රජයක මෙහෙවර තනිවම ඉටුකළ ලාංකේය ග්‍රන්ථ ප්‍රකාශනයේ සද්දන්තයා

ලාංකීය ග්‍රන්ථ ප්‍රකාශනයේ කීර්තිමත්ම යුගය 60 – 70 ද්වී දශකය ලෙස නම් කිරීමට මම කැමැත්තෙමි.

එය ලාංකීය නිර්මාණ සාහිත්‍යයේද, ශාස්ත්‍රීය සංවාදයේ හා ප්‍රකාශනයේද අත්‍යුත්කෘෂ්ට අවධිය වූවා සේම ලාංකීය ග්‍රන්ථ ප්‍රකාශනයේ ගුණාත්මක භාවයේ ඉහළම අවධිය විය.

මා එම ද්වී දශකය ලාංකීය ග්‍රන්ථ ප්‍රකාශනයේ ඉහළ ගුණාත්මක අවධිය ලෙස නම් කරන්නේ එය එකී කර්මාන්තය තුළට නාගරික ප්‍රාග්ධනය ආයෝජනය වූ අවධිය බැවිණි. එම්.ඩී. ගුණසේන, ලේක් හවුස් ඉන්වෙස්මන්ටස් ඇතුළු එකල ප්‍රමුඛ පොත් ප්‍රකාශකයින්ගේ හිමිකාරීත්වයේ පන්ති පදනම විමසා බැලීමෙන් ම කියන කරුණ ඔබට වඩාත් වටහාගත හැක.

තවත් පැහැදිලිව කියන්නේ නම් 60 – 70 දශක යනු ලංකාවේ ග්‍රන්ථ ප්‍රකාශන කර්මාන්තයට නූතන ප්‍රාග්ධනය ගලා ආ ඉතිහාසයේ එකම අවධිය වූ බවය මගේ නිරීක්ෂණය.

එබැවින් එකල ග්‍රන්ථ ප්‍රකාශන කර්මාන්තය තුළ යුරෝපීය හා අනෙකුත් දියුණු ප්‍රකාශන සංස්කෘතියක් තිබූ රටවල ප්‍රකාශන කර්මාන්තයේ සැකැස්ම හා සමාජ වගවීම ඒ හා අවියෝජනීයව බැඳී තිබුණි.

එහි ඉහළම නියෝජනය ගුණසේන සමාගම විය.

ඔවුන් පුවත්පත්, පාසල් පෙළ පොත් මුද්‍රණය ඇතුළු වෙනත් ලාභදායි ව්‍යාපාර වෙතින් ලද අතිරික්ත ලාභය ග්‍රන්ථ ප්‍රකාශන කර්මාන්තය වෙත ආයෝජනය කළේ ය.

එකල එහි ආයතනික සැකැස්ම මෙයාකාර විය:

ආයෝජකයා (ගුණසේන)
ප්‍රකාශන කළමනාකරු (ඇම්. සිරිසේන, ලාල් ප්‍රේමනාත් ද මැල්…)
සංස්කාරක
මුද්‍රණ අංශය
සෝදුපත් අංශය
ගබඩා
බෙදා හැරීම්
පොත් හල්….මේ ආදී ලෙස විදිමත් සැලැස්මක් ඊට විය.

මෙය එම යුගයේ ලෝකයේ ඉහළම පෙළේ ප්‍රකාශන ආයතනයක ආයෝජන සැලැස්මට වඩා වෙනස් නොවීය.

මුද්‍රණ සැළසුම, මුද්‍රණ ආකාර, භාෂා නිර්වද්‍යතාව, නිමාව මේ සියල්ල යුගයට සාපේක්ෂ නූතන මට්‍ටමේ විය.

පාසල් පොත් මුද්‍රණයද මෙකී සමාගම් විසින් ඉටු කළ බැවින් ඔවුන්ගේ ලාභ තීරුව සුවිසාල වූ අතර ඔවුන් ඒවා ප්‍රකාශන කර්මාන්‍තයේ විවිධත්වය වෙනුවෙන් ආයෝජනය කළේය.

එබැවින් අප අද ද භාවිත කරන බොහෝ ශාස්ත්‍රීය ප්‍රකාශන, උසස්ම සිංහල ලේඛකයන්ගේ මුල් මුද්‍රණ බොහෝමයක් ගුණසේන සමාගමේ ප්‍රකාශනය.

රටක ග්‍රන්ථ ප්‍රකාශන කර්මාන්තය උසස් එකක් බවට නිගමනය කළ හැකි එක් නිර්ණායකයක් වන්නේ යමෙකු උනන්දුවන ඕනෑම විෂය ක්ශේත්‍රයකට අදාළව කෘති එම සමාජය තුළ සුලබ වීමයි.

60 – 70 දශක ද්වය ලංකාවේ ග්‍රන්ථ ප්‍රකාශන කර්මාන්තය තුළ සුවිශේෂ වන අන් වැදගත් කරුණ වන්නේ එකී ග්‍රන්ථ ප්‍රකාශන විවිධත්වය වෙනුවෙන් ගුණසේන සමාගම සිදු කළ ඓතිහාසික කාර්‍යභාරයයි.

ඉහළ ශාස්ත්‍රීය ප්‍රකාශනවල සිට වඩු වැඩ, වතු වැඩ, ඉවුම් පිහුම් දක්වාම පොත පත ඔවුන් පළ කළා පමණක් නොව පෙන්ගුවින් සමාගම පෆින් බුක්ස් බිහි කළා සේ ඔවුන් ළිහිණි පොත් සමාගම පිහිටුවා සයිමන් නවගත්තේගම වන් තරුණයන්ට තමන්ගේ ප්‍රථම කෘතිය පළ කිරීමටද සහය දුන්නේ ය.

1968 දී පමණ එකල පැවති ආණ්ඩුව විසින් පෙළ පොත් මුද්‍රණය කර විකිණීම හේතුවෙන් ගුණසේන සමාගමේ අතිරික්ත ප්‍රාග්ධනය සීමා වූයෙන් එම සමාගම ලාංකීය ග්‍රන්ථ ප්‍රකාශනය වෙනුවෙන් කළ ඓතිහාසික වැඩ කොටස අඩ පණ විණි.

ඉන් අනතුරුව රටේ වාසනාවටදෝ ඒ ඓතිහාසික ප්‍රකාශන කාර්‍යයට උර දෙන්නට නාගරිකයෙකු නොවන ජාතික ඇඳුම් ඇඳි ගමකින් කොළඹට පැමිණි කුඩා මිනිසෙකුට හැකි විය.

නාගරික නව නූතන ප්‍රාග්ධනය, නවීකාරක චින්තනය, ලෝක මට්ටමේ ආයතනික සැකැස්ම ඔහු සතු නොවුනද තම නැණ පමණින්, හැකි පමණින් මේ කුඩා ගැමියා ඒ සද්දන්ත කාර්‍යයට කර ගැසුවේය.

ඔහු නමින් සිරිසුමන ගොඩගේ ය.

ඔහු නොවන්නට ලාංකීය සමාජයට සිදුවන්නට විය හැකිව තිබූ ලොකුම විපත වන්නේ එතෙක් ගොඩ නැගුණු ශාස්ත්‍රීය සංවාදය දුබල වීම ය.

1980 දශකයෙන් පසු බිහිවුණු ප්‍රකාශක පරම්පරාව මතු නොව ආණ්ඩුවක්වත් මැදිහත් වී මුද්‍රණය කරන්නට නොපෙළඹෙන පොත් ඔහු නොපැකිළව පළ කෙළේය.

අද අප භුක්ති විඳින බොහෝ දැනුම් මූලයන් වෙනුවෙන් ශාස්ත්‍ර ප්‍රේමී සැවොම ගුණසේන හා ගොඩගේ දෙපළට ණය ගැති වෙමු.

ලාංකීය ග්‍රන්ථ කර්මාන්තයේ එතෙක් නොතිබූ වර්තමාන එක් අනන්‍ය හැඩයක් වන සුබ සාධන කාර්‍යය ආරම්භ කළේ ගොඩගේ මහතාය.

ඊයේ රාත්‍රියේ නිහඬ වූයේ තනි මිනිසෙකු නොව මහා ඉතිහාසයකි. ඒ ඉතිහාස අඩුව පුරවනු තබා ඊට අලගු තබන්නවත් වර්ථමානිකයන් කිසිවෙකුටවත් නොහැකි වනු ඇත.

සිරිසුමන ගොඩගේ යුගකාරකයාණනි, උත්තම ගුණ සපිරි මිනිසාණෙනි, ඔබ පැතූ මෝක්ෂය ඔබට හිමි වේවා!

~ ජනක ඉනිමංකඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...