*
Tuesday, May 14, 2024
spot_img

Latest Posts

බරම බර සිතුවිලි සහිත මිනිස්සුන්ටත් අන්තිම සරල විදිහට ආදරය තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනි. – රෙඩ් කොමරේඩ්

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 08, කොළඹ (LNW): මේ දවස්වල මිනිස්සු ඉන්නෙ වම ද දකුණ ද කියලා තෝරගන්න බැරි අර්බූදයක.වම කියලා කියන බොහෝ දේවල් තියෙන්න පුළුවන්නම් මේක ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්.ඒත් ජීවිතේ මැදිවියේ ඉන්න අපට එනකම්ම දිගටම විඳලා තියෙන්නෙ වම තමන්ගෙ කියාගන්න වමේ අයිතිය වෙනුවෙන් රණ්ඩු වෙන පොකුරක්.


වම කියන්නෙ සීරියස් වැඩක්.


මෙහෙම හිතන ගොඩ දෙනෙක්ට වම ගැන එහෙම හිතෙන්නෙ ඇයි?


සීරියස් වැඩිකම නිසා ඔවුන් ඉන්නෙ පීඩනයක.ඇදගෙන ඉන්නෙ අපිළිවෙලට.ඔවුන් යමක් ඇති මිනිස්සු සමඟ තරහ කොට්ඨාශයක්.රසවත් අය නෙමෙයි.බර දේවල් කතා කරන සාමාන්‍ය මිනිස්සුන්ට නොතේරෙන භාෂාවක් ඇති දැණුමක් ඇති මිනිස්සු කොට්ඨාශයක්.දරුණු තීරණ ගන්න මිනිස්සු.
ඉහත උත්තරය එක්ක එහෙම නිර්වචන ඔබට හිතිලා තියෙනවා වෙන්න පුළුවන්.නැත්නම් එහෙම නිර්වචන දෙන පිරිස් දැකලා තියෙන්නත් පුළුවන්.


ඔවුන් සතුව තිබෙන දැණුම හැබැයි කවුරුත් ප්‍රතික්ෂේප කරන එකක් නැහැ.ඒ දැණුම ගොඩ ගැහිලා තිබීම තුළ ඔහු ආදරණිය මනුස්සෙක් නොවන්නේ සහ රෝමාන්තිකයෙක් නොවන්නේ කොහොමද කියන ගැටළුව මතු වෙලා නැද්ද?


ජීවිතය සමාජය වෙනුවෙන් කැප කරන මනුස්සෙක් රොමාන්තික නොවන්නේ කියන ප්‍රශ්නය ඔබට හමුවෙලා නැද්ද? තව කෙනෙක්ගෙ සරලකම වින්දනය දෙස හිනා වෙවී බලන්න බැරි මනුස්සෙක් අසීමිත ලෙස සමාජයට ආදරය කරන්නෙ කොහොමද කියලා ඔබට හිතිලා නැද්ද?

චාලි චැප්ලින් වගෙ කලාකාරයෙක්ගෙ සිනමාව දිහා බලාගෙන ඕනිම ආකාරයක මනුස්සෙක් හිනා වෙනවා.හිටිලර් ගේ නාසිවාදය ඔහු අතින් විවේචනය වෙනවා කියලා නොදැන වුණත් ඔහුගේ හාස්‍ය රංගනය ඇතුළෙ මිනිසුන් පීඩාවට පත් කරන පීඩකයා ගැන හාස්‍යමය අවබෝධයක් චැප්ලින් ගොඩ නඟනවා කියන එක තමයි සාමාන්‍ය ඇත්ත. බ්‍රෙෂ්ට්ගෙ දේශපාලනයත් ඒ කාලයටම අදාළයි.ඔහුගේ කලාව වුණේ දේශපාලනය යි.ඒත් කට වහගෙන, සිනහවක් දෙතොළට නොනැඟෙන අමුතු දේශනාවක් ස්වරූපයෙන් නොමෙයි බ්‍රෙෂ්ට් ඒ දේ කළේ.මිනිස්සු බ්‍රෙෂ්ට්ගේ දේශාපාලනය ගැන සියයට සියයක් දැනගෙන හිටියෙ නැති වුණාට ඔහුගේ නිර්මාණ වින්ද.ඔහුගෙ සරල අදහස තේරුම් ගත්තා.යථාර්තය ගැන ඡායාවක් හරි හදවතේ ඇළුණා.


රෙඩ් කොමරේඩ් කියන්නෙ අන්න ඒ විදිහෙ වැඩක්.රූපය පමණක් නොවෙයි චිත්‍රපටය අස්සෙන් ඇහෙන ශබ්දත් විවිධ කාල වකවානු සහ සිද්ධි අපට මතක් කර දෙනවා.ඒ හැම දෙයකටම අදහසක් තියෙනවා.
රෙඩ් කොමරේඩ් පටන් ගන්න ඉස්සෙල්ලා මහදිවුල්වැව මරු වැඩක් කළා.චිත්‍රපට පිපාසෙන් හිටපු මේ ලියන්නටනම් ඒ වෙලාවෙ මලත් පැන්නා.වැඩේ බලන්න පරක්කු වෙනවා කියලා.ඒත් චිත්‍රපටය නිමා වෙලා ඒ චිත්‍රපටයට සම්බන්ධ හැම කෙනෙක්ම වැළදගෙන ආස්වාදය ප්‍රතාශ කරන්න ඉඩ නැති වුණාම ඒ කේන්ති ගිය හේතුව වෙච්චි සියළුම ශිල්පීන ඉදිරියට කැඳවා හඳුන්වා දීපු වෙලාවෙ රැල්ලට ගහපු අත්පොඩිය හදවත ඇතුළටම දාගෙන එහෙම ප්‍රතිචාර දක්වන්න පුළුවන් වෙච්චි එක ගැන සතුටු වුණා.


ඒ තමයි චරිත දෙකක් සහ කාමරයක් අස්සෙ කැරෙකන කැමරාවට අහුවෙන ඒ චරිත දෙකේ චලනයන් විතරක් නෙමෙයි මේ වැඩේ රඟපාන්නෙ කියලා දැණුනා නිසා.ශබ්ද පරිපාලනය,කැමරාව,සංගීතය,සංස්කරණය මේ සිනමා පටයෙ හැමෝම අපට දැනෙන භූමිකාවක් කරනවා.එහෙම නැත්නම් ප්‍රකාශයෙක් ලෙස හෝ ප්‍රකාශය තිව්ර කරන්නෙක් විදිහට හැම තත්පරයෙම මේ පන ඇති අපට පේන චරිත දෙක විඳ ගැනීමේ සම්භාවිතාව පුළුල් කරනවා.


ඒ නිසා මෙහි කිසිවක් වෙන් කරලා ගන්න බැහැ.අඩුම තරමෙ රංගවේදිනිය සහ රංගවේදියා කරන්නෙ ආලෝකය,ශබ්දය සහ අවකාශය අස්සෙ ගලායන කාලයට ටක්කෙටම තමන්ගෙ චලනයන් ටික තබන එක පමණයි.ඔවුන් විශිෂ්ඨයි කියන්න වෙන දේවල් කියන්න හොඳ නැහැ.මං හිතන්නෙ ටයිමින් කියන වචනය මත හෝ රිද්මය කියන වචනය මත තබා ඔවුන් නිවැරදියි සහ පොහොසත් කියන එකම සිනමාත්මකයි.
සිනමා ආත්මයක හුස්ම ගන්න තැන්,ආපහු පිට කරන තැන්.හැරෙන බලන හිනාවෙන අඬන මේ හැම දෙයක්ම අපේ ආත්මයට බද්ධ වෙච්චි අරුත් සහිතව ගලාගෙන යන දේවල්.ඒවට පන තියෙනවා.අපි එක්ක සංවාද ඇති කරනවා.හැබැයි හිනාවෙලා කෑ ගහලා නෙමෙයි. ඒ නිසා චිත්‍රපටය බලල ඒ අත්දැකීම එතැන තියලා එන්න බැරි අපේ පස්සෙන් ඇවිත් හදවතේ ගැඹුරුම තැන ජීවත්වෙන්න බලපෑම් කරන වැඩක්.එහෙම එකක රංගන ශිල්පියො රඟපානවද?සංගීතවේදියො වයනවද ගයනවද කියලා නොදෙැනෙන ගාණට බද්ධ වෙච්චි ඒකාත්මික ප්‍රකාශයක් කරන්න කරලා තියෙන කැපවීම මරු කියනවට වඩා එක එක්කෙනාගේ දායකත්වයෙ දිග පළල මනින්න යන එකෙන් ප්‍රේක්ෂකයෙක් විදිහට ඒ ආත්මය ඇතුළෙ ලිවීම තුළ ඇතිවන ප්‍රතිරෝධය චිත්‍රපටයට හෝ මහදිවුල්වැවට නොව ලියන්නාටත් දර ගැනීම ටිකක් අමාරුයි.
වැලි කඩදාසියක දෙපැත්ත අපට දැනෙන්නෙ දෙවිදිහකට.අපට එහි අතට අහු වෙන මුදු කොටසෙ නෙමෙයි හැබැයි කඩතොළු මකා ඔප දැම්මේ හෝ මුදු කිරීමේ හැකියාව තියෙන්නෙ.රෙඩ් කොමරේඩ් කියන්නෙ ඒ ඔප දමන මෘදු කරන කාර්යයේ අපූර්ව වගකීම ඉටු කරන ක්‍රියාවලියක්.රළු ගැටිති කපා හරින,වෙනම හැඩයක් සිතුවිලිවලට දෙන්න පුළුවන් ක්‍රියාවලියක්.


“සංස්කෘතික මිනිහෙක්ට විතරයි පුළුවන් අළුත් හීන හදන්න,අළුත් හීන හොයන්න අළුත් හීන දකින්න.”
මේක උත්තරයක් හැටියට ගන්න බැහැ.මේක අපිට ඇතුළු හදවතට ඇතුළු කරන ප්‍රශ්නයක්.දේශපාලනිකව අපව අතර මං කර තිබෙන තැන මෙතැන කියන තරමටම ඒ හරහා අපේ අභ්‍යන්තරය ප්‍රශ්න කරනවා.අපිව අතරමං වෙලා ද කියන ප්‍රස්තුතය යට අපට ඒ අතරමං වීමේ අස්ථානයේ ඉන්නවද,ඒකෙ බරට අපි අඩි තියාගෙන ඇවිදිනවද,එහෙම නැත්නම් ඒ බර තියාගෙන සරල සුගම වින්දනීය මිනිස්සු හැටියට ජිවිතය විඳින අතරේම ඇත්ත හොයනවද ඒ වෙනුවෙන් මහන්සි වෙනවද කියන ප්‍රශ්නය අපි දිහාට දමලා ගහනවා.


සමාජය ඉදිරයේ සරල නොවී තමන්ගේ වින්දනයේ අවංකත්වය සිය දේශපාලනය විසින් මාංචු දමා තබා ගන්නා මිනිස්සු සමස්ත සමාජය ඉදිරියේ මවන අනන්‍යතාවය නිසා ඒ ගැඹුරු මැදිහත්වීම් සහිත මිනිස්සු ඇතුළෙ බොහොම සරලව ජීවිතය විදින ලල් එකක් ගන්න මිනිස්සු නැහැ කියලා විශ්වාස කරන සමාජ අවකාශයක පවතින සමාජය සැලෝලයිඩ් භාෂාවට ගේන එක වෙහෙසකර වැඩක්.එ්ත් මහදිවුල්වැව විශ්වාස කරන දේශපාලනය ඇතුළෙ ඔහු කියන්නෙ සිනමාකාරයෙක්ට හෝ කලාකාරයෙක්ට අලුත් වෙන්න පුළුවන් බව.ඒ බර පහසුවෙන් හඳුනගන්න මජර සමාජ දේශපාලනයේ තියෙන මර්ධනකාරී දැලෙන්,ඇය ඔහුව අවසාන මොහොතේ දී ගලවා ගන්නේ මජර දේශපාලනය විසින් විශ්වාස කරන ක්‍රියාවලියේ අනන්‍යතාවයට පිටින් කරන හැසිරීම නිසයි.නටලා,ගයලා හැසිරෙන්න බැරි මිනිස්සුන්ට විතරද සමාජ වෙනසක් අපේක්ෂාවෙන් දේශපාලනය කරන්න පුළුවන් කියන විශ්වාසයට පහර දෙන එක ඇතුළේම ඇය ඒ දේශාපාලනය උපක්‍රමශීලීව යටපත් කරන සිර කරන ව්‍යහුයේ සිතුවිලි අතරමං කළ හැකි අන්දමට උපක්‍රමික වීමේ හැකියාව සහ උවමනාව ගැන ඉඟියක් දෙනවා.


හැබැයි ඒ ලල් එක විඳින මිනිස්සු හිටියනම් ඒ වින්දනය අස්සෙම සමාජය මේ තරම් මජර තැනකට ඇඳ වැටෙන එක අවබෝධ කරන සරල භාවිතයකට යන්න තිබුණෙ නැද්ද කියන ප්‍රශ්නය අපේ ඇතුළෙන් නැඟෙන කොට අපට ආයිමත් ඇතුළෙන් ඇහෙන්න ගන්නෙ මොකද්ද?


“සංස්කෘතික මිනිහෙක්ට විතරයි පුළුවන් අළුත් හීන හදන්න,අළුත් හීන හොයන්න අළුත් හීන දකින්න.”
ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ සිහින කියන්නෙවත් සංස්කෘතික මිනිසා කියන්නෙවත් අන්තිම සරල ව්‍යහුයක ජීවිතය දකින මිනිස්සු කියලා.විඳින්නෙ නැති විඳවන ජීවිතයක තියෙන පීඩනයෙන් සැහැල්ලු නොවී සාර සංස්කෘතියක හීනවලට යන්න පුළුවන් ද?හීනවල සීමාවන් නිර්ණය කරපු වැට කඩුලු අස්සෙ නොව ජීවිතය ඊට වඩා අනන්තයට විහිදුණු රොමාන්තික එකක් වුණාම මිනිස්සුන්ට ආදරය කියන දේ මීට වඩා හඟවන්න බැරිද?


දේශපාලනය මේ අභ්‍යාසයේ නොයෙලෙන තාක් සමාජය ගැඹුරෙන් දේවල් වටහාගන්න එකක් නැහැ.රෙඩ් කොමරේඩ්ලා කොයිම මොහොතකදී හෝ අනතුරක සිහින දැක දැක ජීවත්වෙන්න ඕනි පිරිසක් බවට පත් වීම නවතින එකකුත් නැහැ.
සමහර විට මේ දේශපාලනය වම් ඉවුරට තියලා හේත්තු කරලා තමන්ගෙ තරුව ඒකෙ අලවගෙන අඳුරු ප්‍රදේශ එළියට පේන්න ආලෝකමත් කර ගන්න කුමන හෝ දේශපාලන ව්‍යාපාරයක් උත්සාහ ගන්න ඉඩ තියෙනවා.ඒකට විසිල් ගහන්න,විසිල්වලට බල්ටි ගහන්න කට්ටිය එන්න පුළුවන්.ඒත් ඒ ආලෝකය පිටතට විහිදන්න තරමට ශක්‍යාතවයක් ඇති එකක් ලෙස භාවිතයට ගැනීමට පෙර රෙඩ් කොමරේඩ් හී දරුණු ආත්මීය විවේනය සිය ඇතුල් පැත්ත ආලෝකමත් කර ගැනීමට යොදා ගැනීමට හැකිනම් මීට වඩා සමාජය සංස්කෘතික වීමෙන් එහාට පියවරක් තබලා දේශපාලනික වශයෙන් ස්ථාවර වේවි.


මේ මොහොතේ සමාජ ජාලාවල විවේචනයට බඳුන් වන එක්තරා රංගන ශිල්පිණියක් සාදයක පාන රැඟුමක් නිතර දකින්නට ලැබෙනවා.ඒක වැරදියි කියන්න තරම් දේ සමාජයට කාන්දු වුණේ කොතනින් ද කියන කාරණය නොවිමසා ඒ කාන්දුවෙන් එන දේවලින් ඒ රංගන ශිල්පිණියව ගරහන මිනිස්සුන් කෙරෙහි ද්වේශය පළ කිරීමෙන් පලක් වේද?
ආපහු ආපහු සුදත් මහදිවුල්වැව රෙමාන්තික මිනිස් හැසිරීම් දැණුමක් ඇතිව පරිශීලනය කරන මිනිසුන්ගේ ආදරයෙ වර්ගපලයට මේ වර්ග සැතපුම් 25000 තුළම පැතිරෙන්න හැකි ඉඩ ගැන කරන විවේචනය එසේ නොවීම හරහා කියවා ගැනීම වැදගත්.ඒක ආදරෙයි කියා වැළඳ ගැනීමකට වඩා වැළඳ ගන්නට හිතෙන ආදරයක් ලැබීමට සුදුසුවන ව්‍යහුයමය හැඩය ගැන ප්‍රකාශ කිරීමක්.
“සංස්කෘතික මිනිහෙක්ට විතරයි පුළුවන් අළුත් හීන හදන්න,අළුත් හීන හොයන්න අළුත් හීන දකින්න.”
එයට හොඳින් ඇස් ඇර සවන් දෙන්න.මතකයේ තබා ගන්න,හදවත පතුළේ වගේම සිතුවිලි අතරේ ද නින්නාද දෙන්න ඉඩ හරින්න.එය ජීවිතයේ ඇත්ත හැටියට තබා ගන්න වෙහෙසෙන්න.


“බරම බර සිතුවිලි සහිත මිනිස්සුන්ටත් අන්තිම සරල විදිහට ආදරය තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනි.”
සුදත් මහදිවුල්වැව කරන යෝජනාව මට දැනෙන්නෙ ඒ විදිහට.ඒ යෝජනාව අත නොහැර දැක ගන්න නිදහස් මනසකින්, ඔබට ලැබෙන පළමු අවස්ථාවේම “රෙඩ් කොමරේඩ්” සමඟ කතා කරන්න විනාඩි 90 ක් වෙන් කර ගන්න. ඇය බේරා ගත් එකා සමාජය වෙනුවෙන් මදි.අපි බේරාගන්න උන් එකෙකුට වඩා වැඩියි.හැමෝම එකෙක් බේරාගන්න,බේරෙන හැටි ගැන අවබෝධයක් දෙන්න හිතාගන්න දවසක රෙඩ් කොමරේඩ්ගේ තරුව කවුරුත් ඇවිත් පපුවෙ ගහන්න ඕනි වෙන එකක් නැහැ.ඔළුවෙ ගහන්න ඕනි වෙන එකකුත් නැහැ.ඒක හදවතේ කුටීරවලින් ගලන ලේවලටම කලවම්ව නහරයක් නහරයක් පාසා ගලා ගෙන යයි.ඔළුවයි හදවතයි දෙකක් නො එකක් කර ගැනීමේ සංස්කෘතික වපසරියක තිබිය යුතු දේශපාලනික භාවිතාවන් ගැන වසර ගණනක කියවීම විනාඩි 90 කට කැටි තිරීම ගැන කියන්න තියෙන්නෙ “අපූරුයි”.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan