අද (30) දිනයේදී පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරකසභාව හමුවේ පෙනී සිටීමට තමන්ට නොහැකි බව මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම එම කාරකසභාවට දැනුම් දී තිබුණු අතර ඔහුගේ එම ක්‍රියාව පාර්ලිමේන්තුවට අපහාස කිරීමක් බව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගේ අදහස වී තිබේ.
රජයේ මුදල් කාරකසභාවේ සභාපතිවරයාට ඕනෑම පුද්ගලයකු එම කාරකසභාව හමුවට කැඳවීමට බලය ඇති අතර යම්කිසි පුද්ගලයකු එසේ කැඳවීමක් ලද පසුව එහි නොපැමිණෙන්නේ නම් එය පාර්ලිමේන්තුවේ කමිටු සතු බලය අභියෝගයට ලක්කිරීමක් මෙන්ම පාර්ලිමේන්තු බලය හෑල්ලුවට ලක්කිරීමක් ද වේ.
ඒ අනුව එසේ කටයුතු කළ පුද්ගලයකුට එරෙහිව 1953 අංක 21 දරණ පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ ප්‍රතිපාදන අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දඬුවම් කළ හැකිය.
එවන් චෝදනාවකට වැරදිකරු වන තැනැත්තෙකුට වසර දෙකකට නොවැඩි සිරදඬුවමක් හෝ දඩයක් හෝ දඩය සහ සිරදඬුවම යන දෙකම හෝ පැනවීමට හැකියාව ඇති බව සඳහන්. එමෙන්ම එවන් තැනැත්තෙකු මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරය හෝ වෙනත් රජයේ කිසිදු තනතුරක් දැරීමට නුසුදුස්සකු වන බවත් නීතීඥවරුන්ගේ මතය වී ඇත.
ඒ අනුව මේ සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමට විපක්ෂයේ නීතීඥයින් කණ්ඩායමක් සූදානමින් සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.


