Sunday, June 26, 2022
spot_img
spot_img

Latest Posts

අවරදිග ආවර්ජනා: රනිල්ට ඇති ලොකුම ප්‍රශ්නය රැවුලක් නැති කම ය

ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනා මිනිසුන් තුළ තුන් ආකාරයක විශ්වාසයක් තිබුණි. එකක් වුණේ, ඔහු නිසා යුද්ධය ජයගත්තේය යන්නයි. දෙවැන්න වුණේ, ඔහු නගර ශෝභනය සම්බන්ධයෙන් පෙළහර පාන ලද පුද්ගලයෙක් ය යන්නයි. තුන්වැන්න වුණේ, ඔහු දේශපාලනඥයෙකු නොවන නිසා, කොන්ද කෙලින් තියාගෙන වැඩ කිරීමේ හැකියාවක් ඇති පුද්ගලයෙකු විය හැකිය යන්නයි. ඔහු නිසා යුද්ධය ජයගත්තේය යන කතාව ඇත්තක් වශයෙන් මොහොතකට පිළිගත්තත්, රටක් පාලනය කිරීමට එය සුදුසුකමක් විය හැක්කේ කෙසේද යන්න මිනිසුන් සිතා තිබුණේ නැත. කොළඹ නගර ශෝභනය පිළිබඳ වාර්තාව නගරාධිපති කමකට සුදුසුකමක් විය හැකි වෙතත්, රටක නායකත්වයකට නොසෑහෙන බව මිනිසුන්ට වැටහී තිබුණේද නැත. කෙලින් වැඩ කිරීමේ හැකියාව තිබුණි නම් රටක නායකත්වයට හොඳ ය. එහෙත් එය පවා පුස්සක් බව අද වන විට ඔහු විසින්ම ඔප්පු කොට තිබේ.

අද ලංකාව වැටී ඇති තත්වයට මේ පුද්ගලයා මුලින්ම වගකිව යුතුය. බොහෝ දෙනා විවිධ අවසරයන් යටතේ මොහුව නිදහස් කොට, වෙනත් විවිධ පුද්ගලයන් සාතන්ලා වශයෙන් හැඳින්වීමට කටයුතු කරමින් සිටින බවක් පෙනේ. බැසිල් රාජපක්ෂ, පී.බී. ජයසුන්දර සහ අජිත් නිවාඩ් කබ්රාල් වැනි චූදිතයෝ එහිදී පෙරමුණ ගනිති. විටින් විට ඔවුන්ව පමණක් විත්තිකූඩුවට නංවා බිල්ලට දීමට බලන්නේ, රාජපක්ෂ පවුලේ අවසාන පුරුක වන ගෝඨාභය රාජපක්ෂව අද දවසේ ආරක්ෂා කරගත්තොත් පමණක්, හෙට වන විට රාජපක්ෂ පවුලේ පොඩි පුතා රාජත්වයට ගෙන ඒමට හැකියාවක් ඇතැයි විශ්වාස කරන බැවිනි. ඉහත කී (බැසිල්, පී.බී. සහ කබ්රාල් වැනි) සියලු දෙනා මේ තත්වයට හරිහරියට වගකිව යුතු බව ඇත්ත. එහෙත්, “මුල් පාපය” ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුලම ය.

ඒ රාජපක්ෂ පවුලට අමතරව, තවත් බොහෝ දෙනා සහ බොහෝ සිදුවීම් ඒ වගකීමට සම්බන්ධිත ය. එය යම් අනුපිළිවෙලකින් ගත්තොත්, රාජපක්ෂලා සමග මෙතෙක් සිටි (වීරවංශ, ගම්මන්පිල, වාසුදේව, විජේදාස, සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු) සියලු බලවේග, මීට කලින් රට පාලනය කළ (එක්සත් ජාතික පක්ෂය ඇතුළු) සියලු පක්ෂ, මීට කලින් විපක්ෂයේ සිටි (ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු) සියලු පක්ෂ, 1956 සඟ, වෙද, ගුරු පෙරලිය විසින් බිහි කළ දකුණේ පරම්පරාව සහ එය විසින්ම උතුරේ බිහි කළ පරම්පරාව ආදී වශයෙනි. එහෙත් වගකීමක් පිළිබඳ දම්වැලක සම්බන්ධීකරණයට හැම පුරුකක්ම අදාළ වෙතත්, දම්වැලක් කැඩෙන්නේ විශේෂිත පුරුකක හෝ කිහිපයක දුර්වලකමක් නිසා ය. මේ නිසා, වගකීමේ බර පැවරීම සඳහා, රනිල් වික්‍රමසිංහ කියන්නා සේ, විජය රජතුමා දක්වා යා යුතු නැත. එසේ වීමෙන් සිදුවන්නේ, සැබෑ අපරාධකරුවා නිfදාස් වීමයි.

රනිල් වික්‍රමසිංහ සැලකෙන්නේ, උගත්, වැදගත් සහ ප්‍රතිපත්තිගරුක නායකයෙකු වශයෙනි. මේ ගුණාංග තුන, එකිනෙකට සම්බන්ධ නැත. තවත් විදිහකින් කිවහොත්, උගතා අනිවාර්යයෙන් වැදගතෙකු වන්නේත් නැත. වැදගතා අනිවාර්යයෙන් ප්‍රතිපත්තිගරුක කෙනෙකු වන්නේත් නැත. කලාතුරකින් මේ ගුණාංග තුන එක නායකයෙකු තුළ සම සේ තිබිය හැකි වෙතත්, රනිල් වික්‍රමසිංහ එවැන්නෙකු නොවේ. එකී ගුණාංග ගැන ඉතා කෙටියෙන් කිවහොත් මෙසේ ය: රනිල් වික්‍රමසිංහ, පැහැදිලිවම රාජපක්ෂලාට වඩා උගත් ය. ඒ ගැන විවාදයක් නැත. එහෙත් ඔවුන්ට වඩා ඔහු වැදගත්ද සහ ප්‍රතිපත්තිගරුකද යන්න විවාදාත්මක ය. සොරකම්, අපරාධ සහ අටෝරාශියක් අක්‍රමිකතාවන්ට සම්බන්ධ රාජපක්ෂලාට වඩා වැදගත්කමක්, හැම අදියරකදීම එම රාජපක්ෂලාව සහ ඔවුන්ගේ සහචරයන්ව ආරක්ෂා කළ රනිල් වික්‍රමසිංහට තිබිය හැකිද?

රාජපක්ෂලාද ප්‍රතිපත්තිගරුක ය

අනිත් අතට, රාජපක්ෂලා ප්‍රතිපත්තිගරුක නොවෙතැයි කිව හැක්කේ කාටද? ඔවුහූ තමන්ගේ ප්‍රතිපත්තිවලට දිවි හිමියෙන් ගරු කරති. අද පවා ඔවුන් ක්‍රියා කරන්නේ එසේ ය. ජාතිවාදය සහ ආගම්වාදය උපරිමයෙන් පාවිච්චි කිරීම ඔවුන්ගේ ඒකායන දේශපාලනික ප්‍රතිපත්තියයි. fදාස්තර සාෆි පිළිබඳ කතාව ඔබට මතක ඇති. අද, ඒ සාෆිට සියලු දීමනා, වැටුප් සහ වෙනත් අහිමි වූ දේවල් පවා දීමට සිදුව තිබීමෙන් පෙනෙන්නේ, රාජපක්ෂලාගේ කෲර ප්‍රබන්ධයේ තරමයි. ඊළඟට, හැකිතාක් හරිහම්බ කරගැනීම ඔවුන්ගේ ඒකායන ආර්ථික ප්‍රතිපත්තියයි. කිසි දවසක රැකියාවක් හෝ වෙනත් ව්‍යාපාරයක් කර නැති රාජපක්ෂ පවුලේ පුතෙකු, රුපියල් තිස්පන් ලක්ෂයක් එක චිත්‍රයක් සඳහා වැය කිරීමේ හැකියාව ලබාගෙන ඇත්තේ එකී චෞර ප්‍රතිපත්තියට සත්‍යවාදී වීම නිසා ය.

එතකොට රනිල් වික්‍රමසිංහ? ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සිද්ධාන්තයක් වන ජනතා පරමාධිපත්‍යය ඔහු පිළිගනී. ජනතාව ප්‍රතික්ෂේප කරන කිසිවෙකු වෙනත් කිසිම මාර්ගයකින් පාර්ලිමේන්තුවට නොගැනීම ඔහු ප්‍රතිපත්තියක් වශයෙන් අනුගමනය කෙළේය. ඊට කලින් මේ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් අවස්ථා කිහිපයකදී උල්ලංඝනය කොට තිබුණි. එහෙත් රනිල් වික්‍රමසිංහ ඒ සම්බන්ධයෙන් බොහෝ කලක් නොසැලී සිටියේය. ඒ කවදා වනතෙක්ද? තමන්ගේ පක්ෂය පසුගිය මැතිවරණයේදී එක ආසනයකට වැටෙන තෙක් ය. ජනතාව විසින් තමාවමත් ගෙදර යැවූ මොහොත එළඹෙන තෙක් ය. සිය අන්ත පරාජය ගැන ටික දවසක් හොරගල් අහුලමින් සිටි ඔහු, ජාතික ලැයිස්තුවෙන් ලැබුණු එකම ආසනය, ජනතාව විසින් පරාජය කරනු ලැබූ තමා වෙතම පවරා ගත්තේය. එතැන ඇති ප්‍රතිපත්තිගරුක භාවය කුමක්ද?

ජනාධිපතිවරයා මේ කෙටි කාලය තුළ විවිධ කොමිෂන් සභා පත්කොට තිබේ. විවිධ ජනාධිපති කාර්යසාධක බලකායන් පිහිටුවා තිබේ. ඒ සියල්ල, ප්‍රශ්න හඳුනාගැනීම සහ විසඳුම් ලබාගැනීම සඳහා නොව, ප්‍රශ්න උඩුයටිකුරු කොට, තමාගේ පෞද්ගලික විසඳුම් සඳහා වන විදග්ධ රාමුවක් හදාගැනීම සඳහා ය. හොඳම උදාහරණය, දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කෙරුණු ජනාධිපති කොමිෂන් සභාවයි. එහිදී රාජපක්ෂවාදී චූදිතයන් නිදහස් කොට නිfදාස් කළා පමණක් නොව, ඔවුන්ට විරුද්ධව පැමිණිලි කොට තිබූ සහ පරීක්ෂණ පැවැත්වූ පිරිස් වැරදිකරුවන් කිරීමටත් වගබලා ගැනුණි.

සර්ව-පාක්ෂිකද, ත්‍රෛයි-පාක්ෂිකද?

වර්තමානයේ ජනාධිපතිවරයා කැඳවූ සර්ව-පාක්ෂික සමුළුවත් එවැන්නකි. ඇත්තෙන්ම එය සර්ව-පාක්ෂික නොව, ත්‍රෛයි-පාක්ෂික ය. ඒ, ආණ්ඩුව, තනි-මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානයයි. (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු, ආණ්ඩුව නියෝජනය කරන, ආණ්ඩුව තරමටම වර්තමාන අර්බුදයේ අපරාධ-සහායකයන් වන නිසා ඔවුන් වෙනම පාර්ශ්වයක් වශයෙන් මෙහිදී නොසැලකෙයි). රටේත්, පාර්ලිමේන්තුවේත් ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය එහි නැත. ඊළඟ ප්‍රධාන පෙළේ දකුණේ විපක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ එහි නැත. ඔවුන් එතැන නොසිටියේ ඇයි යන්න නොව, අනිත් පාර්ශ්ව එතැන සිටියේ ඇයි යන්න සලකා බැලීම, ප්‍රශ්නයේ ස්වභාවය තේරුම් ගැනීමට වඩාත් ප්‍රයෝජනවත් විය හැකිය.

දෙමළ ජාතික සන්ධානය ඊට සහභාගී වීම ස්වභාවිකයි. ආර්ථික අර්බුදයකට පමණක් නොව, ජන වර්ගයක් වශයෙන් මුහුණදීමට සිදුව ඇති ප්‍රශ්න රාශියකට මැදි වී සිටින ඔවුන්, දකුණේ පොදු ප්‍රවාහයේ කතිකාවන්ට සම්බන්ධ වීම, කැරලිකාරී සහ ප්‍රචණ්ඩකාරී කාල පරිච්ඡේදයකින් පසු, සාකච්ඡාව සහ සම්මුතිය පිළිබඳ ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිපත්තියේ පිහිටා වැඩ කරන දෙමළ ප්‍රජාවකට අනිවාර්ය කෙරේ. එවැනි සාකච්ඡා වර්ජනය කිරීම වෙනුවට ඒවාට සහභාගී වීම සහ හැකි සෑම වේදිකාවකම තමන්ගේ ජනතාව නියෝජනය කිරීම සිය ප්‍රතිපත්තිය කරගැනීම, ඔවුන් සම්බන්ධයෙන් ගත් විට යුක්තිසහගතයි.

ඊළඟට අපට ඉතිරි වන්නේ, ආණ්ඩුව සහ රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයයි. මුළු රටම මේ මොහොතේ අගාධයකට වැටී සිටින බවත්, එයින් ගොඩඒම සඳහා පක්ෂ භේදයකින් තොරව සියල්ලන් එකතු වී වැඩ කළ යුතු බවත්, රනිල් වික්‍රමසිංහ කියනු ඇත. එහෙත් ආණ්ඩුව අද පවා එවැනි මනෝභාවයක හෝ සූදානමක නැති බව එදා මේ සර්ව-පාක්ෂික සමුළුවේදීම, අජිත් නිවාඩ් කබ්රාල් සහ බැසිල් රාජපක්ෂ හැසිරුණු ආකාරයෙන් රනිල් වික්‍රමසිංහට අවබෝධ විය යුතුව තිබුණි. නැත, එවැනි අවබෝධයක් ඔහුට ලැබී නැත. මන්ද යත්, ඔහු ඊට සහභාගී වුණේම, ඉහතින් කී උත්තම හේතුවක් පෙරදැරිව නොවන බැවිනි. දෙමළ ජාතික සන්ධානය වැනි වාර්ගික සුළුතර පක්ෂයක්, මහවාර්ගික පාලන තන්ත්‍රයත් සමග ගනුදෙනුවේදී සාකච්ඡාමය අවකාශයක නිරත විය යුත්තේ යම් සේද, දකුණේ දේශපාලනය තුළ අසරණ සුළුතරයක තත්වයට අද වැටී සිටින රනිල් වික්‍රමසිංහත්, තමන් තවමත් නොනැසී පවතින බව රටට පෙන්වීම සඳහා හැකි සෑම අවස්ථාවක්ම පාවිච්චියට ගත යුතුය. මේ සර්ව-පාක්ෂික සමුළුව තුළ ඔහුගේ සහභාගීත්වයට ඇත්තේ ඒ අරුතම පමණි.

මෙය තවත් ඉදිරියට ප්‍රවර්ධනය වීමට බැරිකමක් නැත. පසුගියදා දෙරණ නාලිකාව රනිල් වික්‍රමසිංහ සමග පැවැත්වූ 360 වැඩසටහනේදී නිශ්චිත ප්‍රශ්නයක් මාධ්‍යවේදියා මතු කරයි. එනම්, ඔහු මේ රජයේ අගමැතිකම භාරගැනීමට යන බව ඇත්තක්ද යන්නයි. ඔහු ඊට නිශ්චිත පිළිතුරක් දෙනවා වෙනුවට කරන්නේ, තමාට සුපුරුදු මඟහැරීමේ සූත්‍රයේ සරණ යාමයි. එක මන්ත්‍රීවරයෙකු පමණක් වන තමා කෙසේ නම් අගමැති වන්නද යන ප්‍රතිප්‍රශ්නයට ඔහු සිය පිළිතුර ලඝු කරයි. අසන ලද ප්‍රශ්නයට එය පිළිතුරක්ද? ඔහු අගමැති තනතුරට පත්කිරීමට ආණ්ඩුවට අවශ්‍යතාවක් ඇති වුණොත්, ඒ සඳහා අවශ්‍ය කරන පාර්ලිමේන්තු අංකගණිතය සකස් කරදීමටත් ආණ්ඩුව කටයුතු කරන බව රනිල් වික්‍රමසිංහ නොදන්නවා නොවේ. ‘නැහැ, මේ ජනාධිපතිවරයා සහ ඔහුගේ ප්‍රතිපත්ති යටතේ කිසි දවසක මම අගමැති තනතුර භාරගන්නේ නැතැ’ යි කීමට ඔහුට නොහැකි වුණේ ඇයි? (ඇත්තෙන්ම ඔහු රාජපක්ෂලා යටතේ අගමැති තනතුර භාරගනිතියි සිතීමට, මගේ දේශපාලනික තර්කණය ඉඩ නොදෙයි. එහෙත්, ඉතිහාසය සමස්තයක් වශයෙන් ගත් විට, ලංකාවේ දේශපාලනය තුළ සිදුවිය නොහැක්කක් නැතැයි යන්නද මගේ සිත කියයි).

සර්ව-පාක්ෂික සමුළුව: පාර්ලිමේන්තුව වෙනුවට විධායකය?

සර්ව-පාක්ෂික සමුළුවේ තිබෙන රාජ්‍යකරණමය කාරණයට මදක් අවධානය යොමු කිරීම මෙහිදී වැදගත් ය.

එහි මාතෘකාව, ආර්ථික අර්බුදයයි. ඊට අදාළ ප්‍රධානියා වන්නේ මුදල් ඇමතිවරයා ය. මුදල් කටයුතු භාර එකම ආයතනය පාර්ලිමේන්තුවයි. එහෙත් මාස තුනකින් මේ මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ නැත. කෙනෙකුට අවශ්‍ය කරන්නේ සර්ව-පාක්ෂිකත්වයක් නම්, එය නියෝජනය කෙරෙන උත්තරීතර ආයතනය වන්නේත් පාර්ලිමේන්තුවයි. එහෙත්, ජනාධිපතිවරයා ස්වකීය සර්ව-පාක්ෂික සමුළුව කැඳවන්නේ ඊට පිටස්තරවයි. දැන්, මොහොතක් මේ ගැන සිතන්න: මේ අයියා මලෝ දෙන්නා කරන්නේ, ආර්ථිකය (මුදල්) පිළිබඳ ජනතා පරමාධිපත්‍යය, පාර්ලිමේන්තුවෙන් විතැන් කොට හිතුවක්කාරී ලෙස විධායකයේ සහ රාජපක්ෂ පවුල් වපසරිය තුළට කොටු කිරීමක් නොවේද? පාර්ලිමේන්තුවේ ස්වෛරීත්වය සහ උත්තරීතරත්වය ගැන නිතර බණ කියන රනිල් වික්‍රමසිංහ, 20 වැනි සංශෝධනයේ මුඛ්‍ය අභිමතාර්ථයක් වන, පාර්ලිමේන්තුව දුර්වල කොට විධායකය ශක්තිමත් කිරීම, දැනුවත්ව අනුමත කොට ඇති බව නොවේද මෙයින් පෙන්වන්නේ?

උගත් කම, වැදගත් කම සහ ප්‍රතිපත්තිගරුක භාවය වැනි දේවල්, කෙනෙකුගේ පැවැත්ම අභියෝගයට ලක්ව ඇති තත්වයක් යටතේ හිස් ප්‍රලාප බවට පත්වෙයි. එසේ පැහැදිලිව පෙනෙන දේවල් ඇඟිල්ලෙන් ඇන පෙන්වා දිය යුතු නැත. එහෙත්, රනිල් වික්‍රමසිංහ එසේ කිරීමටත් මැළි නොවෙයි.
ආණ්ඩුව සර්ව-පාක්ෂික සමුළුවක් කැඳෙව්වේ, රට අගාධයට පත්වීම පිළිබඳ තමන්ගේ අසාර්ථකත්වය ව්‍යංගයෙන්වත් පිළිගනිමින් නොවේ. රට පුරා නැගී එන මහජන විරෝධය වෙනතක හැරවීම ආණ්ඩුවේ අරමුණයි. මීට කලින්, මේ විදිහේම තවත් ව්‍යාජ උත්සාහයක් ගෙන තිබුණි. ඒ, අකාර්යක්ෂම ඇමතිවරුන්ද ඇතුළත් 11 දෙනෙකුගෙන් යුත් ආර්ථික කවුන්සිලයක් පත්කිරීමෙනි. එම කවුන්සිලයට උපදෙස් දීමට ව්‍යාපාරිකයන් 14 දෙනෙකුගෙන් යුත් තවත් කමිටුවක් පත්කෙරුණි. ඊළඟට, ජාත්‍යන්තර උදව් ලබාගැනීම සඳහා තාක්ෂණික කමිටුවක් පත්කළ යුතුව ඇතැයි ඒ ව්‍යාපාරික කමිටුවෙන් නිර්දේශ කෙරුණි. අනතුරුව, ජාත්‍යන්තර විශේෂඥ සහාය ලබාගැනීම සඳහා තවත් විශේෂඥ කමිටුවක්ද යෝජනා කෙරුණි. අවසානයේ නටපු නැටුමකුත් නැති බෙරේ පලුවකුත් නැති තත්වයකට අද එය පත්ව තිබේ.

ඊනියා සර්ව-පාක්ෂික සමුළුව එන්නේ ඉන් අනතුරුව ය. ඊට සහභාගී වීමට තමා තීරණය කෙළේ කෙසේද යන්න රනිල් වික්‍රමසිංහ විසින්ම පැහැදිලි කොට ඇති ආකාරය මෙසේ ය: ‘මගේ මිතුරෙකු වන නිමල් සිරිපාල සිල්වා උදක්ම ඉල්ලූ නිසා ඊට සහභාගී වීමට මම තීරණය කළා.’ මොහුගේ බුද්ධිමත් භාවයේ සහ ප්‍රතිපත්තිගරුක භාවයේ දිග පළල, ඒ පිළිතුර තුළම ගැබ් වෙයි. එතකොට, ‘මහා අර්බුදයකට පත්ව ඇති රටක් ගොඩගැනීමට පක්ෂ භේදයකින් තොරව කවුරුත් එක්විය යුතුව ඇතැ’ යි කියන අර උදාර කතාව තිබෙන්නේ කොහේද?

ඉම්තියාස් බකීර් මාකර්ගේ රැවුල

සමගි ජනබලවේගයේ ඉම්තියාස් බකීර් මාකර් මේ ප්‍රශ්නය යම් තැනකදී මතුකොට තිබෙන වීඩියෝ ඛණ්ඩයක්, ඉහත කී දෙරණ රූපවාහිනි සාකච්ඡාව තුළ ඉදිරිපත් කරන මාධ්‍යවේදියා ඒ ගැන කීමට ඇත්තේ කුමක්දැයි රනිල් වික්‍රමසිංහගෙන් විමසයි. මේ මහා බුද්ධිමතා සහ වැදගතා ඒ ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වන්නේ මෙසේ ය: ‘මම කියන්නේ, ඉස්සෙල්ලාම කොණ්ඩේ පීරලා එන්න කියන්න. ෂර්ට් එක හරියට මැදලා නැහැ. ඊළඟට, හරියට රැවුලා බාලා නැහැ. රැවුල බාලා එන්න කියන්න. ඊට පස්සේ මං උත්තර දෙන්නං. මං මෙයාව හොඳට දන්නවා. මමයි මෙයාව දේශපාලනයට ගෙනාවේ. හොඳ අත් දිග ෂර්ට් එකක් ඇඳගෙන එන්න කියන්න. ඊට පස්සේ මං උත්තර දෙන්නං.’

මෙතරම් උද්ධච්ච, මුග්ධ පිළිතුරක් දෙන නායකයෙකු එක්සත් ජාතික පක්ෂය වැනි දැවැන්ත පක්ෂයක් බිංදුවට ගෙන ඒම ගැන කෙනෙකු පුදුම විය යුතුද? නිමල් සිරිපාල සිල්වාගේ ආරාධනය මෙවැනි සමුළුවකට සහභාගී වීමේ ප්‍රතිපත්තිමය කාරණය සාධාරණීකරණය සඳහා සෑහෙයිද යනුවෙන් මතු කරන ප්‍රශ්නයට, ඉම්තියාස් බකීර් මාකර්ගේ රැවුලේ ඇති සම්බන්ධතාව කුමක්ද? අත්දිග ෂර්ට් එකක්, එවැනි ප්‍රශ්නයක් මතු කිරීමේ පූර්ව කොන්දේසියක්ද? කොණ්ඩය හරියට පීරා සිටීම ඒ සඳහා ලයිසමක්ද? ඔහු මේ කතා කරන්නේ උසාවි පරිශ්‍රයක් ගැනවත්ද? එහි පවා, මෑත කාලයේ එක් නීතිපතිවරයෙකු පෙනී සිටියේ කොණ්ඩය හොඳටම අවුල් කරගෙනයි. අධිකරණ පරිශ්‍රයක් තුළ රැවුල තහනම් නැත. ඊටත් වඩා, අප මේ කතා කරන්නේ, ඉම්තියාස් බකීර් මාකර් නමැති මුස්ලිම් ජාතිකයා ගැනයි. රැවුල ඔවුන්ගේ ආගමික සංකේතයකි. රනිල් වික්‍රමසිංහ කියන්නේ, තමන්ගෙන් ප්‍රශ්න කිරීමට නම්, ඒ ආගමික සංකේතයේ අයිතියත් අර මුස්ලිම් ජාතිකයා අත්හළ යුතු බවද? මොහු තුළ ඇතැයි මිනිසුන් නිතර කියන ‘උගත් කම’ සහ ‘වැදගත් කම’ මේ ප්‍රකාශය තුළ ඇත්තේ කොහේද?

(මෙසේ සුළු ප්‍රශ්න කිරීමක් හමුවේ, අතාර්කික සහ අසාධාරණ අන්දමින් වියරුවට පත්වීමත්, ඒ වියරුව ප්‍රතිවාදියාගේ ශරීරාංග වෙත යොමු කිරීමත් විස්තර කෙරෙන මනෝවිශ්ලේෂණාත්මක කියැවීම් බොහොමයක් තිබේ. ඒ ගැන කතා කළ යුත්තේ වෙනත් තැනක ය.)

කෙසේ වෙතත්, අවසාන වශයෙන් අප වටහාගත යුත්තේ මෙයයි: ලංකාවේ පවතින ප්‍රභූ දේශපාලනයත්, නිර්ප්‍රභූ (බයි) දේශපාලනයත් අතර, උගත් කම සහ වැදගත් කම අතින්, බරපතල වෙනසක් නැත.

ගාමිණී වියන්ගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.