නදීක දයා බණ්ඩාර – මහනුවර
කොළඹ LNW:දිට්වා ආපදා තත්ත්වය අවසන්ව මාස පහක කාලයක් ඉක්මවා ඇති නමුත් මීමුරේ ගම්මානය තවමත් පවතින්නේ හුදකලා තත්ත්වයකය.
හුන්නස්ගිරියේ සිට කිලෝමීටර් 34ක දුරින් පිහිටි මෙම ගම්මානය සඳහා වාහන පැමිණෙන මාර්ගයේ ස්ථාන කිහිපයක් අනාරක්ෂිත තත්ත්වයේ පවතින බැවින් සහ විශාල වාහන ගමන් කිරීමට නොහැකි නිසා පොදු ප්‍රවාහන සේවාව තවමත් ක්‍රියාත්මක නොවේ. උඩුුදුම්බර ලංගම ඩිපෝවේ සිට මීමුරේ දක්වා ධාවනය වූ බස් රථ දෙක මීමුරේට ධාවනය කිරීමට හැකියාවක් නොමැති අතර මේ වන විට බස් රථයක් ලූල්වත්ත දක්වා පමණක් ධාවනය වේ.
ආපදා නිසා ගම්මානය සම්පූර්ණයෙන් හුදකලා වූ නමුත් මීමුරේ ස්වයං පෝෂිත ගම්මානයක් වූ බැවින් ආහාර පානාදියෙන් තමන්ට විශාල ගැටලුවක් මතු නොවුණු බව ගම්මාසීන් පැවසූහ.
මාර්ගය සංවර්ධනය කිරීම වෙනුවෙන් බැකෝ යන්ත්‍ර 05ක් යොදා තිබුණත් ගමට පිවිසෙන මාර්ගයට බාධාවන විශාල ගල් පර්වතය කඩා දැමීමට හෝ ඒ අසලින් මාර්ගය පළල් කිරීමක් සිදු නොවුණු නිසා බසයක් ලොරියක් වැනි වාහනයකට තවමත් ගමට පිවිසීමට නොහැකි යැයි ද ඔවුන් කියති.
ගිරි දුර්ග මැදින් යෙදී ඇති මාර්ගයේ වාහන ගමන් කිරීම සීමා වී ඇති නිසා තමන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වූ සංචාරක කර්මාන්තය අඩ පණ වී ඇතැයි ඔවුන් කියති. හීං ගඟට සමාන්තරව සිදුකළ සංචාරක ව්‍යාපාර පිහිටි ප්‍රාදේශයේ මාර්ගයට වැටුණු ගස් මේ වන තුරු ඉවත් කොට නොමැත. සංචාරකයන්ගේ පැමිණීම සීමා වී ඇති නමුත් කෘෂිකර්මාන්තය, කිතුල් පැණි හා හකුරු නිෂ්පාදනය, ගම්මිරිස් වැනි අතිරේක ආදායම් මාර්ග තුළින් තමන් සිය ජීවනෝපාය සිදු කර ගන්නා බව ද ඔවුන් කියති.
කයිකාවල, කුඹුක්ගොල්ල, නාඇල, කරඹකැටිය,මීමුරේ යන ග්‍රාම නිලධාරී වසම් පහක පවුල් 433ක් ජීවත් වන අතර මීමුරේ ගම්මානයේ පමණක් ජීවත්වන පවුල් ප්‍රමාණය පවුල් 115කි. මෙම සියලු ගම්වැසියන් මීමුරේට ප්රවේශවීමට හැකි එකම මාර්ගයේ ගමන් කළ යුතු අතර මාර්ගයේ බාධා සහිත ස්ථාන කිහිපය පුළුල් කිරීම සහ මාර්ගය අසල ඇති විශාල ගල කඩා ඉවත් කිරීම මගින් යළිත් ගම්මානයට ප්‍රවේශ මාර්ගය සකස් කර ගත හැකි යැයිද ඔවුහු පවසති.
අතීතයේදී අධිරාජ්‍යවාදී පාලනයේදී තේ සහ රබර් වතු සකස් කිරීම සඳහා මෙම මාර්ගය බිහිකළ බව පවසන ගම්වාසීන් දැනට බාධා සහිත මාර්ගය වෙනුවට දංදෙණිය කුඹුර හරහා මහියංගණය දෙසට මාර්ගයක් පවතින බව ද ප්‍රකාශ කරති. ඉළුකහේන, කැණනවත්ත වැනි ප්‍රදේශවල ජනයා මීමුරේට ප්‍රවේශ වන්නේ මෙම විකල්ප මාර්ගය ඔස්සේ යැයි ගම්වාසීන් පැවසූහ. එමෙන්ම වස්ගමුව ජාතික වන උද්‍යානය දෙස සිට කිකුලවාඩිය ඔස්සේ මීමුරේ දක්වා දැනට මාර්ගයක් පවතින බවත් මෙම මාර්ග සංවර්ධනය කර ගැනීම මගින් අපදා උවදුරු රහිත ස්ථිර මාර්ගයක් මීමුරේට සකස් කර ගත හැකි යැයි ද ඔවුන් කියති.
ආපදා සමයේදී බැකෝ යන්ත්‍ර කිහිපයක් යොදා මාර්ගය පිළිසකර කළ නමුත් අත්‍යවශ්‍ය ස්ථාන තවමත් අනාරක්ෂිත තත්ත්වයේ පවතින බැවින් මාර්ගය යළි සකස් කොට මීමුරේ ගම්මානයට පොදු ප්‍රවාහන සේවාව ආරම්භ කර දෙන මෙන් ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.









