ජනක රත්නායකගේ පෞද්ගලික ඡායාරූප වීඩියෝ හඬපට කතාවේ ඇතුල් පැත්ත.

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 05 , කොළඹ (LNW):කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින්, මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ පෞද්ගලික ඡායාරූප හෝ වීඩියෝ පට හෝ හඬපට ප්‍රචාරය කිරීම, බෙදා හැරීම තහනම් කරමින් ඒ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්වරියක ඇතුළු වගඋත්තරකරුවන් 08 දෙනකුට කොන්දේසි සහිත ආඥාවක් ඊයේ (04)දිනයේදී නිකුත් කරනු ලැබීය.

මෙම කොන්දේසි සහිත ආඥාව පෙත්සමේ පළමු, දෙවැනි සහ තෙවැනි වගඋත්තරකරුවන්ට පෞද්ගලිකව භාරදීමටත් සිව්වැනි, පස්වැනි සහ හයවැනි වගඋත්තරකරුවන්ට විද්‍යුත් තැපෑල මඟින් භාරදීමත් සහ හත්වැනි සහ අටවැනි වගඋත්තරකරුවන්ට තැපැල් මඟින් භාරදීමටත් අධිකරණයෙන් නියෝග නිකුත් වීමද සිදු විය.

පෙත්සම්කාර ජනක රත්නායක මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්වරියක වූ මිරිස්වත්ත, පුවක්පිටිය පදිංචි (මේ වන විට තායිවානයේ ජීවත් වන) පොල්වත්තේ ඉල්ලන්පෙරුම ආරච්චිගේ ගයත්‍රි බිම්බා, ඇගේ සැමියා වන (තායිවානයේ පදිංචි) ජනක රාජපක්ෂ, පිළියන්දල පදිංචි ඕශල හේරත්, පානදුර පදිංචි යසලාල් පෙරේරා, කැස්බෑව පදිංචි කල්ප ගයාන් කවීශ්වර ගුණරත්න, පානදුර පදිංචි ජාමුණු කමන්ත තුෂාර, අමෙරිකාවේ සමාජ මාධ්‍ය ජාලා දෙකක් වන වට්ස්අප් එල්.එල්.සී. හෙඩ්ක්වාටස් සහ ගූගල් එල්.එල්.සී. යූටියුබ් චැනලය වෙත මෙලෙස කොන්දේසි සහිත ආඥාවක් නිකුත් විය.

කොළඹගේ මාවත, කිරුළපන කොළඹ 05 පදිංචි මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා විසින් 2024 අංක 09 දරන මාර්ගත ක්‍රමවල සුරක්ෂිතාව පිළිබඳ පනතේ 24 වැනි වගන්තිය යටතේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත නීතිඥ මිතුන් ඩයස් මහතා මඟින් පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණි.

මෙම පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ, මෙම නව පනතට අනුව කොමිෂන් සභාවක් පත් කළ යුතුව ඇතත් මෙතෙක් එය සිදු කර නැති බැවින් අධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කරන බවය. මෙම පෙත්සම ඉදිරිපත් කරන තම සේවාදායකයා ඉලක්ක කරගෙන මෙහි පළමු සහ දෙවැනි වගඋත්තරකරුවන් ඔහුගේ පුද්ගලික තොරතුරු විසුරුවා හැරීම හේතුවෙන් එය වළක්වාලීමට කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කරන ලෙසට ඉල්ලා සිටින බව ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපති නීතිඥවරයා – මේ පනතේ පරමාර්ථයට අනුව මෙම නඩුකරයට අදාළව පෙත්සම්කරු ජනාධිපති අපේක්ෂකයකු වීම පමණක් සැලකිල්ලට ගන්න ඕන නැහැ. නමුත් මේ වගේ දෙයක් ඕනෑම කෙනකුට වෙන්න පුළුවන්. සිවිල් ජනතාවට මේක වෙන්න පුළුවන්. මගේ සේවාදායකයාගේ සියලු අන්තර්ජාලයට සම්බන්ධ මුරපද ඇයට දීලා තිබුණා. ඇය වසර 18ක් ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළා. එහිදී යම් සමීප සම්බන්ධතාවක් ඇති වෙලා තිබුණා. ඒ 2006 වසරේ විතර. එය 2023 මැයි මාසේ විතර බිඳී ගිහින්. දැන් ඇය වෙනත් විවාහයක් කරගෙන තායිවානයේ රැඳී සිටින්නේ. පෙත්සම්කරුගේ සමීප මිතුරකු වන මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ඔහුට කියා තිබුණේ මේ පළමු සහ දෙවැනි වගඋත්තරකරුවන් කියලා තියෙනවා ඇය සතු ඡායාරූප හෝ වීඩියෝ පට සමාජ මාධ්‍යවලට මුදා හරිනවා කියලා. ඊට පස්සේ එහෙම වීඩියෝවක් ශෙයා කරලා තියෙනවා කියලා දැන ගන්න ලැබුණා. ඒ වීඩියෝවේ පිටපතක් මේ සමඟ අමුණා තියෙනවා. ඒ නිසා මේ සූදානම නවත්වන්න තමයි ඉල්ලීම් කරන්නේ. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙම නඩුවේ පෙත්සම්කරුට අදාළ කිසිදු පෞද්ගලික තොරතුරක් ඡායාරූපයක්, හඬ පටයක් හෝ වීඩියෝ පටයක් හා වෙනත් පෞද්ගලික තොරතුරු සන්නිවේදනය කිරීමෙන්, සම්ප්‍රේෂණය කිරීමෙන්, බෙදා හැරීමෙන්, හුවමාරු කර ගැනීමෙන්, ජනනය කිරීමෙන්, ප්‍රචාරය කිරීමෙන් පළ කිරීමෙන් හා ඈඳීමෙන් වළකින ලෙසට වගඋත්තරකරුවන්ට කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කළේය. එමෙන්ම, මෙම නඩුවට අදාළව හේතු දැක්වීම සඳහා ලබන අප්‍රේල් මස 18 වැනිදා තෙක් නඩුව කල් තැබීමට ද අධිකරණයෙන් නියෝග නිකුත් විණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...