*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

ඩඩ්ලි සේනානායකයන්ගේ 50 වන ගුණානුස්මරණය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඩඩ්ලි සේනානායක යනු ලංකාවේ ප්‍රථම අගමැති මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ වැඩිමහල් පුතණුවන්ය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රජාතාන්ත්‍රවාදියකු වූ ඩඩ්ලි රටට, දැයට, ආගමට හිතැති නායකයෙක් විය. “සක්විති රජකම ලැබුණත් රට දැය පාවා නොදෙයි” යන පාඨය ඔහුගේ තේමාව විය. “ නව යුගයක් කරා” යන ප්‍රතිපත්තියයේ සිටිමින් රට පාලනය කළ ඩඩ්ලි ආදර්ශවත් බෞද්ධ නායකයෙක් විය. අගමැති පදවිය දරමින් සිටියදීද පොහෝ දිනවල පෙහෙවස් සමාදන් වූ මෙතුමා අගමැති නිල නිවස වූ අරලියගහ මන්දිරයට පිඬුසිඟාවඩින ස්වාමින් වහන්සේලාට තම අතින්ම දන් පිළිගැන්වීමට තරම් සැදැහැවත් බෞද්ධයෙකු විය. වනයටත්, ජයලටත්, ගොවිතැනටත්, අලි ඇතුන්ටත් දැඩි ලෙස ප්‍රේමකළ ඩඩ්ලි දක්ෂ කැමරා ශිල්පියකු විය.

ඒ නිසාම ඔහුගේ කරේ එල්ලුනු කැමරාව ඔහුට ආභරණයක් තරම් විය. ඔහු ලංකාවේ නොගිය ගම් ප්‍රදේශයක් නැති තරම්ය. ගොවියා කෙරෙහි දැක්වූයේ දැඩි ඇල්මකි. ඒ නිසාම රටේ සතර දිග් භාගයේ තරුණයන් එක්කර ගොවි හමුදාවක් බිහි කළේය.

ගොවි ජනපද ව්‍යාපාරය ක්‍රියාත්මක වන රජරට හා රුහුණේ ගොවිබිම් හරහා මෙම ගොවි හමුදාව ඔස්සේ ගොවි විප්ලවයකට මඟ පෑදුවේය. මේ තුළින් නව ගොවි බිම් ආරම්භ විය. ඩඩ්ලිගේ රජරට එක්වූ ප්‍රබල ගොවි නායකයෙකු වූයේ සී. පී. ද සිල්වා ඇමතිවරයාය. එතුමා ඩඩ්ලිගේ රජයේ වාර්මාර්ග, ඉඩම් සංවර්ධන හා විදුලි බල ඇමතිවරයා විය. කාෂිකර්ම ඇමති පදවිය දැරුවේ කෘතහස්ත දේශපාලනඥයකු වූ ඇම්. ඩී. බන්ඩා මහතාය. මේ සියලුදෙනා එක්වී මහවැලි ගඟ රජරටට හරවා සංවර්ධනය කිරීමේ මහා ව්‍යාපාරය ආරම්භ වූයේ ඩඩ්ලි සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. මහවැලිය උතුරට හැරවීම පිළිබඳව එදා පාර්ලිමේන්තුවේ සිටි එකල විපක්ෂය සිදුකළ උසුළු විසුළු කතා අප්‍රමාණය. ඔවුන් ලංකාව ලෝක බැංකුවට උකස් කරනවා යැයි බෙරිහන් දුන්නේය. ජනතාව ඔවුන්ගේ බොරුවලට රැවටුණු නිසා 1970 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්කර ඩඩ්ලි සේනානායක මහතා විපක්ෂයේ වාඩි කරවීය.

තමන් රැවටුනු බව ජනතාවට අවබෝධ වූයේ 1972 වසරේ සිය ආරම්භ වූ පෝලිම් යුගය සමඟය. ඩඩ්ලි 1973 මියගිය විට ජනතාව සෑම ගෙදරකම සිට වැළපුනේ “බත් දුන් පියා බුදුවේවා” යනුවෙන් පවසමිනි. තවත් පිරිසක් ඩඩ්ලි මතු දිනෙක වී ගසට පිටදී බුදුවේවායි බැනර් දැම්මේය. ඩඩ්ලි යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මානව හිතවාදියෙකි. ඔහු කවුරුවත් රැවටුවේ නැත. ඩඩ්ලි සත්‍යම කථාකළ, සත්‍ය තුළම ජීවත් වූ නායකයෙක් විය. ඔහු ජීවිතයේ බොහෝ සේ ඇළුම් කළ ස්ථානයක් වූයේ කෑගල්ල දිස්ත්‍රිකකයේ පිහිටි සල්ගල ආරණ්‍ය සේනාසනයයි. සමහරු සිතුවේ ඩඩ්ලි එම ස්ථානයේ මතු දිනෙක පැවිදි වේ යැයි කියාය.

වර්ෂ 1911 ජුනි 19 දින මිරිගම බෝතලේ වලව්වේ උපත ලද ඩඩ්ලි අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයෙනි. පාසල් අධ්‍යාපනය නිමාවී එංගලන්ත ක්‍රේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව උපාධියක් ලබා නීතිය හදාරා නීතිවේදියකු ලෙස දිවුරුම් දී මව්බිමට පැමිණ ඩඩ්ලි තම පියාගේ ආභාෂය ලබමින් ලංකා ජාතික සංගමයට එක්වූයේ ඉතා ලාබාල තරුණයෙකු ලෙසය. ඩඩ්ලිට තවත් මිතුරෙකු මෙහිදී හමුවිය. ඔහුද තරුණ නීතිවේදියෙකු වූ ජේ. ආර්. ජයවර්ධන මහතාය. පසුව ලංකා ජාතික සංගමයේ සම ලේකම් පදවිය ඩඩ්ලි හා ජේ. ආර්. දෙදෙනා විසින් දැරීම විශේෂ සිද්ධියකි. 1946 දී එක්සත් ජාතික පක්ෂය පිහිටුවන විට ඩඩ්ලි එහි ආරම්භක සාමාජිකයකු විය. ජේ. ආර්. ජයවර්ධන මහතා පක්ෂයේ ප්‍රථම සම භාණ්ඩාගාරික ධුරය දැරීය.

ඩඩ්ලි සේනානායක මහතා මන්ත්‍රීවරයකු වශයෙන් මැති සබයට පැමිණියේ 1936 වසරේ පැවති රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයෙන් හතර කෝරළයේ දැදිගම අසුන දිනා එහි රාජ්‍ය මන්ත්‍රීවරයා ලෙස පත්වෙමිනි. එවිට ඔහුගේ වයස අවුරුදු 25 කි. 1947 පැවැති ලංකාවේ පළමු වන පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ඩඩ්ලි දැදිගම දෙවන වරටත් දිනා මැති සබයට පිවිසියේය. එතැන් සිට 1956 වසරේ මහ මැතිවරණය හැර මහ මැතිවරණ හතකට දැදිගම ඡන්ද කොට්ඨාසයටම තරඟ වැදී අපරාජිතව මැති සබයට පැමිණි ඩඩ්ලි සිය ජීවිත කාලයම ගතකළේ අවිවාහකයකු ලෙසිනි. ඔහුගෙන් යමෙකු විවාහ වන්නේ නැතිදැයි විමසූවිට ඩඩ්ලි පිළිවදන් දුන්නේ මම ‘දැදිගම’ නම් රූමතිය සමඟ විවාහ වී සිටින බව පවසමිනි.

ඩඩ්ලි සේනානායක මහතා සිය පාලන යුගවලදී ජනතාවට බොහෝ සහන ලබාදීමට පියවර ගෙන තිබිණි. සෑම අයෙකුටම සතියකට සහල් සේරුවක් නොමිලයේ ලබාදීම ඉන් එකකි. ඔහුගේ පාලන සමයේ ජනතාවට අවශ්‍ය බඩු භාණ්ඩ බොහෝ සෙයින් මිල ගණන් වලින් පහල මට්ටමක තිබුණි. සිමෙන්ති කොට්ටයක මිල වූයේ රුපියල් 13 කි, සීනි රාත්තලක් සත 72 කි, පාන් රාත්තලයක් සත 35 කි. බනිස් ගෙඩියක් සත 05 කි, පාන් පිටි රාත්තලක් සත 37 කි, කිරි පිටි ටින් එකක් රුපියල් 01.50 යි, ටින් කිරි ටින් එකක් සත 25යි, සහල් සේරුවක් රුපියලකට අඩුය. රෙදි යාරයක් රුපියලයි සත 12 කි. ලාම්පුතෙල් ගැලුමක් රුපියලකට අඩුය. මෙලෙස භාණ්ඩ මිල ගණන් අඩු වුවද විපක්ෂය කීවේ ඩඩ්ලි මහ ජනතාව නොමරා මරන බවය. එදා වාමාංශිකයන් ජනතාව ඉදිරියේ කිව් ගීතය වූයේ “සාදුකින් පෙළෙන වුන් දැන් ඉතින් නැගිටියව්” කියාය. එපමණ ජනතාවට සහනදායක වූ රජය 1970 දී පරාජයට පත්විය. බලය ලැබුනේ ශ්‍රී ලංකා, සම සමාජ, කොමියුනිස්ට් පක්ෂ 3 එක් වූ සමඟි පෙරමුණටය. එම රජය සත 72 කට දුන් සීනි රාත්තල රුපියල් 7.50 ක් ලෙස මිල ගණන් නංවන විට ජනතාව ඩඩ්ලිගේ පින්තූරය තම ගෙවල්වල බුදුන් වඳින තැන එල්ලා පහන් පත්තු කර ප්‍රාර්ථනා කළේ ඔබ නැවතත් බලයට පැමිණිය යුතු බව කියාය.

මෙම මානවවාදී නායකයාට ජීවත්වීමට හැකිවූයේ වසර 62 ක් පමණ සුළු කාලයකි. එතුමා 1973 වසරේ අප්‍රේල් 13 වෙනි දිනට යෙදී තිබුණු සිංහල අවුරුදුදා ජීවිතයෙන් සමුගත්තේ මුළු රටේම පැවති කොවුල් නද පරදා කණකොක් හඬ පතුරුවමිනි. මුළු රටම මළ ගෙයක් විය. අවුරුදු නැකැත් කෙළි සෙල්ලම් පසෙකට තල්ලු වී ඩඩ්ලිගේ අවමඟුලට මුළු රටම සැරසුනි. මෙරට කිසිම අවමඟුලකට කොළඹට එක් නොවූ ජන ගඟක් කොළඹ බොරැල්ලේ වුඩ්ලන්ඩ් මන්දිරයටත්, පාර්ලිමේන්තු මන්දිරයටත්, ඩඩ්ලිගේ අවසන් කටයුතු කළ නිදහස් චතුරස්‍රයටත් එක්විය.

ලක්ෂ සංඛ්‍යාත ජනී ජනයාගේ සෝ සුසුම් මැද ගිනිගෙන දැවෙන සඳුන් දර සෑයක් මතින් ඩඩ්ලි සේනානායක මහතාගේ ජීවන සුවඳ ඉතිරිකර මිනිස් සිරුර භෂ්මාවශේෂ බවට පත්විය. එම ගිනිගෙන දැවෙන දර සෑයෙන් දල්වාගත් පහනක් එක්තරා හිමිනමක් සිය සුරතට ගෙන වැඩම කළේ තම විහාරස්ථානයේ දොළොස් මහා පහණ දැල්වීම පිණිසය. එදා සිට අද දක්වා එම පහන නොනිවී දල්වාගෙන යන අයුරු සුළුපටු නැත. ඩඩ්ලි සේනානායක ශ්‍රීමතුන් දැයෙන් සමුගෙන වසර 50 ක් සපිරෙන මෙම මොහොතේ එතුමා රැකගෙන ආ එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකයා වන රනිල් වික්‍රමසිංහ මහතා මෙරටේ විධායක ජනාධිපති වශයෙන් කටයුතු කිරීම ද සුවිශේෂී සිද්ධියකි.

මේ සිහිකරන්නේ එතුමාගේ 50 වන ගුණානුස්මරණයයි..!!

( තොරතුරු උපුටා ගන්නා ලදී )

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan