*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

ලක්ෂ දහයකින් ඡන්ද වැඩි වෙලා – සුළු ජාතික සියයට 31 කාටද ? රාජිත හදපු රෝහල රනිල් විවෘත කරයි- සජිත් පාස්කු ප්‍රහාරය ගැන හඬ නගයි- විජේදාස ගේ රහස – ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ අනාථයි

  • ලක්ෂ දහයකින් ඡන්ද වැඩි වෙලා
  • සුළු ජාතික සියයට 31 කාටද ?
  • රාජිත හදපු රෝහල රනිල් විවෘත කරයි
  • සජිත් පාස්කු ප්‍රහාරය ගැන හඬ නගයි
  • විජේදාස ගේ රහස
  • ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ  අනාථයි

ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)

නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): සිංහල අලුත් අවුරුද්දෙන් පසුව කිසියම් දේශපාලන පෙරලියක් සිදුවන බවට දේශපාලන ලෝකයේ කතාබහ ඇතිවී තිබේ.
මුලින් ජනාධිපතිවරණය පැවැත්වෙන බව පැවසුනද මහමැතිවරණයක් ලබා ගැනීමේ පොහොට්ටුවේ උත්සාහය නතරවී නැත.
2024 පැවැත්වෙන කවර හෝ මැතිවරණයක්  සඳහා නව ඡන්ද දායකයන් ලක්ෂ 10ක් පමණ ලියාපදිංචි වී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.
                                       

මෙවර ලක්ෂ දහයකින් ඡන්ද වැඩි වෙලා

වර්ෂ 2019 දී අවසන් වරට පවත්වන ලද ජනාධිපතිවරණය සඳහා ඡන්ද දායකයන් 160,00000 (එක්කෝටි හැට ලක්ෂයක්) පමණ සුදුසුකම් ලබා සිටියහ.එම සංඛ්‍යාව මෙවර ඡන්ද දායකයන් 170,00000 (එක්කෝටි හැත්තෑ ලක්ෂයක්)පමණ  දක්වා වැඩි වී ඇත.  වයස අවුරුදු 18 සම්පූර්ණ කළ අලුත් ඡන්ද දායකයන් මෙම නව ඡන්ද දායකයන් වෙති.මෙයින් සියයට තිස් එකක් සුළු ජාතික ඡන්ද වෙති. ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය සියයට පනහේ සීමාව පසු කරන්නට මෙම සියයට තිස් එක තීරනාත්මකය. සුළු ජාතික ඡන්ද සියයට විසිපහක් ලබා ගන්නා පුද්ගලයාට අවශ්‍ය වන්නේ සිංහල ඡන්ද වලින් සියයට විසිපහකි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම ජනාධිපතිවරණ සටන මැයි දින රැළියෙන් ආරම්භ කරන්නට නියමිතය. එක්සත් ජාතික පක්ෂයත් , එජාපය මුල්කර ගත් නව සන්ධානයත් සමග එක්ව මෙවර මැයි රැලිය පවත්වයි. ඒ සඳහා විශාල ජනකායක් සහභාගී කර ගැනීම සඳහා මේ වන විටත් කටයුතු සංවිධානය කරමින් පවතී.

රාජිත ගේ උත්සාහයෙන් ඉදිකෙරුණු මහමෝදර මාතෘ රෝහල රනිල් අතින් විවෘත වෙයි.

අනාගතයට ගැළපෙන පරිදි අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍ර නවීකරණය නොකර රටේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු තැබිය නොහැකි බවත් දශක තුනහමාරකට අධික කාලයක් අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා ප්‍රමාණවත් ප්‍රාග්ධන වියදම් ලැබී නොමැති බවත් මෙම වසරේ සිට අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා වැඩි ප්‍රාග්ධන වියදම් ලබාදීමට සැලසුම් කර තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහලක් ලෙස සැලකෙන ගාල්ල කරාපිටියේ ඉදිකරන ලද “ජර්මන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල” ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට එක් වෙමිනි.
                                     

සෞඛ්‍ය අමාත්‍යංශයට අසාධ්‍යයයි- වහාම පිළියම් ඕනෑ

අද වන විට මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය පවතින්නේ දැඩි ප්‍රශ්න රැසක් මධ්‍යයේය. අත්‍යවශ්‍ය  ඖෂධ  රැසක් හිඟය. ශල්‍ය  උපකරණ හා වෛද්‍ය උපකරණ හිඟය උපරිම ගැටලුකාරී තත්වයට පත්ව තිබේ.ඖෂධ මිල පස් හය ගුණයකින් වැඩිවී තිබේ.  පසුගිය යහපාලන රජය සමයේ තිබු ඖෂධ මිල පාලනය යලිත් ක්‍රියාත්මක කල යුතුව තිබේ.සෞඛ්‍ය පරිපාලනය බිඳ වැටෙමින් ඇත්තේ තීරණ ගැනීමට හා වගකීම් ගැනීමට ඇති බියනිසාය. සෞඛ්‍ය ඉහල නිලධාරීන් රැසක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින නිසා මෙසේ බියවීමේ වරදක්ද කිව නොහැක. කෙසේ වෙතත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැහැදිලි වෙනසක් සිදුවිය යුතු බව මේ  වන විට රටම පිළිගන්නා කරුණකි.

මහල් හයකින් යුත් මෙම රෝහල ඇඳන් 640කින්, ශල්‍යාගාර 6කින්, හදිසි ප්‍රතිකාර ඒකක, දැඩි සත්කාර ඒකක, රසායනාගාර, ළදරු දැඩි සත්කාර ඒකක, විශේෂ ළමා ඒකක, ඇතුළු සියලු නවීන වෛද්‍ය පහසුකම්වලින් සමන්විත අතර අපජලය පිරිසිදු කර මුදා හැරිමේ ඒකකයකින් ද යුක්ත ය. ගාල්ල කරාපිටියේ  “ජර්මන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල”  ජර්මානු ආධාර අතරමග නතරවී අත්හැරදමා තිබු ව්‍යාපෘතියකි.යහපාලන රජයේ හිටපු  සෞඛ්‍ය ඇමතිවරයා වූ රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමති පදවියේ වැඩභාරගන්නා විට එහි වුයේ රෝහලේ පාදම පමණක් සිදුකර අත්හැර දමා තිබු ව්‍යාපෘතියකි. පසුව රාජිත මේ සම්බන්ධයෙන් වහාම ජර්මානු බලධාරීන් සමග සාකච්ඡා ආරම්භ කළේය. පසුව රෝහල ඉදි කිරීම යලි ආරම්භ කෙරුනේ රාජිතගේ දැඩි උත්සාහය නිසාය.

රෝහල ඉදි කිරිම සඳහා ජර්මන් රජය විසින් දෙන ලද ණය ආධාර මුදල යුරෝ මිලියන විසි පහකි. (රුපියල් කෝටි 357කි)
මුල් අවස්ථාවේ රෝහලේ ඉදිකිරීම් සඳහා වෙන් කෙරුණේ පර්චස් අටසියක් වුව ද පසුව තවත් ඉඩම් කට්ටි දෙකක් ලබා ගැනීම සිදු වූ අතර මේ වන විට රෝහලේ සමස්ථ භූමි ප්‍රමාණය පර්චස් දහසකට ආසන්න ය.

“පසුගිය සමයේ අපට විශාල ලෙස ණය ගැනීමට සිදුවීම නිසා අපේ ආදායමෙන් 50%ක් වැය වන්නේ ණය සහ පොළී ගෙවීමටයි. මෙම වසරේ අයවැයෙන් ට්‍රිලියන 07කට වැඩි ප්‍රමාණයක් වැය කිරීමට නියමිතව තිබුණා. නමුත් එයින් ට්‍රිලියන 3.9ක් ණය ගෙවීමට වැය කිරීමට සිදුව තිබෙනවා. එයින් තුනෙන් එකක් ණය ආපසු ගෙවීමට සහ තුනෙන් දෙකක් පොළිය ගෙවිමට වැය කෙරෙනවා. ඒ වගේම තවත් ට්‍රිලියන 1.2ක් වැටුප් ගෙවීමට වැය වෙනවා. තවද පුනරාවර්තනය වියදම් වෙන් කළ පසු ඉතිරි වන්නේ ඉතා සුළු ප්‍රමාණයක්. එයිනුත් වාරිමාර්ග ඇතුළු එම කටයුතුවලටත් මුදල් වෙන් කළ යුතුයි.

IMF -ADB -ලෝක බැංකුව  නැතිව බැහැ

මෙම තත්ත්වය සමග අපට රටක් ලෙස ඉදිරියට යාමට නොහැකියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියනු සංවර්ධන බැංකුව කඩිනමින් ප්‍රතිව්‍යුහගතකරණයකට යොමු වන ලෙස අපට දැනුම් දී තිබෙන්නේ එම නිසයි. රට තුළ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කිරීමේ දී පළමු තීරණය වූයේ මේ වසරේ වියදමට අවශ්‍ය මුදල් රට තුළින් උපයා ගැනීමයි. අපට කෙසේවත් දැන් මුදල් මුද්‍රණය කිරීමට අවස්ථාවක් නැහැ. ඒ වගේම රාජ්‍ය බැංකුවලින් මුදල් ලබා ගැනීමට බැහැ. අපට අවශ්‍ය ආදායම් රට තුළින්ම උපයාගෙන ඉදිරියට යාමට සිදුව තිබෙනවා.

එහිදී තිබූ එකම මාර්ගය වූණේ බදු වැඩි කිරීමයි. සියලුදෙනා අපට දොස් කිව්වා. නමුත් මෙම පියවර නිසා පළමු වතාවට අයවැය සඳහා මුදල් මුද්‍රණය කිරීමට අපට සිදු වුණේ නැහැ. මෙහිදී සියලුදෙනා මුහුණදුන් අසීරුතාව පිළිබඳ අපට අවබෝධයෙක් තිබෙනවා. නමුත් බදු මුදල් වැඩි කිරීම නිසා අද අපට අය වැය සඳහා ණය ලබා ගැනීමට සිදුවුණේ නැහැ. එහි ප්‍රතිඵල අද රට තුළ දක්නට තිබෙනවා. ඩොලරයට සාපේක්ෂව 370ට තිබු රුපියලේ අගය දැන් 300ට පහළ බැස තිබෙනවා. ඉදිරියේදී තවත් එය පහළ අගයකට එනවා. එවිට රුපියල ශක්තිමත් වෙනවා.

රුපියල ශක්තිමත් කරන බව රනිල් කියයි                             

ඒ වගේම උද්ධමනය අඩුවීම නිසා පොලි අඩු කිරීමට හැකියාව ලැබී තිබෙනවා. එවිට ව්‍යාපාර දියුණු වෙනවා. ව්‍යාපාර දියුණුවීමත් සමඟ රට දියුණු වෙනවා. අසීරුවෙන් වුවත් ගත් පියවර නිසා අද රටට ප්‍රතිලාභ ලැබී තිබෙනවා. ඒ වගේම රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීමට අප පියවර ගත්තා. ඒ වගේම අඩු ආදායම් ලාභීන්ට ලබාදෙන් අස්වැසුම ප්‍රතිලාභය තුන් ගුණයකින් ඉහළ නැංවීමට මෙන්ම ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට අප කටයුතු කළා. මේ හා සමගාමීව පුද්ගලික අංශයේ ද වැටුප් වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා. මෙම වැඩපිළිවෙළ සමග තව වසර 02ක් පමණ ඉදිරියට යන විට අපට ණය ගෙවීමට තිබෙන ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වෙනවා. එම මුදල් රටේ සංවර්ධනයට යෙදවීමට හැකියාව ලැබෙනවා.”
ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙහිදී පවසා තිබේ.

පාස්කු ප්‍රහාරය ගැන වහා හෙළිකරන්නැයි සජිත්ගෙන් ඉල්ලීමක්

පාස්කු ප්‍රහාරය විහිලුවට ගන්න එපා. දැන්වත් සත්‍ය අනාවරණය කරන්න යැයි සමගි ජන බලවේගයේ නායක සහ   විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේය.
පාස්කු ප්‍රහාරය සිදුවී වසර 5ක් ගත වී ඇතත් මෙම නින්දිත ප්‍රහාරය ගැන මලල්ගොඩ කමිටු වාර්තාව, ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ පාර්ලිමේන්තු විශේෂ කාරකසභා වාර්තාව මඟින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමට හෝ ඒවා පරිශීලනය කිරිමට රජය තවමත් කටයුතු කර නොමැති බවත් පාස්කු වාර්තාවේ කොටස් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ පවා සඟවා ඇති බවත් ප්‍රමාණවත් ඔප්පු කිරීම්වලින් බැහැරව තෝරා ගත් මහමොළකරුවන් නම් කිරීම නිසා විවිධ පුද්ගලයන් ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ප්‍රමාණය හා නිර්දේශ ප්‍රමාණය, මෙම නිර්දේශ ක්‍රියාත්මක නොවීමට හේතු, මෙම විමර්ශන වාර්තා මහජනතාවට පරිශීලනය කිරිමට නොදීමට හේතු මෙන්ම වත්මන් ජනාධිපතිවරයා 2022.7.18 දින ප්‍රකාශ කළ පරිදි මේ සම්බන්ධ ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කර ඇත්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනාධිපතිවරයා පැවසූ එම පරීක්ෂණය සම්බන්ධ  තොරතුරු දැන ගැනීමට අවශ්‍ය බවත් අද සමහර මන්ත්‍රිවරුන්ට මෙය විහිළුවක් වුවත් සමස්ත ජනතාවට මෙය විහිළුවක් නොවන බවත් මින් විපතට පත් ජනතාවට විහිළුවට නොගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රජයේ ප්‍රශ්න කරමිනි.
සහරාන් සමඟ වැඩිම වාර ගණනක් දුරකථන සංවාද පැවැත්වූයේ බුද්ධි අංශ නිලධාරියකු සමග  බවට එෆ්. බී. අයි. ආයතනය ප්‍රකාශ කළත් මේ සම්බන්ධ ඉදිරි පරීක්ෂණ සිදු නොවු බවත් මීට අදාළ පරීක්ෂණ ඉදිරියට ක්‍රියාත්මක කිරිමට විශාල වශයෙන් බාධා ඇති ව තිබෙන බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ මිලේච්ඡයන් සමඟ පැවැති බුද්ධි අංශ සම්බන්ධතාව ගැන දැන ගැනීමට අවශ්‍ය බවත් පැවසීය.
පාස්කු ප්‍රහාරය නිසා විශාලම වාසිය ලැබුයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයකු ලෙස සිටියදී බවත් ඔහු බලයට පත් වූයේ පාස්කු ප්‍රහාරයේ සුල මුල සොයනවා කියා වුවත් ජනාධිපති වූ පසු මේ සම්බන්ධ පරික්ෂණ සිදු කළ නිලධාරින් 31කට වැඩි ප්‍රමාණයක් මාරු කළ බවත් මේ සඳහා අදම පිළිතුරු අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තවදුරටත් පැවසීය.

සජබ සන්ධානය කරලියට

සමගි ජන බලවේගය තවත් පක්ෂ හා සංවිධාන ගණනාවක් සමඟ ස්ථාපිත කිරීමට යන නව දේශපාලන සන්ධානය පිහිටුවීම
අප්‍රේල් මස 05දා සිදුකිරීමට නියමිතය.
‘සමගි ජන සන්ධානය, යනුවෙන් හඳුන්වන නව දේශපාලන සන්ධානය සඳහා දෙමළ, මුස්ලිම් හා වතුකර පක්ෂ ගණනාවක්ද සම්බන්ධ වෙයි.ඊට අමතරව ප්‍රධාන දහරාවේ දේශපාලන පක්ෂ ගණනාවකට සම්බන්ධ වී සිටි දැනට ස්වාධීන මන්ත්‍රීන් ලෙස ක්‍රියා කරන පක්ෂ ගණනාවක්ද නව සන්ධානය සමඟ සන්ධානගත වීමට නියමිතය.
නව සන්ධානයේ නායකත්වය සමගි ජන බලවේගයේ නායක  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට හිමිවනු ඇත.

කාංචන-ප්‍රමිත පොහොට්ටුවෙන් ඉවත්ව රනිල් ලඟට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා එක්ව ඉදිරියේදී දේශපාලනය කරන්න අදහස් කරගෙන සිටින කංචන විජේසේකර, ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ, බන්දුල ගුණවර්ධන, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයන්  පිරිසක් කණ්ඩායමක් වශයෙන් එකතු වී ඒ සඳහා ඉදිරියේදී පොදුජන පෙරමුණෙන් ඉවත්වෙනු ඇති බව පැවසේ.

පසුගිය දා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නිවසේ පැවති පක්ෂයේ විධායක කමිටු රැස්වීමක් අතරතුර පක්ෂය නොසලකා ජනාධිපතිවරයාට සහාය දීම පිළිබඳව මෙම පිරිස සහ රාජපක්ෂ හිතවාදී පිරිස අතරේ වචන හුවමාරුවක් සිදුව ඇත.  එහිදී කංචන විජේසේකර දැඩිව අදහස් දක්වා තිබේ.

 මේ අනුව මෙම පිරිස කණ්ඩායමක් සේ රනිල් වික්‍රමසිංහ සමග එකතුවෙනු ඇති බවත් එම පිරිස සිදුකරන්නට අපේක්ෂා කරන ජනාධිපතිවරණ සන්නිවේදන මෙහෙයුම මහින්දානන්ද අලුත්ගමයේගේ මෙහෙයවීමෙන් සිදු කරන්නට නියමිතය.

විජේදාසත් ජනාධිතිවරණයට එන ලකුණු ?

අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් දැනට කලක සිට විවිධ පාර්ශව අතර කතාබහක් තිබිණි. එය මේ වන විට කරලියට පැමිණෙමින් තිබේ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  විධායක සභිකයන්ගේ සහ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් පසුගියදා කොළඹ ඩාර්ලි පාරේ පිහිටි  එම පක්ෂ මූලස්ථානයේදී  පැවැත්විණ.

විජයදාස රාජපක්ෂ  මෙම රැස්වීමේ ආරාධිත දේශකයකු ලෙස  සහභාගිවිය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය  බාර ගන්නැයි  එම පක්ෂයේ විධායක සභිකයෝ   සහ ආසන සංවිධායකයෝ  අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ගෙන්  මෙහිදී ඉල්ලා ඇති අතර  මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර සුදුසු තීරණයක් ගන්නා බව ඔහු එහිදී පවසා ති බව සඳහන්ය.

බණ්ඩාරනායක ප්‍රතිපත්තිය, පක්ෂයේ  ආරම්භය සහ විකාශනය, පංච මහා බලවේගය ඇතුළු කරුණු කාරණා ගණනාවක් සම්බන්ධයෙන් විජයදාස රාජපක්ෂ එහිදී දේශනයක් පවත්වා ඇති අතර   ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට එම පක්ෂයේ  සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමගද  සාකච්ඡා පවත්වා තිබේ.

ලසන්ත-දුමින්ද- අමරවීර තනතුරුවලින් ඉවතට

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මේ වන විට වෙනස්කම් රැසක් සිදුවෙමින් පවතී.
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක  ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත් කර ඇත.

එසේම ලසන්ත අලගියවන්න භාණ්ඩාගාර ධූරයෙන්ද මහින්ද අමරවීර  ජේෂ්ඨ උපසභාපති ධූරයෙන්ද ඉවත් කරනු ලැබ ඇත
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් සහ විධායක කමිටු සාමාජිකයින් පක්ෂ මූලස්ථානයේදී රැස්වී මෙම තීරණය ගෙන ඇත. කෙසේවෙතත් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය එලෙසම පවතී.

නාමල්ට පොහොට්ටුවේ ජාතික සංවිධායක ධුරය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විනය මණ්ඩලයේ ප්‍රධානීන් ලෙස ජනාධිපති නීතිඥවරු වන රසීක් ශරූක් සහ ඩබ්ලිව්. දායරත්න යන මහත්වරු පත්කර ඇත.

සාමාජිකයන් හත් දෙනකුගෙන් යුත් එම විනය මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස නීතිඥයන් වන අතුල ද සිල්වා, මංජුල වෙල්ලාලගේ, සරත් අතුකෝරළ, තුෂාරී සූරිආරච්චි සහ චමරි පෙරේරා (හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ)  පත් කර තිබේ. විනය මණ්ඩලයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත්නොකිරීමට පොදු ජන පෙරමුණ තීරණය කර තිබිණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ගේ කොළඹ නිල නිවසේදී  පසුගියදා  පැවැති විධායක කමිටු රැස්වීමේදී මෙම පත්වීම් සිදුකර තිබේ.

එම පක්‍ෂයේ බේරුම්කාර මණ්ඩලයේ සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන චමල් රාජපක්‍ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස්. බී. දිසානායක, සී. බී. රත්නායක, රෝහිත අබේගුණවර්ධන සහ මංජුලා දිසානායක යන මහත්ම මහත්මීන් පත්කර ඇත.

එම පක්‍ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ දැරූ  ජාතික සංවිධායක ධූරය  නාමල් රාජපක්‍ෂ වෙත ලබාදී තිබේ.

ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ බෙහෙත් ගන්න බැරිව ලතවෙති-සහනයක් ලෙස පොලී වැඩි කරන්නැයි ඉල්ලීමක්

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් අහෝසි කිරීම නිසා පොලි ආදායම නොලැබීමෙන් තමන් කබලෙන් ළිපට වැටී ඇතැයි එම පුරවැසියෝ සදහන් කරති.
ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වලට කලින් සියයට 15 ක පොලී අනුපාතයක් ලැබුණු අතර මේ වන විට ලැබෙන්නේ සියයට 8 කටත් අඩු පොලි අනුපාතයක් බව ද ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ කියති.
පොලි ආදායම අඩුවීම හේතුවෙන් තමන්ට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට, එදිනෙදා කටයුතු කරගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයිද ඔවුහු පවසති.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරි කිරීම් තැන්පතුවලට කලින් ලබාදුන් සියයට 15ක වාර්ෂික පොලි අනුපාතය නැවත ලබාදෙන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද ඔවුහු පවසති.

කොලම්කරු හා සම්බන්ධ වීමට:
[email protected]
WhatsApp: +13472050049

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan