ජනපති රනිල් සහ ඉන්දුනීසියානු ජනපති ජෝකෝ විඩෝඩෝ අතර ද්විපාර්ශ්වික සාකච්ඡා. ආර්ථික සහයෝගීතාව වර්ධනයට අවධානය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඉන්දූනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතා අතර නිල හමුව ඊයේ (20) පස්වරුවේ පැවැත්වී තිබේ.

ඉන්දුනීසියානු ජනාධිපතිවරයා විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඉතා මිත්‍රශීලි අයුරින් පිළිගත් අතර රාජ්‍ය නායක දෙපළ අතර සුහද කතා බහකින් පසුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මෙහිදී නායකයන් ප්‍රතිඥා දුන් අතර, දෙරට අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ද විශේෂ අවධානයක් යොමු විය.

එමෙන්ම කලාපීය සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳවද නායකයන්ගේ අවධානය යොමු වූ අතර ගෝලීය අභියෝගවලට මුහුණදීමේදී දෙරට අතර සහයෝගීතාවයේ වැදගත්කම ද අවධාරණය කෙරිණි.

ජල කළමනාකරණය පිළිබඳ තීරණාත්මක කාර්යභාරය ද මෙහිදී නායකයන් සාකච්ඡා කළ අතර එහිදී ලෝක ජල සමුළුවේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජල සම්පත් කළමනාකරණයේදී රටවල් මුහුණ දෙන පොදු මූල්‍ය අභියෝගවලට විසඳුම් සෙවීමේ අරමුණින් ක්‍රියාත්මක ගෝලීය මිශ්‍ර මූල්‍ය සන්ධානය සදහා සහභාගිවීමට ශ්‍රී ලංකාවේ කැමැත්ත ද පළ කර සිටියේය.

ශ්‍රි ලංකාව සහ ඉන්දුනීසියාව අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ වැදගත්කම මෙහිදී පෙන්වා දුන් ඉන්දුනිසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ මහතා දෙරට අතර ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම සඳහා 2025 පළමු කාර්තුව වන විට වරණිය වෙළෙඳ ගිවිසුමට (PTA) එළැඹීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළේය.

ඉන්දුනීසියානු ඖෂධ සමාගම් ශ්‍රී ලංකාවේ ඖෂධ එන්නත් වෙළෙඳපොළට ඇතුළු වීමට දක්වන උනන්දුව පිළිබඳව ද සඳහන් කළ ඉන්දුනිසියානු ජනාධිපතිවරයා ඉන්දුනීසියානු පාම් ඔයිල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා පනවා ඇති ආනයන සීමාවන් ඉවත් කරන ලෙස ද ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය.

නුදුරු අනාගතයේදී තමාගේ ජනාධිපති ධුරයේ කාලසීමාව අවසන් වීමට නියමිත බව සඳහන් කළ ජනාධිපති ජොකෝ විඩෝඩෝ මහතා, ඉදිරියේදී බලයට පත්වන ඉන්දුනීසියානු නව පරිපාලනය ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා ශක්තිමත් කර ගැනීමට කටයුතු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කළේය.

ඉන්දුනීසියාවේ නව නායකත්වය සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් පසුවන බව මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වන ලෙසද ඉන්දුනීසියානු ජනාධිපති විඩෝඩෝ මහතා වෙත පුද්ගලික ආරාධනයක් ද සිදු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...