නදීක දයා බණ්ඩාර – මහනුවර
කොළඹ LNW:හන්තාන පරිසර ආරක්ෂණ කලාපයේ පිහිටි ජනතා වතු සංවර්ධන මණ්ඩලය සතු ඉඩම් කොටසක් පරිසර හිතකාමී කලාපයක් වශයෙන් නම් කිරීමේ යෝජනාවක් හන්තාන පාරිසරික ආරක්ෂක ප්රදේශ කළමණාකරණ කමිටුවට ඉදිරිපත් වී තිබේ.
තේ හෝ වෙනත් ආර්ථික භෝගයක් නොමැති නමුත් ජල මූලාශවලින් සමන්විත ප්රදේශයක් මේ සඳහා යෝජනා වී ඇති අතර ජල මූලාශය ඇතුළු පරිසරය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කළ බව ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ හන්තාන කලාපයේ වතු අධිකාරී දුමින්ද රුවන් කුමාර මහතා පැවසීය.
ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාගේ අනුමැතිය මත අක්කර 05කට අධික භූමි ප්රමාණයක් මේ සඳහා ලබා දීමට යෝජනා කරන බවත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ මෙම කොටස පාලනය වන්නේ නම් අනවසර ඉඩම් අත්පත් කර ගැනීම් ආදිය මෙම කොටසට සිදු නොවන බව ද වතු අධිකාරීවරයා සඳහන් කළේය.
මහනුවර අතිරේක දිස්ත්රික් ලේකම් නිලූකා බුලත්ගේ මහත්මියගේ ප්රධානත්යෙන් පැවැති මෙම රැස්වීම සඳහා මධ්යම පරිසර අධිකාරියේ මධ්යම පළාත් අධ්යක්ෂ එම්.එම්.ඒ.අයි.ජානක, මහනුවර දිස්ත්රික් දිසා වන නිලධාරී සුරංගිකා හේරත් මහත්මිය ඇතුලු පිරිසක් සහභාගීවූහ.


