කෞශල්‍යයා නික්ම ගිය හැටි

ශ්‍රී ලංකාව තුළ දී මීටර් 400 කඩුලු මතින් දිවිමේ ඉසව්වේ හොඳම කාලය වාර්තා කළ ක්‍රීඩිකාව වූ කෞශල්‍යයා මධුශානි සිය ජීවිතයෙන් නික්ම ගියේ නොසිතූ විරූ ලෙසය.ඇය දිනෙන් දින සිය හැකියාවන් වර්ධනය කර ගන්නා ආකාරය දුටු විට ඇය බොහෝ බලාපොරොත්තු සපිරි ක්‍රීඩිකාවක් බව සිතුණි.එසේම ඇය සම්බන්ධයෙන් බොහෝ බලාපොරොත්තුද බොහෝ අය තුළ දැල්විණි.

එහෙත් නොසිතූ මොහොතක ඇය ඒ සියල්ලට සමු දෙන්නට තීරණය කරාය.එය ඉවසුම් නොදෙන තරුණ ක්‍රීඩිකාවකගේ නික්ම යාමකි.අවසන් කටයුතු සඳහා ඇය සිහින දුටු ඇය ගැන මිනිසුන් සිහින දුටු ධාවන පථයක් සකස් කර තිබිණ.එහි ඇය වාර්තා කර හොඳම කාලය වන තත්පර 58.18 ද සඳහන් කර තිබිණි.එය නිර්මාණශීලි පසුබිමක් බව සැබෑය.එහෙත් ඒ නිර්මාණශිලීභාවය ඇතුළේ රටේ ක්‍රීඩාවේ අලුත් වාර්තා නිර්මාණ කරාවි යැයි බලා සිටි ක්‍රීඩිකාවක් සැඟව ගියාය.ඉතා ආසන්නයේ මලල ක්‍රීඩා කේෂ්ත්‍රයේ සිඳු වූ දෙවැනි සමුගැන්ම මෙය ය.මියැදුණු පසු ලස්සන වලවල් කපා පලක් නැත.ඉක්මණින් මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ඔවුන්ගේ මානසික පීඩා කතා කරන්නට ජීවිත ගැටළු කතා කරන්නට වැඩ සටහනක් ඇරඹිය යුතුව ඇත.කෞශල්‍යයා යළි ඉපදෙන්නේ නැත.දැන් මැරුණා සේ නොසිට ජිවත්වෙන්නන් වෙනුවෙන් ක්‍රීඩා ප්‍රධානීන් අවදි විය යුතුය.

RM