොදු සම්මුතියක් ඇති කර ගන්නට අප හැමවිටම සූදානම්. ඒ සඳහා විපක්ෂයේ සියලුම දේශපාලන බලවේගයන්ට අප ආරාධනා කරනවා.

‘සියලු දේශපාලන බලවේග ඒක රාශී විය යුතුයි’ – එජාප මහ ලේකම්

මෙම සංවාදයට එක් වූ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් රංග බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, රට මුහුණ දී ඇති මෙම අර්බුදයෙන් මිදීම උදෙසා සියලු දේශපාලන බලවේග ඒක රාශී විය යුතු බවයි. එසේ නොකළ හොත් දේශපාලනය කරන්නට රටක් ඉතුරු නොවන බව ඔහු අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රංග බණ්ඩාර මහතා මෙසේද කියා සිටියේය.

‘අද මේ ආණ්ඩුව කටයුතු කරන්නේ ඉතාමත්ම හිතුවක්කාරි විදිහට. ඒකෙන් වඩාත්ම පීඩාවට පත්වෙලා ඉන්නේ රටේ ජනතාව. ඒ නිසයි අප සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වෙලා රට වෙනුවෙන් කළයුතු දේවල් පෙන්වා දෙන්නට උත්සාහ කළේ. නමුත් ඔවුන් එතැනදීත් කටයුතු කළේ ඉතාමත්ම හිතුවක්කාරී විදිහට. ආණ්ඩුවේ ප්‍රතිචාරවලින් ඒ බව හොඳටම පැහැදිලි වුණා.

අපේ ස්ථාවරය සියලුම දෙනා එකතු වෙලා මේ අර්බුදයෙන් රට ගොඩගත යුතු බවයි. ඒ සඳහා පොදු එකඟත්වයක් වෙනුවෙන් අප සෑම විටම පෙනී සිටිනවා. ඒ සඳහා කටයුතු කරනවා. එහිදී ප්‍රථම අරමුණ විය යුත්තේ ජනාධිපතිවරයාගෙන් රටේ මූල්‍ය පාලනය ඉවත් කර ගැනීම. එය පාර්ලිමේන්තුව මගින් පමණක්ම විය යුතුයි.

‘ආණ්ඩු පෙරළියකින් පමණක් ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නෑ’ – 43 සේනාංකයේ නායක

මෙහිදී අදහස් දැක්වීමක යෙදුන 43 සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක මහතා අවධාරණයෙන් සඳහන් කළේ අද වනවිට මේ ආණ්ඩුව පෙරලීමට අපහසු නැතත් හුදු ආණ්ඩු පෙරළියකින් පමණක් රට මුහුණ දී ඇති ගැඹුරු ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන බවය.

එමෙන්ම රට ඇද වැටී ඇති දැවැන්ත ප්‍රපාතයෙන් ගොඩ ගැනීමට නම් පැහැදිලි දර්ශනයක් සහිත පොදු වැඩපිළිවෙලකට මේ රටේ සියලුම දේශපාලන බලවේග යොමුවිය යුතුව ඇති බව ඔහු සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා,

‘ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ වගකීම් සහගතව අප කටයුතු කළ යුතු වෙනවා. ඒ මගින් මේ රාජපක්ෂ පවුල් පාලනය පෙරළා දැමිය යුතුමයි. එහෙම නොකර මේ රටට යහපතක් උදාකරන්න බැහැ. එහිදී රාජපක්ෂ පවුල හැර අනෙකුත් සියලුම දේශපාලන නායකයන් ඒකාරාශී කරගත් පොදු වැඩපිළිවෙළකට අප යොමු විය යුතුයි. එසේ කරන්නට අප අසමත් වුවහොත් මේ රට අති දැවැන්ත විනාශයක් කරා යොමු වීම වැළැක්විම නොහැකියි.

‘මේ අර්බුදය විසඳීමට නොහැකි ප්‍රශ්නයක් නොවේ’ – කරු ජයසුරිය

මෙම කතිකාව සංවිධානය කළ ‘සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ’ සභාපති දේශබන්ධු කරු ජයසූරිය මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ අද මේ රට මුහුණ දී ඇති අර්බුදය විසඳීමට නොහැකි ප්‍රශ්නයක් නොවන බවය.

‘එක් අවස්ථාවක ඉන්දියාවද මෙවැනි අර්බුදයකට මුහුණ දුන්නා. නමුත් එදා ඉන්දියාව ඉතාමත්ම නිවැරදිව සාමූහික ලෙස තීන්දු තීරණ ගැනීම තුළ එය විසඳා ගත්තා. එවැනි ප්‍රවේශයකට අප සියලු දෙනාම යොමු විය යුතු වෙනවා. එමෙන්ම එහිදී ප්‍රමුඛ කාර්ය භාරයක් පැවරිය යුත්තේ පාර්ලිමේන්තුවටයි.

රටේ බොහෝ ප්‍රශ්නවලට මුල පාර්ලිමේන්තුව නොතකා හැර තීන්දු තීරණ ගැනීමයි. ඒ නිසා මේ රටේ සියලුම දේශපාලන බලවේගවල අරමුණ විය යුත්තේ එක් පුද්ගල බලාධිකාරය අහෝසිකරමින් නැවත පාර්ලිමේන්තු සම්ප්‍රදායට යොමු වීමයි. ඒ සඳහා පොදු සම්මුතියකින් යුතුව පැහැදිලි වැඩ පිළිවෙළකට අප යොමු විය යුතුයි. කිසිඳු බල අරමුණකින් තොරව ඉතාමත්ම සද්භාවයකින් යුතුව අප ඒ සඳහා පෙනී සිටිනවා.

මෙම අවස්ථාවට එක් වූ ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා සඳහන් කළේ, අද මේ රට මුහුණ දී ඇත්තේ ආර්ථිකයට සීමා වූ අර්බුදයකට පමණක් නොවන බවය. මේ අර්බුදය ආර්ථිකයට බරපතළ ප්‍රතිවිපාක අත්කර දී ඇතත් එය මේ රටේ සමාජ දේශපාලන අර්බුදයේ එක් කොටසක් පමණක් වන බව ඔහු එහිදී අවධාරණය කළේය.

එයට නිසි වැඩ පිළිවෙළක් මත පිළිතුරු සොයා ගැනීමට අප අපොහොසත් වුවහොත් ඇති විය හැකි තත්ත්වය අතිබිහිසුණු විය හැකි බවත් ඔහු අවධාරණය කළේය.

‘මේ අර්බුදය තමන් දකින්නේ කොහොමද කියලා ආණ්ඩුව මේ දක්වාම වගකීමකින් යුතුව කිසිම දෙයක් කියලා නැහැ. ඒ වගේම විරුද්ධ පක්ෂ තනි තනිව හෝ සාමූහිකව ඒ ගැන රටට කියලා නැහැ. නමුත් ප්‍රශ්නයට විසඳුම් ලබා දිය හැක්කේ පවතින ආණ්ඩුවටයි.

විරුද්ධ පක්ෂවලට එම කටයුත්ත භාර ගන්නට නම් ආණ්ඩු බලය ලබාගත යුතුයි. නමුත් මෙම ව්‍යවස්ථාව අනුව මේ මොහොතේ එවැන්නකට යොමු වීමේ හැකියාව ඉතාමත්ම සීමිතයි. මේක අප රටේ දේශපාලන ක්‍රමය මගින් ඇති කර ඇති අර්බුදයක් වන්නේ ඒ නිසයි.

ඒ නිසා පුළුල් දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකින් තොරව මේ අර්බුදයට සරල උත්තර නැහැ. ඒ සඳහා මේ රටේ සියලු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් අතර එකඟත්වයක් ඇති කර ගැනීම අත්‍යවශ්‍යයි. එසේ නොහැකි වුවහොත් රට අරාජික තත්ත්වයකට පත්විය හැකිය.

එවැනි අරාජික තත්ත්වයකට රට පත්වුවහොත් ඒ තුළ විසඳා ගත නොහැකි ව්‍යවස්ථා අර්බුදයකට රට තත්ලු වේවි. එහිදී අමතක නොකළ යුතු කාරණය වන්නේ රටක ඒකාධිපති පාලනයකට වඩා අරාජික පාලනයක් මගින් අති බිහිසුණු ප්‍රතිඵල අත්කර දිය හැකි බව යැයිද වික්ටර් අයිවන් එහිදී පැවසීය.

මෙම අවස්ථාවට එක්වෙමින් පාර්ලිම්න්තු මන්ත්‍රී අශෝක අබේසිංහ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නවීන් දිසානායක මහතා හා රණවීර පතිරණ මහතාද අදහස් දැක්වීය.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan