කොළඹ LNW:ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහි ග්‍රීක බැඳුම්කර නඩුව නැවත කරළියට පැමිණ තිබේ.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ ඉල්ලීමකට අනුව ග්‍රීක බැඳුම්කර නඩුවේ කොන්දේසි කඩකිරීම හේතුවෙන් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව පැවරීමට නියමිත නඩුව විභාග කිරීම සදහා ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයක් පත් කිරීමට කටයුතු කළේය.
මහාධිකරණ විනිසුරුවරුන් වන මනෝජ් තල්ගොඩපිටිය, උදේෂ් රණතුංග සහ බුද්ධික ශ්‍රී රාගල එහි සාමාජිකයන් ලෙස පත්කර තිබේ.
2024.07.16 වන දින අල්ලස් කොමිසම විසින් අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව ගොනු කරන ලද මුල් අධිචෝදනා පත්‍රයේ, පළමු චූදිත ලෙස අජිත් නිවාඩ් කබ්රාල් “දූෂණය” යන වරද සිදු කර ඇති බවත්, අනෙක් චූදිතයන් 4 දෙනා වන ධර්මා ධීරසිංහ, ආනන්ද සිල්වා, සී සිරිවර්ධන (දැන් මිය ගොස්) සහ එච්.ඒ. කරුණාරත්න යන චූදිතයන් ඔහුට ආධාර සහ අනුබල ලබා දී ඇතැයි අධිචෝදනා එල්ල කරන ලදී.
හිටපු මහ බැංකු අධිපතිවරයාගේ නීතිඥයින් විසින් ඉදිරිපත් කරන ලද කරුණු මත පදනම්ව, අල්ලස් කොමිසම විසින් අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහි චෝදනා කොන්දේසි සහිතව ඉල්ලා අස්කර ගත් අතර, අනෙක් චූදිතයින් 4 දෙනාට එරෙහි අධිචෝදනා කොන්දේසි විරහිතව පසුගිය 2025.12.10 වන දින ඉල්ලා අස්කර ගැනුණි.
ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටියදී, ඒ බව දැන දැනම ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද බැඳුම්කර මිලදී ගැනීමෙන් රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනය ආරම්භ කළේය.
කෙසේවෙතත් අදාළ නඩුකරය ඉවත් කරගැනීම සිදුවූ අතර එහිදී කොන්දේසියක් ලෙස අල්ලස් කොමිසම දක්වා තිබුණේ බැඳුම්කර මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන රුපියල් කෝටි 184 ක මුදල් මාස තුනක කාලයක් තුළ ගෙවිය යුතු වීමයි. කෙසේවෙතත් හිටපු මහ බැංකු අධිපතිවරයා අධිකරණයේදී එය ප්‍රතික්ෂේප කර තිබුණි.
අවස්ථා තුකදිම විසිවූ ග්‍රීක බැඳුම්කර නඩුව!
කොන්දේසියක් මත හෝ එම නඩුව ඉවත් කර ගැනීමට පසුගිය වසර අවසානයේ ඇල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම කටයුතු කළද ඊට පෙර අවස්ථා තුනකදීම එම නඩුව අධිකරණය විසින් නිෂ්ප්‍රභා කර තිබේ.
ඒ අනුව මෙම ග්‍රීක බැඳුම්කර සිද්ධිය අළලා 2012 ඔක්තෝම්බර් 31 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ විසින් ගොනුකරන ලද නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2014 සැප්තැම්බර් 18 නිෂ්ප්‍රභා කළේ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් මණ්ඩලය කිසිදු ආකාරයක දුෂණයක හෝ වැරදි කළමනාකරණයක් හෝ සිදුකර නොමැති බවට ප්‍රකාශ කරමිනි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ශ්‍රීපවන්,ආර් මාරසිංහ සහ සරත් ද ආබෘ යන විනිසුරු මඩුල්ල විසින් එලෙස එම නඩුකරය නිෂ්ප්‍රභා කරන ලදී.
නැවත වරක් 2024 අප්‍රේල් 03 වැනි දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොණු කරමින් යළිත් මහ බැංකු හිටපු අධිපතිවරයා ඇතුළු පිරිසට එරෙහිව නඩුව පැවරීය. එම අවස්ථාවේ අජිත් නිවාඩ් කබ්රාල් මහතා හා සෙසු චූදිතයින් විසින් දක්වන ලද මූලික විරෝධතා සලකා බැලීමෙන් පසු මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් එම නඩුව නිෂ්ප්‍රභා කළේය. ඒ දෙවෙනි අවස්ථාවය.
නැවතත් 2024 අගෝස්තු 16 වැනි දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් කොළඹ මහාධිකරණයේ මෙම ග්‍රීක බැඳුම්කර නඩුව ගොණු කරන ලදී.
2011 මාර්තු මාසයේදී ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම හරහා මහ බැංකුවට රු. බිලියන 1.8ක පමණ අලාභයක් සිදු කර ඇති බව පවසමින් ඒ හරහා දුෂණයක් සිදුව ඇතැයි යන චෝදනාව මත හිටපු මහ බැංකු අධිපතිවරයාට සහ තවත් නිලධාරීන් 4කට එරෙහිව අධිචෝදනාවක් එල්ල කරන ලදී.
අනතුරුව නඩු වාර කිහිපයකින් පසුව කොන්දේසි සහිතව එම අධිචෝදනා ඉල්ලා අස්කර ගැනීම සිදුවිය. ඒ, පසුගිය වසරේ දෙසැම්බර් 25 වැනි දිනය. එහිදී මහාධිකරණ විනිසුරු එම්.එම්.එම්. මිහාල් විසින් සියලු චූදිතයින් නිදහස් කොට නඩුව අවසන් කළේය.
එම අවස්ථාවේ නඩුව ඉවත්කරගනිමේදී අල්ලස් කොමිසමේ කොන්දේසිය වී තිබුණේ බැඳුම්කර ගණුදෙනුවේදී සිදුව ඇතැයි කියන රු.බිලියන 1.8 මාස තුනක කාලයක් තුළ ගෙවාදැමිය විය යුතු වීමය. එහෙත් එය හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.
මෙම පසුබිම මත ඊයේ දිනයේදී අල්ලස් කොමිසම විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව කොන්දේසි කඩකිරීම හේතුවෙන් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව පැවරීමට නියමිත නඩුව විභාග කිරීම සදහා ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටුවන ලදී.

ග්‍රීක බැඳුම්කර නඩුව යළි පවත්වාගෙන යාමට පවතින නීතිමය ඉඩ!
එහෙත් දැන් පවතින ප්‍රශ්නය වන්නේ අවස්ථා තුනකදීම පවත්වාගෙන යා නොහැකි වූ මෙකී නඩුකරය යළිත් වටයකින් ඉවතට විසි වෙන තත්ත්වයක් පවතින්නේද යන්නයි.
ඒ අනුව දැනට සිදුව ඇති අධිකරණ ක්‍රියාවලිය දෙස බලන විට ග්‍රීක බැඳුම්කර ආයෝජනයට “ආධාර සහ අනුබල දීම” සම්බන්ධයෙන් චෝදනා ලැබූ 4 දෙනාගේ ක්‍රියාවන් අධිකරණයේදී ඔප්පු කළ නොහැකි බව හෝ එම ක්‍රියාවන් වරදක් නොවන බව හෝ අල්ලස් කොමිසම පිළිගෙන ඇති බව පෙනී නොයන්නේද?
තවද, දූෂණ විරෝධී පනතේ 67 වන වගන්තිය යටතේ අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහි අධිචෝදනා පත්‍රය කොන්දේසි සහිතව ඉල්ලා අස්කර ගන්නා ලද අතර, කබ්රාල් මහතාගේ නීතිඥයින් අධිකරණයේදී නිශ්චිතවම ප්‍රකාශ කර ඇත්තේ ඔහු එම කොන්දේසිවලට කිසිසේත් එකඟ නොවන බවයි.කෙසේ වෙතත්, දූෂණ විරෝධී පනතේ 67 වගන්තිය යටතේ, යම් චූදිතයකු අල්ලස් කොමිසම විසින් පනවන ලද කොන්දේසි සපුරා නොමැති නම්, අල්ලස් කොමිසම විසින් නව අධිචෝදනාවක් ගොණු කළ හැකිවන්නේ පහත සඳහන් 67(5) යන වගන්තියට අනුකූලවය. එනම්,
“චූදිතයා විසින් සාධාරණ හේතුවක් නොමැතිව එකී කොන්දේසි පිළිපැදීමට අපොහොසත් වේ නම්, අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මුල් අධිචෝදනාවේ පැවති එම චෝදනා මතම චූදිතයාට එරෙහිව අලුත් අධිචෝදනාවක් ගොනු කළ යුතු අතර ඒ කොන්දේසි සපුරාලීමට චූදිතයාට දී තිබූ කාලසීමාව ඉකුත් වූ පසුව චූදිතයාට නඩු පැවරීම ආරම්භ කළ හැකිය”
ඒ අනුව, ඉහත නීතියේ විධිවිධාන අනුව, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට දැන් මූලික අධිචෝදනාව වෙනස් කිරීමට අවකාශයක් නොමැත. ඒ නිසා,ඔවුන්ට දැන් හිටපු මහ බැංකු අධිපතිවරයාට එරෙහිව පමණක් නව අධිචෝදනාවක් ගොණු කළහොත්, අනෙක් විත්තිකරුවන් 4 දෙනා එම වරද සිදු කිරීමට ආධාර සහ අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා ගොණු නොකර, එසේ කළ යුතු වන්නේය.
එසේ නම්, මුල් අධිචෝදනාවෙහි සඳහන් ආකාරයට අනෙක් චූදිතයන් 4 දෙනා සිය ප්‍රධානියාට එම වරද සිදු කිරීමට ආධාර කිරීම සහ අනුබල දීම යන චෝදනාව නොමැතිව, නව අධිචෝදනාවක් ඉදිරිපත් කරන්නට අල්ලස් කොමිසමට සිදුවන්නේය. එහෙත්, එවැනි වෙනස් අධිචෝදනාවක් ඉදිරිපත් කිරීමට බලයක් අධ්‍යක්ෂක ජනරාල්වරයාට පනතෙන් ලබාදී නොමැත.
මෙම පසුබිම මත නීතියෙන් සහ කරුණු අතින් විග්‍රහ කරන විට,ග්‍රීක බැඳුම්කර නඩුව අල්ලස් කොමිසම විසින් පඹ ගාලක පටලවා ගෙන සිටින්නේද යන ප්‍රශ්නය එක පැත්තකින් නැගේ. නීතිමය පසුබිම ඉහත පරිදි වන විට හිටපු මහ බැංකු අධිපතිවරයාට එරෙහිව අධිචෝදනා ගොනුකරමින් එම නඩුකරය පවත්වාගෙන යන්නේ කෙසේද යන්න දැන් මුලින් පැහැදිලි අකර ගත යුතු වෙයි.
නැතහොත් සිදුවන්නේ නැවත වරක් නඩුව ඉවතට විසි වී මෙය ලෝක විහිළුවක් බවට පත්වීමය. දැන් අවස්ථා තුනකදීම එකී නඩුව පවත්වාගෙන යාමට නොහැකි තැනට පත්ව තිබෙන පසුබිමක ප්‍රධාන චූදිතයා ලෙස හිටපු මහ බැංකු අධිපතිවරයා අල්ලස් කොමිසමේ කොන්දේසි පිළිනොගන්නා බව පැහැදිලිව කියා තිබියදීත් අල්ලස් කොමිසමේ ක්‍රියාත්මක වීම දෙස බලන විට පැහැදිලි ලෙසම ඔවුන් විසින් මෙම ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් සමාජයට උභතෝකෝටිකයක් නිර්මාණය කර හමාරය.


