වසර 13 ක ට පෙර 2009 මැයි 18 වනදා ශ්‍රී ලංකා රාජ්‍ය විසින් අවසන් කළ බව කියන ආයුධ සන්නද්ධ ගැටුම නිමා විය. ඒ යුද්ධය ත්, ඊට පූර්ව හා පශ්චාත් ලංකාව නම් මේ දූපතේ ඉතිහාසයත් කියවීම වැදගත් වෙන්නේ, මේ සටහනට වැටෙන්නට නියමිත වර්ගවාදි ප්‍රතිචාර නිසා පමණක් නොවේ. ඒ ඉතිහාසයට සම්මුඛ වන්නට අකැමැති, ආරක්ෂක කලාපයක හිඳ සමාජ සාධාරණත්වයේත් යුක්තියේත් පරමාදර්ශී වූවෝ අභ්‍යන්තරයෙන් කෙතරම් වර්ගවාදී දැයි වටහා ගැනීමට ය.
කුමනන්ගේ මේ පින්තූරය යුද්ධයෙන් වසර 13ක ට පසුත් ලංකාව ගැන හරස්කඩකි. පසුබිමෙන් රාජ්‍ය විසින් දහස් ගණනක් නිරායුධ ජනයා ඝාතනය වූ බිමක රාජ්‍ය විසින් ගොඩනගන ලද “යුධ වීරත්වයේ” ස්මාරකයකි. ඒ ඉදිරිපසින්, යුද්ධයේදී රාජ්‍ය විසින් කළ අපරාධවලට යුක්තිය ඉල්ලා දෙමළ ජනයා විසින් 13 වෙනි වසරටත් සිදු කරන අරගලයකි.
88/89 තාක්ෂණය දියුණු වුණා නම් රාජ්‍ය විසින් තරුණ නැඟිටීම සමතලා කළ හැටි දැකිය හැකි නොවේදැයි විස්සෝප වෙමින් සිටියෙමු.
ඒත් 2009 දී වීඩියෝ කැමරා ද දුරකථන ද තිබුණ අතර යුද්ධය තුළ සිවිල් වැසියන් ගෙවූ වචනයෙන් කියා විස්තර කළ නොහැකි ජීවිතත් ඔවුන්ට එරෙහිව වූ අපරාධත් පිළිබඳ ඒවායේ සටහන්ව ඇති බවට අමතක කරන්නට අපි හැකි වෙර යොදමින් සිටිමු.
ඒ වෑයම කෙතරම් ද කිවහොත්, ගාලුමුවදොර අරගලයට පහර දුන් රාජපක්ෂ රජයේ මැරයන්ගේ වීඩියෝ සහ පින්තූර බෙදාගනිමින් ඔවුන් එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් සිටින අපිට, ඒ රාජපක්ෂ රජයම යුද්ධයේ දී සිවිල් ජනයාට කළ මනුෂ්‍යත්වයට එරෙහි බිහිසුණු අපරාධ අමතක කරන්නට රාජපක්ෂ සමග ගිවිසුම් ගතවන්නට සිදුව ඇත.
ශ්‍රී ලංකා රාජ්‍ය කේන්ද්‍රයේ ඇති අපරාධකාරිත්වයට එරෙහි නොවී දිනා ගත හැකි සාධාරණ සමාජයක දිග පළල, වමේ සිට දකුණට සිටින ආර්ථික විශ්ලේෂකයන්, පරිසරවේදීන්, දේශපාලන විශ්ලේෂකයන් ආදීන්ගේ 2009 මැයි 18 දේශපාලන භාවිතය විසින් අපිට කියා දී ඇත.
සිවිල් වැසියන් ඝාතනය කිරීම, රෝහල් වෙත පහර දීම, යටත් වූවන් ඝාතනය කිරීම, ස්ත්‍රීන්ට එරෙහි ලිංගික අපරාධ වැනි යුධ අපරාධවලට ත්, යුද්ධයෙන් පසුව රැගෙන ගිය ජනයා අතුරුදහන් කරවීම, එදිනෙදා ජීවිතය දැඩි මිලිටරී මැදිහත් වීමට ලක් වීම, ඉඩම් අත් කරගෙන සිටීම, මියගිය ඥාතීන් ස්මරණය කිරීමට ඉඩ නොදීම ආදි අයුක්තීන්ටත් සිය විරෝධය පල කරමින් යුක්තිය ඉල්ලමින් යුද්ධයෙන් පසුද දශකයකට වැඩි කලක් දෙමළ ජනයා අරගල කරමින් සිටිති.
ඒ අරගල “අපේ අරගල” වන්නේ නැත. අපි එතරම්, මේ වර්ගවාදි කළුවර බිම් ගෙය බිඳගෙන එළියට යන්නට අකැමැති, එය රකින නායකයන් සොයන, මේ කලුවර බිම් ගෙයෙහි සිරකරුවන් වෙමු.
- සංජුලා ඕෂිනී පීටර්ස්
RN