කොළඹ, මැගසින් බන්ධනාගාරයේ රැඳවියෙකු මියයාමේ සිද්ධියට අදාළව ජේලර්වරයෙකු සහ නියාමකවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ පෙරවරුවේ මැගසින් බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධියකින් බන්ධනාගාර රැදවියන් දෙදෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීවරයෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබුණු අතර එයින් එක් රැඳවියෙකු මරණයට පත්ව තිබිණි.
මෙම රැඳවියාට පහරදී ඝාතනය කර ඇති බවටයි ඔහුගේ ඥාතීන් චෝදනා කළේ.
එහෙත් බන්ධනාගාරයේ පාර්ශ්වයෙන් ප්රකාශ කර තිබුණේ රැඳවියන් දෙදෙනෙකු සිර මැදිරිවලින් පිටතට පැමිණ දිව යාමට උත්සහ කිරීමේ දී එය වළක්වාලීමට බන්ධනාගාර නියාමකවරයෙකු කටයුතු කර ඇති අතර එහිදී ඔවුන් ඇදවැටීමෙන් සිදුවූ තුවාලවලින් එක් රැඳවියෙකු මියගොස් ඇති බවකි.
මේ සම්බන්ධයෙන් බොරැල්ල පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණු අතර ඒ අනුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.


