*
Wednesday, June 19, 2024
spot_img

Latest Posts

මේ සීනුවට ඇහුං කං දෙන්න

සටහන – නිශ්මං රණසිංහ

මැයි 19, කොළඹ (LNW): තව දුරටත් ඉතිහාසය විසින් ඉතුරු කර ඇති දේශපාලන පාඩම් අපි ඉගෙන ගන්නේ නැති බව ඔප්පු කරමින් සිටින්නෙමු.


තිස් වසරක යුද්ධය විසින් අහිමි කළ ආරක්ෂක අංශවල ජීවිත වෙනුවෙන් මහා ධනයක් වැය කරමින් ස්මාරක තනමින් සිටින රජය එක අතෙකින් එහිදී ආබාධවලට ගොදුරු වූ රණ විරුවන් වෙනුවෙන් තවම නිවැරදිව ගෙවීම් හෝ කර නැත.එසේ විරෝධතා මතු වුවහොත් ඒවා මර්ධනය කරන්නට ද පසුබට නොවන්නේය.තමන් මෙන්ම ආරක්ෂාව වෙනුවෙන් නිල ඇඳුම් ඇඳ සේවය කළ පිරිස් ඊට අවශ්‍යය වටිනාකම් නොලැබුණ විට කරන උද්ඝෝෂණ මැඩ පවත්වන්නට ඉදිරිපත් වන ආරක්ෂක අංශ, සමහර විට දවසක තමන්ගේ ද ඉරණම මෙයම විය හැකිය යන්නවත් නොහැඟෙන්නෝය.එය මේ රටාව කෙතරම් පාලක උවමනාවන්ට එක එක වේශයේ මිනිසුන් තමන්ටම විරුද්ධව මෙහෙයවන්නට සකස් කර තිබේද යන්න තේරුම් ගැනීමට හොඳ උදාහරණයක්ය.


එසේම උතුරේ යුද්ධය දක්වා වර්ධනය වූයේ දේශපාලනිකව සිඳු වූ අකරතැබ්බයන් බව අපි තවමත් නොසළකා සිටින්නෙමු.හිටි හැටියේ දෙමළ ජනතාව ප්‍රභාකරන් විසින් වශී කර ගනිමින් තරුණයන් අතට ආයුධ දී මරාගෙන මරාගෙන ගිය ආකාරයක් යුද ජය සමරන බොහෝ අයගේ අදහස බව පැහැදිළිය.ප්‍රභාකරන් ඇති කළ දේශපාලනය වෙනුවට ඔහු මිනීමරු ත්‍රස්තවාදියෙක් ලෙස පමණක් පෙනෙන්නේ ඒ නිසාය.
නැවත යුද්ධයකට තල්ලු කරගෙන යාම සඳහා වස්තු බීජ වපුරන පොළවක් පාලකයාගේ හිත සුව පිණිස මිස ජනතාවගේ හිත සුව පිණිස නොවන බවවත් නොදන්නා මිනිස්සු තිස් වසරක යුද්ධය නිමා වූ දවස හැටියට හුරේ දමමින් සිහිකරන දවස උදාවන්නේ, ඊට තිස් වසරකට පෙර තිබුණු සමාජය පුපුරා යාමෙන් ඇති වූ යුද්ධය නිසා බව වටහාගත්තෝ හිඟය.


නිදහසට පෙර පැවති යාපනය තුළ මතු වූ එක්සත් සහ ස්වාධීන ලංකාවක් පිළිබඳ ආකල්ප සමඟ යාපනය තරුණ කවුන්සිලය වැනි සංවිධාන පිහිටුවමින් හැන්ඩි පෙරිම්පනායගම් වැනි උගත් සැබෑ වියතුන් නිදහසට දුන් දායකත්වය වගේම ඔවුන්ගේ අදහස් ද,දකුණේ රාජ්‍ය පාලන දේශපාලනයට අමතක විය.හේතුව ඔවුන් දෙමළ නිසා හෝ බෞද්ධ නොවන නිසා නොවේය.උතුරේ වම හැටියට ක්‍රියාත්මක වූ දේශපාලනයේ බර ඉල්ලා සිටියේ, මිනිස්සුන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන් මත ස්වාධීනවීම සහ ජාතියක් හැටියට ඒ සංස්කෘතික අනන්‍යතාවයන් සමඟ ස්වාධීනව වැඩ කිරීමේ ඉඩ මිස ලංකාව දෙකඩ කිරීම නොවේය.එයට බහුතර උතුර හැමවිටම කැමති විය.එහෙත් ඒ වෙනුවට අමිර්තලිංගම්ලාගේ දේශපාලනය පෙරට කැඳවා උතුරේ සහ දකුණේ ප්‍රභූ දේශපාලන කඳවුරුවල බලය තහවුරු කර ගැනීමට රාජ්‍ය දේශපාලනයට උපක්‍රමිකව හැකි විය.


එම නියෝජනයේ තිබුණේ උතුරේ ප්‍රභූ අවශ්‍යයතාවයන් මිස බහුතර ජනතාව මත දැනෙන පීඩනය නැති කිරීම නොවේය.එතැනදී දකුණේ අපේක්ෂා භංගත්වයට පත් තරුණයා දෙවරක් කැරළි කරා කැඳවා ගෙන යන්නට හැකි වූ අයුරෙන්ම උතුරේ තරුණයා ද නැත්නම් උතුරේ ජනයා ද කැරළි ගසන්නට වූ බව තේරුම් ගන්නා තුරු යුද්ධය අවසන් වීම ගැන උදම් ඇනීම මිස එය ඇතිවීමට බල පෑ හේතුන් සමාජය තුළ සාකච්ඡා වන්නේ නැත.ඒ නිසා උතුර තවමත්, දකුණට අවශ්‍යය ලෙස හුස්ම ගත යුතුය කියන ජාතිවාදී දකුණේ දේශපාලනය උත්කර්ශයට නංවන්නේ උතුර තුළ යුදවාදී අදහස් පැල කරපු පීඩාකාරී සමාජ යාන්ත්‍රණයමය.


මේ තත්ත්වය ආණ්ඩු විසින් තේරුම් ගත යුතුය.ඉතිහාසය විසින් ඛේදවාචකයකට මුළු රටම රැඟෙන ගිය පීඩනය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පිට කර හරින්නට ඇති ඉඩ වසා දැමීම යනු පුපුරා යාමට ආරාධනා කිරීමක්ය.ඒ නිසා උතුරේ යුද්ධය නිසා අහිමි වූ ජීවිත සැමරීමට ඔවුන්ට ඇති අයිතිය ප්‍රතික්ෂේප කිරීම සහ ඊට එරෙහිව රාජ්‍ය බලය යොදා පාලනය කිරීම නැවත ගිණි පුපුරු හිත මත්තේ තැන්පත් කිරීමක්ය.දකුණේ කැරලි දෙකම අසාර්ථක වූයේ රාජ්‍ය මර්ධනය නිසාය.ඒ නිසා අහිමි වූ ජීවිත ගැන කියමින් තවමත් ආණ්ඩු විවේචනය කරමින් දේශපාලනය කරන ජවිපෙ ඉල්මහා සමරුව සමරන්නේය.රටම අල්ලන්නට උත්සාහ කළ කැරල්ල සහ රටේ කොටසක ජනතාවක් සුළු කොට සළකා ඇති කළ පීඩනයෙන් මිදී තමන්ට එහි පාලනය දිනා ගැනීමට කළ සටනක් ලෙස උතුරේ සහ දකුණේ සටන බෙදා වෙන් කර ගෙන උතුරේ සටන රට බෙදීමේ සටනක් ලෙස අරුත් ගැන්වීම ජවිපෙ ද මහින්ද රාජපක්ෂගේ වේදිකාවේ පමණක් නොව,ඉන් පිටතද හඬ නඟා කීහ.රජය උතුරේ ඇති කළ ව්‍යසනකාරී යුද ව්‍යාපාරයට ද සහයෝගය දුන්නේය.රටම එයට වහං වී කළ යම් අපරාධමය කාරණාවලට චෝදනා එල්ල වන සමහර නිල ඇඳුම්ධාරීන්, යුද වැදුණු මිනිසුන් හැටියට මොන අපරාධය කළත් නිදහස් කළ යුතුය ලෙස ඔවුන්ව පූජනීය කරන පිරිස්, එසේ කරන්නට උතුරේ පැවතුණේ යුදමය ප්‍රශ්නයක් පමණක් ලෙස සමාජයට හඳුන්වා දෙන්නට මැදිහත් වූ සෑම දේශපාලකයාම වගකිව යුතුය.


එයින් හැඟෙන එක් කාරණයක් වන්නේ උතුරේ ජනතාවගේ සංස්කෘතික සහ ජාතික අනන්‍යතාවයට සම තැන දී කටයුතු කරන එක්සත් ශ්‍රී ලංකාවක්, ජවිපෙ කරන ලද කැරලි තුළින් රට ඇල්ලුවද ක්‍රියාත්මක නොවන බව විය හැකිය.එහි උතුර, දකුණේ බහුතර සිංහල බෞද්ධ අවශ්‍යතාවලට යටත්ව කටයුතු කළ යුතු තත්ත්වයක්ම පවතිනු ඇත.මේ මොහොතේ ද යුද්ධයෙන් අහිමි වූ ජනතාව සිහි කරන්නට උතුරේ ජනතාවට ඇති අයිතිය අහිමි කිරීම ගැන ඡන්ද පෙට්ටිවල බර අඩු විය හැකි නිසා ජවිපෙ මැදිහත්ව කතා කරන්නේ නැතුවා වෙන්නට පුළුවන්ය.තමන්ට ඉල්මහ සමරුව කරන්නට ඇති අයිතිය උතුරේ ජනතාවට සිය ඥාතීන් සිහි කරන්නටත් දිය යුතුය කියා ප්‍රකාශයක් කරන්නට,ඒ අත් අඩංගුවට ගැනිම් හෙළා දකින්නට පාරට බසින්නට ජවිපෙ සූදානම් නොවන්නේ මේ මොහොතේ ගෝටාභය වෙත හැරී තිබුණු ඡන්ද යාන්ත්‍රණයේ බහුතරයක් තමන් සමඟ සිටීමේ වාසිය රැක ගන්නට වන්නට ද පුළුවන්ය.ඒ ඡන්ද යාන්ත්‍රණය කවරක්ද යන්න ගෝටාභය දිවුරුම් දෙන පළමු මොහොතේම අනුරාධපුර පූජා බිමේ සිට ප්‍රකාශ කළේය.සිංහල බෞද්ධ ලෙස උත්කර්ශයට නංවන ලද ඒ ඡන්ද ජයග්‍රහණයට බර දුන් උර දුන් පිරිස් දැන් කා සමඟද යන්න හඳුනා ගැනීමට හැකි අතර බහුතරයක් ගෝටා ගෙන් ඇති කර ගැනීමට නොහැකි වූ රාජ්‍යය ජවිපෙ තුළින් ගොඩ නඟා ගැනීම අපේක්ෂාව කර ගෙන සිටින්නේය.


ආණ්ඩුව,ජවිපෙ පමණක් නොව සජබෙ ද සිටින්නේ එම මතයේම විය යුතුය.ඒ නිසා පැහැදිළිව උතුරට දකුණේ දේශපාලනයෙන් ගලා යන ආදරයක් නැත.කිසිවෙක් උතුරේ මිනිස්සුන්ට තමන්ගේ මියගිය ඥාතියා සිහි කිරීමට ඇති අයිතිය දෙන්නට මැදිහත් වී පාරට බසින්නට සූදානම් නැත.ඒ අනෙක් දකුණේ දේශපාලන පක්ෂ විසින් තමන්ව හංවඩු ගසා සිංහල බෞද්ධ ඡන්ද ටික උඳුරා ගනීවීය යන බියෙන්ය.ඒ නිසා පැවත්වීමට නියමිත ඡන්දයේදී උතුර සහ දකුණ දෙකම දිනා ගැනීමේ ආශිර්වාදය ඇති ප්‍රායෝගික නායකයෙක් පෙනෙන්නේ නැත.දෙපැත්තක එක පැත්තක මිනිස්සු අනිත් පැත්ත තමන්ට අවශ්‍යයතා අනුව පාලනය කරන්නට යාමෙන් ඇතිවන අපැහැදිළිතා,විරෝධතා තව දුරටත් පවතින රටක් ලෙසම රට පවතිනු ඇත.
එවැනි තත්ත්වයක සජිත් ප්‍රේමදාස ජාත්‍යන්තර වශයෙන් ඡන්දයට ආකර්ශණය නොවන අපූරු ප්‍රකාශයක් කළේය.ඒ ඊශ්‍රාලයට එරෙහිවය.එවිට, සංවිධානාත්මකව ඊශ්‍රායලයට රැකියා සඳහා පෝලීම් හදමින් තිබෙන මොහොතක,සජිත් ඒ පෝලිම කඩාකප්පල් කර මිනිස්සුන්ගේ ආර්ථිකය අවදානමේ දමන බව කියා පවත්වන උද්ඝෝෂණයක් ද ක්‍රියාත්මක වූයේ රජයේ ආශිර්වාදය ඇතුව බව පැහැදිළිය.ගාසා තීරයේ පවතින ප්‍රහාරවලින් මිනිස් ජිවිතවලට සිඳුවන විනාශය දිනපතා දකින ලෝකයක ඊට විරුද්ධ නොවී අපට හම්බකරන් කන්න දෙන මනුස්සයා ආරක්ෂා කරපං කීම ඒ උද්ඝෝෂණයේ හැඩයය.උතුරේ ප්‍රභාකරන් නිසා විශාල පිරිසක් උතුරට විවිධ භාණ්ඩ ඉතා අධික මිලට අලෙවි කරමින් පොහොසත් වූහ.ඒ අය ප්‍රභාකරන් තව අල්ලාගෙන සිටියානම් කැමති ප්‍රභාකරන්ගේ අරමුණ ජය ගත යුතු නිසා නොවේය.තමන්ගේ උවමනාව නිසාය.ඒ නිසා සජිත්ට එරෙහිව කරන උද්ඝෝෂණ ද අප දකින්නේ ඒ ආකාරයෙන්ය.


එසේම මේ අවස්ථාවේ ඊශ්‍රායලය කියන්නේ ද ආරක්ෂිත තැනක් නොවේය.එහි රැකියාවලට ඇරෙන දොර සහ ගෙවීම් ගැන කතා කරන කිසිවෙක්,ඒ ජීවිතයකට කරදරයක් වුවහොත් ගෙවන වන්දිය කොපමණ ද යන්න නොකියයි.සමහර විට ගාසා ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල වුවහොත් මේ ආකාරයට ඊශ්‍රායලයට පටවන මිනිස්සුන්ගේ ජීවිතවලට වන්දි ගෙවීම,ආපදාවන්ට වන්දි ගෙවීම වැනි කාරණා ද රට ඉදිරියේ වෙනම ප්‍රශ්නයක් වනු ඇත.යුද්ධයක පීඩනය විඳ පීඩාවට පත් රටක් හැටියට වෙනත් රටක ජනතාව විඳින පිඩාව නොසළකා “අපිට හම්බ කරන් කන්න දීපල්ලා” කීමට හැකි මිනිස්සු කොට්ඨාශයක් සිටින රටක් දකින කොට තවමත් ජනපතිවරණයට ඉදිරිපත් වේදැයි – නොවේදැයි ස්ථීරවම කිව නොහැකි ධම්මික පෙරේරා කියන කතාව මේ පොළවේ ඇත්තම තත්ත්වය ය.


ජනතාව දුප්පත් වෙන තරමට මෙන්ම නූගත් වෙන තරමට පාලකයාට රට පාලනය කරන්න පහසු බවට ධම්මික පෙරේරා ඉදිරිපත් කරන ප්‍රකාශය අතිශයින් වැදගත්ය.එවැනි ජනතාවක් විඳින දුක පීඩනය තමන්ගේ කරුමය ලෙස සිතා ඉදිරි ආත්මයක සැප විදීමේ අරමුණෙන් අමාරුවෙන් හම්බ කරන තුට්ටු දෙකද දනට යැයි කුමන හෝ මැටි ගොඩකට,යකඩ කඳකට හෝ ප්ලාස්ටික් කැබල්ලක් වෙනුවෙන් වියදම් කරන මිනිස්සුන්ට ද ධමිමික පෙරේරා අපූරු කතාවක් කියන්නේය.


මරණයෙන් මතු දිව්‍ය ලෝකයද නිරයද යන්න නොසිතා ජීවත්වෙන කාලයේ දිව්‍ය සම්පත් භූක්ති විදීමට මහන්සි වෙන ලෙසය.ඒ සඳහා අවශ්‍යය වන්නේ දැණුම බව කීමත්,අධ්‍යාපනය මේ රට දියුණු කරන්නට වැදගත්ම අවශ්‍යයතාවය බව ධම්මික පැවසීමත්,රට හදන මොකාට වුව අහක දමන්නට බැරි කතාවක්ය.දඹදිව,මක්කම හෝ වතිකානු යන්නට ශතෙන් ශතය එකතු කරන මිනිස්සු,සතුටු වෙන්නට විනෝද වෙන්නට ලෝකය දකින්න ඉගෙනගන්න සංචාරය කරන්න ආස කරන මිනිස්සු බවට පත් කරන්න අවශ්‍යය අධ්‍යාපනයක් හැදෙනකම් අධ්‍යාත්මය තියෙන්නේ රැවටිලිකාර වර්ථමාන මිත්‍යා ව්‍යාපාරවලට හිර වී බව අප සිහිතබා ගත යුතු වැදගත්ම කාරණයක්ය.


කෙසේ වුව ද යුද්ධයෙන් අහිමි වූ උතුරේ මිනිස්සු වෙනුවෙන් සමරන්නට නොදී අත් අඩංගුවට ගන්න මිනිස්සු වෙනුවෙන් කතා නොකර,ආරක්ෂක අංශවලට හුරේ දමන මිනිසුන් බොහොමයකට ඇත්තේ යුද්ධය නැවත සිිහිපත් කරමින් සැමරිය යුතුය යන්න පිළිබඳව විරෝධයක් නොවන බව පැහැදිළි වන්නේ යුද ජයග්‍රහණය ගැන සතුටු වෙන ආකාරය දුටු විටය.ඒ සතුට අස්සේම එක්සත් ජාතීන්ගේ සංවිධානය අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කටයුතු කරන ආකාරය ගැන තෘප්තිමත් නැති බවට කරන ප්‍රකාශය තුළින් පැහැදිළි වන්නේ යුද අපරාධ සම්බන්ධයෙන් ලංකාවට එල්ල වී ඇති චෝදනා නිවැරදි කර නොගෙන ලෝකය ඉදිරියේ පවතින්නට අපහසුකමය.


ඒවා අතර සෘජුව යුද භූමියේ දී සිඳු වූ අතුරුදහන්වීම් ගැන යම් ආකාරයකට සංකීරණ තත්ත්වයන් තුළ සිඳු විය හැකි අතපසුවීම් අපහසුතා කියා ඇඟ බේරා ගැනීමේ ඉඩක් තිබිය හැකිය.එහෙත් සිවිල් සමාජයේ සිඳු වූ පැහැරගැනීම් අතුරුදහන්වීම් ගැන ආණ්ඩුවට වග කියන්නට සිඳුවෙනු ඇත.සමහර පැහැර ගැනීම් සහ අතුරුදහන් කිරීම් ගැන ඇති සාක්ෂි හෝ නිවැරදිව විභාගයට ගන්නා බවක් පෙනෙන්නට නැත.නාවික හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් සාමාන්‍ය තරුණයන් පැහැර ගෙන කප්පම් ලෙස මුදල් ලබා ගැනීමට ගත් උත්සාහයන් තුළ සිඳු වූ අතුරුදහන්වීමේ කාරණා ආදිය එහි වින්දිතයන් මැරුණ ද,ලෝකය ඉදිරියේ එම නිලධාරීන්ගේ පරම්පරා ගණනක් අපවාදයට අවමානයට ලක්වීම වැළක්වෙන්නේ නැත.සමහර අයෙක් ත්‍රස්තවාදයට කිසිම ආකාරයකින් සම්බන්ධ නැති මිනිසුන් කප්පම් ලෙස පැහරගෙන අතුරුදහන් කර ඇතැයි හමුදාවේ නිලධාරීන්ට චෝදනා එල්ල කරද්දි යුද්ධ කර රට බේරා ගත් නිලධාරීන්ට තමන්ගේ අවශ්‍යයතාවය මත අවශ්‍යයනම් එකෙක්ගේ දෙන්නෙක්ගේ ජීවිතය අහිමි කළ හැකිය යන්න සිතා ඒ වෙනුවෙන් පෙනී සිටින අය ද නැතුවා නොවේ.ඒ අවස්ථාව තමන්ගේ කෙනෙක් අහිමිවන තෙක් විඳින්නට පුළුවන් හොඳ යුදකාමී සිතුවිල්ලක් මිස සාමාන්‍ය සාමකාමී සමාජයකට සතුටින් විසීමට උචිත එකක් නොවේය.


වසර තිහක යුද්ධයෙන් පසුව මවන ලද රණවිරු මානසිකත්වය සහ යුදකාමය උත්කර්ශයට නඟන මානසිකත්වය නිසා දකුණේ බහුතරයක් වෙසෙන්නේ, අනෙකාට තමන් සම්බන්ධයෙන් විශ්වාසය,ආදරය ඇති කළ යුතුය කියන තැන නොවේය.තමන්ගේ අදහස හොඳින් හෝ නරකින් අනෙකාගේ ජීවන රටාව විය යුතුය කියන තැනය.උතුර සිටින්නේ වෙඩි හඬවල් සහ ජිවිත අවදානම් මඟ හැරී ගිය ද තවමත් නිදහස් නොවුණු මනසකින් තමන්ගේ අනන්‍යතාවයන්ට ඉඩ සහිත සමාජයක අවශ්‍යතාවය වෙනුවෙන් පීඩනය දරාගෙනය.
කෙසේ වුව වැදගත්ම කාරණය යුද්ධය සාමාන්‍ය ජනතාවට සතුටු වෙන්නට ලබා දෙන්නේ මිනී සහ ආබාධිතයන් ද,බදු බර ද පමණකි.උත්කර්ශයට නංවා යුදකාමීත්වයෙන් මත් කර යුද්ධයට යවන රණවිරුවා නම් වූ සෙබළාට ලැබෙන්නේ මරන්න හෝ මැරෙන්න බලපාන අවිය ය.ඒ සෑම අවියකින්ම හොඳ ජීවිත ගත කරන්නට අවශ්‍යය කොමිස් උපයන්නේ සුළු පිරිසක්ය.මෙය තේරුම් ගන්නා තුරු ආගමද ජාතියද පටලාගෙන ටික දෙනෙක්ගේ සුඛෝපභෝගී ජීවිත වෙනුවෙන් අපි වන්දි ගෙවමින් සිටින්නෙමු.


මෙම සටහන සමඟ ඉදරිපත් කරන මේ ඡායාරූපය අමිල ගමගේ විසින් ගත් එකකි.මුලතිව් හී මුල්ලිවයික්කාල් පාසලේ කාල සටහනට අනුව නද දෙන මේ සීනුව අමිල ගමගේ නම් කර ඇත්තේ Ringing the interval BELL ලෙස ය.මෙහි මේ දරුවා තට්ටු කරන්නේ ගිනි අවියකට දමා වෙඩි තබන්නට භාවිතා කිරීමෙන් පසු ඉතුරු වූ හිස් උණ්ඩයකටය.එය පිරී තිබියදී පිපිරී ජීවිත කීයක් හිස් කරන්නට ඇද්ද යන්න ඔබට සිතා බැලිය හැකිය.එය ගෙන්වීමේදී අත මිට පිරුණු අය සිටින්නට ඇත.එහෙත් එය පුපුරා යාමෙන් පිරුණු කිසිඳු දිවියක් නැත.ඔබ interval එකක් ගෙන කල්පනා කළ යුත්තේ එයය.


සිතන්නට අධ්‍යාපනයක් අවැසිය.යුද්ධය විඳවපු රටක මිනිස්සු හැටියට කොතැනක හෝ යුද්ධයෙන් පීඩා විඳින මිනිසුන් කෙරෙහි අප සංවේදී විය යුතුය.ලෝකයේ හැම යුද්ධයකම දෙපැත්තේ සිටින දෙපිරිසටම තුවක්කු විකුණන උන්ට සහ එයින් කොමිස් ලැබීමට අපේක්ෂා කරන පිරිසට හැර යුද්ධය රස විඳිය හැක්කේ ඒ වරප්‍රසාද ගන්න පිරිස විසින් තනන වහල් මනසින් යුත් ගෝත්‍රිකත්වය පුරුදු පුහුණු කළ මිනිසුන්ට පමණය.
දැන්වත් මේ ඡායාරූපයේ දකින බෙල් එකේ හඬට ඇහුං කං දෙන්න.ඒ සද්දෙ දුරට පැතිරුණාට හිස්ය.

ඡායාරූපය – අමිල ගමගේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan