*
Wednesday, May 29, 2024
spot_img

Latest Posts

මෙරට ක්‍රියාත්මක දැවැන්ත වාරි ව්‍යාපෘතිය “උමා දිය ජනනි” ජනතා අයිතියට! (video)

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 24, කොළඹ (LNW):

මෙරට ක්‍රියාත්මක දැවැන්ත වාරි ව්‍යාපෘතිය “උමා දිය ජනනි” බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ශ්‍රී ලංකා – ඉරාන ජනපතිවරුන් අතින් ජනතා අයිතියට පත් විය,

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්ත වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වන “උමා දිය ජනනි” බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන – ශ්‍රී ලංකා ජනාධිපතිවරුන්ගේ සුරතින් අද (24) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් මෙම අවස්ථාවට එක් වූ ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, දෙරටේ නායකයන් එක්ව සමරු ඵලකය නිරාවරණය කර “උමා දිය ජනනී” බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරා දුන් අතර ඩිජිටල් තාක්ෂණය ඔස්සේ විදුලි ජනන යන්ත්‍ර පණ ගන්වා මෙහෙයුම් කටයතු ආරම්භ කිරීම ද ජනාධිපතිවරු දෙදෙනා අතින් සිදු කෙරිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ආරාධනය පරිදි ඉරාන ජනාධිපතිවරයා ශ්‍රි ලංකාවේ එක්දින නිල සංචාරයකට එක්ව සිටින අතර 2008 වසරේ අප්‍රෙල් මාසයේ දී එවකට ඉරාන ජනාධිපති මොහොමඩ් අහමදිනෙජාඩ් මහතාගේ සංචාරයෙන් පසුව ඉරාන ජනාධිපතිවරයෙකු මෙරට සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

සිය සංචාරය සනිටුහන් කරමින් ඉරාන ජනාධිතිවරයා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේ තැන්පත් කර තිබූ විශේෂ ආරාධිතයන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය (UOMDP) ශ්‍රී ලංකාවේ ජාතික වශයෙන් වැදගත් ප්‍රමුඛ ව්‍යාපෘතියකි. ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග වියළි කලාපයේ පවතින ජල හිඟය සමනය කිරීම සඳහා උමා ඔය ද්‍රෝණියේ පරිසරයට හා ජල ප්‍රභවයන්ට හානියක් නොවන පරිදි එහි පවතින වාර්ෂික සාමාන්‍ය ඝන මීටර් මිලියන 145 (MCM)ක අතිරික්ත ජලය කිරිඳි ඔය ද්‍රෝණියට හැරවීමයි.

මෙමඟින් මොණරාගල දිස්ත්‍රික්කයේ නව ඉඩම් හෙක්ටයාර 4500 කට පමණ සහ දැනට පවතින කෘෂිකාර්මික ඉඩම් හෙක්ටයාර් 1500 කට පමණ වාරි ජලය මෙන්ම බදුල්ල, මොණරාගල සහ හම්බන්තොට යන ප්‍රදේශවල පානීය හා කාර්මික ජල අවශ්‍යතා සඳහා අවශ්‍ය ජලය ඝන මීටර් මිලියන 39 (MCM) ප්‍රමාණයක් ලබා දෙන අතරම වාර්ෂිකව ජාතික විදුලිබල පද්ධතියට ගිගා වොට් පැය 290 (290 GWh)ක විදුලි ධාරිතාවක් එක් කරයි.

මෙම ව්‍යාපෘතිය සඳහා පුහුල්පොල සහ ඩයරබා ජලාශ දෙක ඉදිකිරීම, ජලාශ දෙක සම්බන්ධ කරන කිලෝමීටර් 3.98 දිගකින් යුත් ජල ප්‍රවාහ උමග (සම්බන්ධක උමග), කිලෝමීටර් 15.2 ක දිගකින් යුත් ප්‍රධාන උමග, භූගත විදුලි බලාගාරය, සම්ප්‍රේෂණ මාර්ගය සහ ඒ ආශ්‍රිත අනෙකුත් ඉදිකිරීම්වලින් සමන්විතය.

ඉරානයේ ෆරාබ් (FARAB) සමාගම විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙන අතර සම්පූර්ණ කොන්ත්‍රාත් මුදල ඇමරිකානු ඩොලර් මිලියන 514 ක් වන අතර කොන්ත්‍රාත්තුව 2010 මාර්තු 15 දින සිට බලාත්මක විය. ඉරානයේ අපනයන සංවර්ධන බැංකුව (EDBI) පළමුව 2013 වන තෙක් ඩොලර් මිලියන 50 ක් අරමුදල් සම්පාදනය කළේය. කෙසේ වෙතත්, ඉරානයට එරෙහිව එම කාලයේ පැනවුණු ජාත්‍යන්තර සම්බාධක හේතුවෙන්, ඔවුන්ට දිගටම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය පහසුකම් සැපයීමට නොහැකි විය. එබැවින් අදාළ කොන්ත්‍රාත්කරු වූ ෆරාබ් සමාගම සමඟ රජයේ අරමුදල් යොදා ගනිමින් ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකා රජය තීරණය කළේය.

2010 මාර්තු 15 වැනි දින ව්‍යාපෘතිය ආරම්භ කරන අවස්ථාව වන විට, ව්‍යාපෘතිය නිම කිරීමට නියමිත දිනය 2015 මාර්තු 15 වැනිදා ලෙස දැක්විණ. නමුත් ප්‍රධාන වශයෙන් අනපේක්ෂිත ලෙස ප්‍රධාන උමඟට (Headrace tunnel) ජලය ඇතුළු වීමේ තාක්ෂණික ගැටලු හේතුවෙන් මෙන්ම සමාජ බලපෑම්, මූල්‍ය අභියෝග ගෝලීය ගැටලු සහ ඉදිකිරීම් කාලය තුළ ඇතිවූ Covid-19 වසංගතය, හේතුවෙන් ව්‍යාපෘතිය අවසන් කිරීමේ දිනය 2024 මාර්තු 31 දක්වා දීර්ඝ කර ඇති අතර ව්‍යාපෘතියේ අඩුපාඩු සහ වගකීම් කාලය සමඟ මුළු කාලසීමාව 2025 මාර්තු 31 දක්වා දීර්ඝ කර ඇත.මෙම ව්‍යාපෘතිය 2024 පෙබරවාරි සහ මාර්තු මාසවලදී එහි මූලික ක්‍රියාත්මක කිරීමේ අදියර සම්පූර්ණ කර ඇති අතර ඒකක 01 සහ 02 ජාතික ජාලය සමඟ සාර්ථකව සම්බන්ධ කර ඇත. 2024 අප්‍රේල් 1 වැනි දින අත්හදා බැලීමේ මෙහෙයුම් ආරම්භ විය.

විදුලිය උත්පාදනය කිරීමෙන් පසු, එම ජලය උමගක් ඔස්සේ කිරිඳි ඔය හරහා ඉදිකරන ලද අලිකෝට ආර ජලාශයට හරවා යවනු ලැබේ.

ඉන්පසු එම ජලය උමා ඔය ජලාශයේ වම් ඉවුරේ පිහිටි මෙම ව්‍යාපෘතිය යටතේ ධාරිතාව තුන් ගුණයකින් වැඩි කර ඇති හඳපානාගල ජලාශයට සහ මෙම ව්‍යාපෘතිය යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, මහාරගම, තනමල්විල, බලහරුත වැනි ප්‍රදේශවලට ජලය සැපයීම සඳහා උමා ඔය දකුණු ඉවුරේ ඉදි කෙරෙමින් පවතින නව කුඩා ඔය ජලාශයටත් හරවා යවනු ලැබේ. මීටර් 60 කට වැඩි දිගකින් යුත් වාරි පද්ධතියක් ද ඉදිවෙමින් පවතී. මෙම වාරි ක්‍රම මඟින් යල සහ මහ දෙකන්නයේම දැනට පවතින වගා බිම් හෙක්ටයාර 1500කට සහ අලුතින් සංවර්ධනය කරන ලද ඉඩම් හෙක්ටයාර 4500කට වාරි ජලය සැපයීමට අපේක්ෂා කෙරේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සෘජු දායකත්වයෙන් ක්‍රියාත්මක වන උමාඔය පහළ ජලාශ සංවර්ධන ව්‍යාපෘතිය මඟින් කිරිඳිඔය ද්‍රෝණියේ දීර්ඝ කාලයක සිට ගැටලුවක්ව පැවති ජල හිඟය සම්පූර්ණයෙන් අවසන් වන අතර, ලැබෙන ජලයෙන් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා නව තාක්ෂණය යොදා ගනිමින් ඒකාබද්ධ කෘෂිකර්ම සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස රජය අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත. එමෙන්ම උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මඟින් බණ්ඩාරවෙල සහ වැල්ලවාය ප්‍රදේශවල පානීය හා කර්මාන්ත අවශ්‍යතා සඳහා ජලය ලබාදීමේ ගැටලුවට ද විසඳුම් ලබා දී තිබේ.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

” අද මෙම අවස්ථාවට සහභාගිවීමට කරන ලද ආරාධනය පිළිගැනීම පිළිබඳව මම ඉරාන ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා. මෙම අවස්ථාව අප දෙරට අතර වඩා සමීප සබඳතාවක් ඇති කළ අවස්ථාවක් ලෙස මා දකිනවා.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවේ මගේ ධූර කාලයට පෙර සිටි නායකයන් බව කිව යුතුයි. ඒ වගේම වියළි කලාපයට ජලය ලබාදෙන මෙම ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ උනන්දුවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් දක්වනු ලැබුවා. මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමේ වගකීම හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා විසින් භාරගෙන කටයුතු කළා.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී විවිධ අභියෝගවලට මුහුණ දීමට සිදු වුණා. නමුත් අප දෙරටටම අභියෝගවලට මුහුණ දී මනා පළපුරුද්දක් තිබෙනවා. ඒ නිසා අපි මෙම අභියෝගයටද සාර්ථකව මුහුණ දුන්නා.

ඒ වගේම මෙම උමා ඔය ව්‍යාපෘතිය අප දෙරටේම පැරණි වාරි සම්ප්‍රදායන් දෙකෙහි එකතුවක් ද වෙනවා. ඉරානයේ පරිසියාව සහ ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ වාරි සම්ප්‍රදාය මෙහි තිබෙනවා. ඉරානයේ තාක්ෂණික දැනුම නොතිබෙන්නට අපට උමා ඔයේ ජලය කිරිඳිඔයට ගෙන යාමට අවස්ථාවක් නොලැබෙන බව කිව යුතුයි.

ඉරානයේ තාක්ෂණික හැකියාව සෑම ක්ෂේත්‍රයක් පුරාම විහිඳී ගොස් තිබෙනවා. ඉරානය සිය රටේ තාක්ෂණික දියුණුව තමන් විසින්ම පවත්වාගෙන යන රටක් බව ද කිව යුතුයි. ඒ නිසා අප දෙරටටම පොදු කරුණු අප විසින් ශක්තිමත් කරගත යුතුයි. අප සියලු දෙනා ගෝලීය දකුණේ රටවල්. ගෝලීය දකුණේ රටවල් සිය අනන්‍යතාවය සහ ස්වාධීනත්වය තහවුරු කර ගනිමින් සිටින අවස්ථාවක මෙවැනි ව්‍යාපෘති ඉතා වැදගත් වෙනවා.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හරහා ඉරානය අපේ රටේ වියළි කලාපයේ ජනතාවට ජලය ලබාදීමට දායක වී තිබෙනවා. එමඟින් එම ජනතාවට අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් ලබා දී තිබෙනවා. වියළි කලාපයට ජලය ලබාදීම යනු එම කලාපයේ ජනතාවට ජීවත්විමේ අයිතිය ලබාදීමයි. ගිරුවාපත්තුවෙන් මෙහා මාගම්පත්තුවේ තිබෙන නියඟය නිසා එම ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිනවා. එසේ නම් අද අප සිදු කර තිබෙන්නේ උඩවලවේ තිබෙන බහුකාර්ය ක්‍රමය, කිරිඳිඔයට ගෙන ඒමයි.

එම වාරි ක්‍රමවේදය වගේම හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ නව ආයෝජන කලාපයක් ආරම්භ කිරීමට ද අප සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා චීනයේ සිනොපෙක් සමාගමට ඉන්ධන පිරිපහදුවක් සඳහා අප දැනටමත් අනුමැතිය ලබා දී තිබෙනවා. මේ සමඟ හම්බන්තොට දිස්ත්‍රික්කයට නව ආර්ථිකයක් ලැබෙනවා.

මෙම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිසා හෙක්ටයාර් 6000ක් යල මහ දෙකන්නයේ වගා කිරීමට ගොවි ජනතාවට හැකියාව ලැබෙනවා. ලංකාවේ වැඩිම වී නිෂ්පාදනයක් සිදු කරන්නේ උඩවලවේ ප්‍රදේශයයි. ඒ වගේම දැන් හම්බන්තොට ප්‍රදේශයේද එම කටයුතු සිදු කිරීමට හැකි වනු ඇතැයි අප අපේක්ෂා කරනවා. ඒ සමඟ කෘෂිකර්ම නවීකරණ වැඩසටහන දකුණු පළාත තුළ ද ආරම්භ කිරීමට අපට හැකියාව ලැබෙනවා. ඒ වගේම බලශක්ති ක්ෂේත්‍රයට ද මෙමඟින් විශාල දායකත්වයක් ලැබෙනවා.

ඒ වගේම මෙම ව්‍යාපෘතිය මඟින් මෙගා වොට් 120ක ජල විදුලි බලයක් උත්පාදනය කෙරෙනවා. ගෝලීය දකුණේ දියුණුවන රටවල් ලෙස ඉරානය සහ ශ්‍රී ලංකාව එක්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව ඉරානය සහ ශ්‍රී ලංකාව අතර මීට වඩා සමීප සබඳතා ඇති කර ගනිමින් ඉදිරියට යමු කියා මම ප්‍රකාශ කරනවා” ලෙස කියා සිටියේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan