නිශ්මං රණසිංහ අප්‍රේල් 28, කොළඹ LNW:
ලංකාවේ ක්‍රීඩාව කලාවට සාහිත්‍යයට විෂය වන තරම ප්‍රමානවත් නැහැ.ක්‍රීඩා මාධ්‍යවේදියෙක් වගේම ඇතැම් ක්‍රිඩාවල ප්‍රායෝගිකව නිරත වූ කෙනෙක් හැටියටත් මේ තත්ත්වය වෙනස් කරන්න දායක වෙන්න පුළුවන් මට්ටමෙන් වෙර දරන්නෙකු හැටියටත් සමන් ද සිල්වා ගේ ගීත කලාව තුළ දකින තණනිල්ල දිගේ ඇදිලා යනවා ගීතයට මම බෙහෙවින් කැමත්තක් දැක් වූවා.
සමන් එක්ක මහා ලොකු ගණුදෙනුවක් නැතත් හම්බවෙලා කතා කරන්න අවස්ථා කිහිපයක්ම ලැබිලා තියෙනවා.ඒ හැම අවස්ථාවකම එයා ගොඩක් කල් දන්න මිත්‍රයෙක්ට අමතනවා වගේ කතා කරන ගතියක් තිබුණා.සමන් කියන්නෙ ගායක වෘත්තීය හැමතැනම උස්සගෙන යන්නෙ නැති සාමාන්‍ය මනුස්සයෙක් විදිහට හැමෝම එක්ක සුහදශීලීව ඉන්න කැමති කෙනෙක් කියලයි මට දැණුනේ.
සමන්ගෙ තණනිල්ල දිගේ ඇදිලා යනවා ගීතය ක්‍රිකට් සම්බන්ධයෙන් ගැයුණු බොහෝ ගීතවලට වඩා ක්රිඩාත්මකයි වගේ සාහිත්‍යමය වශයෙනුත් වටිනාකමක් තියෙනවා කියලයි මට වැටහෙන්නෙ.ඒකට ප්‍රධාන හේතුව ගීතයේ භාෂාව විය යුතුයි.
තණ නිල්ල දිගේ ඇදිලා යනවා
සිත මා පිරිලා..
දහසක් නෙතු මා වෙත යොමු වෙනවා
සිත මා පිරිලා..
විදුලිය වාගේ වැදිලා
යන විට ඈත නොපෙනී
විදුලිය වාගේ වැදිලා
යන විට ඈත නොපෙනී
දෙසවන් මගේ පිරිලා ඇසේ
ජය ගීතිකා ගැයිලා
තණ නිල්ල දිගේ ඇදිලා යනවා
සිත මා පිරිලා..
දහසක් නෙතු මා වෙත යොමු වෙනවා
සිත මා පිරිලා..
සැඩ හිරු ඈත දිලෙනා
සුව බර මේ සැදෑවේ
සැඩ හිරු ඈත දිලෙනා
සුව බර මේ සැදෑවේ
හසරැල් නැගී සතුටින් වගේ
ජය ගීතිකා ගැයිලා
තණ නිල්ල දිගේ ඇදිලා යනවා
සිත මා පිරිලා..
දහසක් නෙතු මා වෙත යොමු වෙනවා
සිත මා පිරිලා..
තණ නිල්ල දිගේ ඇදිලා යනවා
සිත මා පිරිලා..
දහසක් නෙතු මා වෙත යොමු වෙනවා
සිත මා පිරිලා..
සිත මා පිරිලා..
සිත මා පිරිලා..
සිත මා පිරිලා..
මේ ගීතය අමු නොවී තරගයක ස්වභාවය යම් උපමා උපමේය ද ඇතුළත්ව ලිය වුණ එකක්.තරගයක් රහට විස්තර කරන එකක්.මේ නිසා හමු වූ අවස්ථාවල ඒ ගැන මොනව හරි කතා කරන්නත් අමතක කළේ නැහැ.හැබැයි සමන් ඒක මහා වැඩක් කියලා කතා කරනවා වෙනුවට පොඩි උත්තර දුන්නෙ සමහර විට අන්දන්න හදනවද කියන සැකයෙන් වෙන්නත් පුළුවන්.
මෙහි පද රචනය සහ සංගීතයත් හරිම වැදගත්.ඒත් ඒ ආර සංගීතයේ ලංකාවේ දැවන්තම චරිතයක් වන ක්ලැරන්ස් විජේවර්ධන අතින් සිඳු වූවක්.මේ වැඩේ සමන් හරි ආදරයෙන් කරපු වැඩක්.ඒකනම් තේරුණා.ඒ ඔහු අතිශයින් ක්‍රිකට් හා බද්ධ වුණ ක්‍රිකට් ලෝලියෙක් නිසයි.ක්‍රිකට් උන්මාදය ඉබේ ඇඟට රිංගන නාලන්දය ඔහුගේ තක්ෂලාව වීම වගේම ගීතයේ තිබුණ ඉහළ ගුණාංගත් තණනිල්ල ගැන මිනිස්සු ආදරය කරන සාධකය වුණා.ක්‍රිකට් ලේවල දුවන මිනිස්සු ඉන්න රටක සමන් ගැයූ වෙනත් අපූරු ගීතවලට වඩා ක්‍රිකට් ගීතය මිනිස්සු වැළඳගන්න ප්‍රමාණය වැඩි වෙන්න තවත් හේතුවක් වුණේ ඒ ගිතයේ රූප රාමු අස්සෙ ශ්‍රී ලංකාව එතෙක් මෙතෙක් බිහි කළ සුපිරිම නායකයා ලෙස බොහෝ දෙනෙක් හඳුන්වන මහේල ජයවර්ධන ළමයෙකු ලෙස ඒ රූප රාමු තුළ දැකීමයි.
මේ සමඟ ඒ රූප රාමු සහිත වීඩියෝව ඇතුළත් කර තිබෙන නිසා එය නැවත නැරඹීමට හැකියි.මහේල මෙන්ම ඔහුගේ මිය ගිය ආදරණීය මල්ලිත් මේ රූප රාමුවල ඉන්නවා.ඒ රූපමය සත්කාරය සමහර විට මහේලගේ තාත්තාම අධ්‍යක්ෂණය කළ එකක් වෙන්න පුළුවන්.සුමතිපාල ජයවර්ධන කියන මහේලගේ තාත්තා ලංකාවේ ටෙලි නාට්‍ය අධ්යක්ෂවරයෙක් මෙන්ම ඒ කේෂ්ත්‍රයට අදාළ තාක්ෂණික කාරණා සම්බන්ධයෙන් ඉහළ දැණුමක් තිබුණ ප්‍රවීනයෙක්.සමන් නික්ම ගියා කිව්වම මතකයට ආපු සිඳුවීම් අතර මේ ගීතයේ රූප රචකයා කවුද කියලා ඔහුගෙන් අහන්න බැරි වීම ගැන කණගාටුවකුත් ආවා.
සමන් අපූරු බර හඬක් ඇති ගායකයෙක්.ඔහුගේ තණනිල්ල වගේම මැණිකේ ඔබ දුර එනවා කියන ගීතයත් මාත් බොහෝ විට ගායනා කරන්න ආස ගීත දෙකක්.ඒ වගෙ සමන් ගායනා කරන ගීත බොහොමයක් අපේ නිවුණු සාද උණුසුම් වෙන කොට නිරන්තරයෙන් ගැයෙනවා.
සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න එන්න මිත්‍රයෝ
ඉන්න ඩිංගෙ භේද වෙන්නෙ ඇයි අහෝ මෙසේ..
අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලිින්
අතරින් පතරින් නටයිද කැතරින්
පියානො බැන්ජො ටැමරින් මැන්ඩලින්
වයලින් වයලින් ගෝවෙ නොනැසෙන වයලින්.
මේ ඒ සම්බන්ධ හොඳ උදාහරණ.මේවා ඇතුළෙ තිබුණෙ සමහර විට සමන්ගෙම ජීවන දර්ශනය වෙන්න පුළුවන්.මොකද ඔහු මා දන්න සුළු වපසරිය ඇතුළේ වගේම ඔහුව ගොඩක් ඇසුරු කළ අයගේ නිර්වචනයේ ද තේරෙනම සිංහලෙන් කිව්වොත් ආතල්ම ආතල් පොරක්.ඔහුගේ ජීවන දර්ශනයා,කැමත්ත වැනි දේවල් ගායනා කරාද කියලා හිතෙන තරමට වෙනම රහක් සතුට වගේම අවිනිශ්චිත භාවයත්,ඒ දැන සතුටින් ජීවිතය ගෙවා දැමීමත් තිබුණා කියලයි මට හිතෙන්නෙ.
අපි නෑ සඳට අඩන්නේ
අඳුරේ එළිය දකින්නේ
මේ ඒ සඳහා හොඳම උදාහරණයක්.විඳවා විඳවා සිටින තැන මරණයෙන් මතුව හරි සතුටෙන් ගෙවා දැමිය හැකි තැනක් වේ නම් මරු වගේ අදහසකින් කියපු මේ ගීතය බලන්න.මේවා සමහර ජීවන අත්දැකීම් එක්ක හදවත පුපුරු ගහන වේදනාවන් එක්ක අපූරු රස ගුලාවකට කැන්දාගෙන එන වචනවලින් පොහොසත් වෙච්චි ගැයුම්.
මාගේ අවසාන මොහොත වෙලාවේ
නාදේ කුමටද බට නලාවේ
හමුවෙමු අපි දෙන්නා ස්වර්ගේ…
ඒ වගේම බොහොම ශෝකි ස්වරයෙන් අසෙන දැවෙන විරහව ඊට වඩා වෙනස් රිද්මයිකින් ජිවිතයට ගෙනා අවස්ථාවක් හැටියට සමන්ගේ පහත ගීතය හැඳින්විය හැකිය.
හඩවලා හිතක් හඩවලා
ඔබ ඉදියි අදත් හිනහිලා
මේ ගීතය මෙන්ම පදවැල් ද නැවත නැවත විමසා බැලීමේදී සාමාන්‍ය බයිලා ගායකයෙකු ඉක්මවා යන පදවැල් තෝරා ගැනීමට සමන් උනන්දු වූ බව ඔහුගේ බොහෝ ගීත ඇසුරේ දැනෙන සත්‍යයකි. එයට තවත් උදාහරණයක් ලෙස සමන්ගේ සුදු මීදුමු සේද ඉරා ගීතය උදාහරණයකට ගත හැකිය.
මේ සියල්ල අතරේ සමන්ට යම් සමානකම් දක්වන කවුරු හෝ ඔබට සිහි විය හැකිය.එහෙත් ලංකාවේ කීඩාව සම්බන්ධයෙන් කරන ලද අපූරුම ගැයුම සමන්ගේය.එය කලාව සහ සාහිත්‍යය පොහොසත් විදිහට ලංකාවේ ක්‍රීඩාව සමඟ සම්බන්ධ වුණ අවස්ථාවක් ලෙස හැමදාම පවතිනු නිසැකය. සිත හඬවා නික්ම ගියද තණනිල්ල දිගේ ඔබ හැමදාම සිතට ඇදී එනු නිසැකය.
සමන්!
සුබ ගමන්!
(තණනිල්ල දිගේ ගීතයට – https://bit.ly/4iEBDDk)
