*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

වෙනත් පක්‍ෂවලට ඡන්දය දුන් අය අප වටා එක් වී ඉන්නේ ඇයි? NPP අනුර

සටහන – රෂිකා හෙන්නායක

මැයි 26, කොළඹ (LNW): ජාතික ජන බලවේගයේ වවුනියා දිස්ත්‍රික් කාන්තා සමුළුව (05.25) ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී ඔහු කියා සිටියේ, ජාතික ජන බලවේගය හදන නව ආණ්ඩුව පාලකයන්ගේ ජීවිතත්, පුරවැසියන්ගේ ජීවිතත් සමාන ලෙස සලකන ආණ්ඩුවක් බවයි.

යලට, මහට අහස දෙස බලා, වගා කරන කෘෂිකර්මාන්තය වෙනස් කර ජලසම්පාදනයෙන් පවත්වාගෙන යන කෘෂිකර්මාන්තයක් සැලැසුම්සහගතව ක්‍රියාත්මක කළ යුතු බවත්, කෘෂිකර්මාන්තයත් සමඟ අපේ පශු සම්පතත් බැඳී තිබුණු බවද පැවසීය. කෘෂිකර්මාන්තයත්, ග්‍රාමීය කිරි නිෂ්පාදනයත් නැවත වරක් සමාන්තරව ඉදිරියට ගැනීමේ වැඩපිළිවෙළක් NPP පාලනය තුළින් අරමුණු කරන තර, ගම්වල ජනතාවට රැකියා අවස්ථා ලබා දෙන ආයෝජන මෙම ප්‍රදේශවලටත් කැඳවිය යුතු බවද පැවසීය. ඒ වෙනුවෙන් රැකියා සහ ප්‍රමාණවත් ආදායම් මාර්ග ලබා දී හොඳ මානසික නිදහසක් තහවුරු කිරීම NPP පාලනයක මූලික අරමුණක් වන බවද කියා සිටියේය.


ජාතික ජන බලවේගයේ නායක අනුර වැඩිදුරටත් අදහස් දක්වමින්,

” ජනාධිපතිවරණය නියමිත පරිදි පවත්වන්න ඕනෑ. නමුත්, රංගේ බණ්ඩාර කියා තිබුණා, ජනාධිපතිවරණය නොතියා තව අවුරුදු පහක් රනිල් වික්‍රමසිංහට දෙන්න ඕනෑ කියලා. මම අවධාරණයෙන් රංගේ බණ්ඩාරට කියන්නේ, එහෙම කරන්න නම්, ලංකාවේ තවදුරටත් ඉඩ නැහැ කියලා. ඒ වාගේ ම වජිර අබේවර්ධන කියනවා, තව අවුරුදු දොළහක් රනිල් වික්‍රමසිංහට දෙන්න ඕනෑ කියලා. තවත් වෙලාවක වජිර අබේවර්ධන කියනවා, අනෙක් අපේක්‍ෂකයන් කවුරුවත් නොඉල්ලා, රනිල්ට විතරක් ඉල්ලන්න දෙන්න කියලා. ඒ කියන්නේ ඡන්දයකින් රනිල්ට ජය ගන්න බැරි බව ඔවුන් දන්නවා. ඒ වාගේ ම සජිත් ප්‍රේමදාසගේ රැස්වීම්වල ජසයා හා ලෙන්චිනා වාගේ ගතියක් දැනෙනවා. ලෙන්චිනා විතරයි අඩු. ලංකාවේ මුළු දේශපාලනයම අද ජාතික ජන බලවේගය වටා කේන්ද්‍රගත වී තිබෙනවා. මීට පෙර යුතුකම් ඉටු කරන්න, කළගුණ සලකන්න වාගේ දේවල් කියමින්, විවිධ කාලවල විවිධ පක්‍ෂවලට ඡන්දය දුන් විශාල පිරිසක් මෙතැනට එකතු වී ඉන්නවා. මෙතෙක් අනෙක් පක්‍ෂවලට ඡන්දය දුන් විශාල පිරිසක් අපත් එක්ක එකතු වීම නිසයි ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන්නේ. මීට පෙර විශාල ලෙස දේශපාලනය ගැන උනන්දුවක් නොදැක්වූ සහ වෙනත් පක්‍ෂවලට ඡන්දය දුන් අය අප වටා එක් වී ඉන්නේ ඇයි?

කවුරුත් වැඩියෙන් ම මහන්සි වෙන්නේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නයි. නමුත්, අද පාසල් අධ්‍යාපනය කඩාවට්ටා, ටියුෂන් අධ්‍යාපනය වෙනුවෙන් විශාල බරක් දරන්න ඔවුන්ට සිදු වී තිබෙනවා. දරුවකු ඉගෙන ගන්න එක අද ගෙදරට බරක් බවට පත් කර තිබෙනවා. දරුවන්ට හරිහමන් අධ්‍යාපනයක් ලබා දීම දෙමවුපියන්ට ලොකු බරක් වී තිබෙනවා. ඒ බරෙන් ඔබව නිදහස් කර ආණ්ඩුවේ වගකීමක් බවට පත් කරන බව අපි සහතික වෙනවා. රට ගොඩනඟන්න නම්, දියුණු මානව සම්පතක් අවශ්‍යයි. මේ රට හදන්න නම්, නැණවත්, ගුණවත් දරු පරම්පරාවක් අපට ඕනෑ. ඒ නිසා වැඩිම කාර්යභාරය මේ දක්වා සිටි පාලකයන් ඉටු නොකිරීම අප භාර ගන්නවා. ඊ ළඟට දරුවන්ට හොඳ රස්සාවක් ඕනෑ. ඇත්තම කියනවා නම්, අවශ්‍ය වෙන්නේ හොඳ රස්සාවක් නොවෙයි, හොඳ ආදායම් මාර්ගයක්. නමුත්, අද වන විට තරුණයන් උත්සාහ කරන්නේ දෙමවුපියන්, හැදුණු පරිසරය දාලා, කොහො ම හරි රට අත්හැර යන්නයි. ඒ නිසා දෙමවුපියන් අසරණ වෙලා. හොඳ ආදායම් මාර්ගයක් හොයා ගන්න නිසි මාර්ගයක් නැහැ. ඔවුන් කොළඹ කොන්ක්‍රීට් අනන්න යාම වැනි කටයුතුවල දී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටිනවා. දැන් ගම් දනව් දක්වා මත්ද්‍රව්‍ය පැතිරී තිබෙනවා. එයින් දරුවන් මුදාගෙන දෙමවුපියන්ට බයක්, සැකක් නැතිව දරුවන්ට අනාගතයක් නිර්මාණය කිරීමේ වගකීම අපි භාර ගන්නවා.

ඊ ළඟට අපේ ලොකුම බලාපොරොත්තුව ගෙයක්, දොරක් හදා ගන්න එක. ඉස්සර නම් කීවේ, නොතෙමී ඉන්න වහලක් හදා ගන්නවා කියලා. නමුත්, අද වන විට පරම්පරා කීපයක්ම ජීවත් වන්නේ මුළු ජීවිත කාලයේම පොරබැදුවත්, බාගෙට හැදුව ගෙයකයි. ඒ නිසා අපි මේ රටේ සෑම පවුලකටම නොතෙමී, හොඳ වාතාශ්‍රයක් සහිතව ජීවත් වෙන්න නිවාසයක් ලබා දීමේ වගකීම අපේ ආණ්ඩුවක් භාර ගන්නවා. ඒ වාගේ ම අද වන විට ජනගහනයෙන් සියයට හතළිස්අටක් බෝ නොවන රෝගවලට ගොදුරු වී සිටින ජනතාව එයින් මුදා ගන්නා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ලබා දීම වෙනුවෙන් කටයුතු කරනවා. මේ ව්‍යසනයෙන් ජනතාව මුදා ගන්නා යහපත් සෞඛ්‍ය පුරුදු, හොඳ ආහාර වේලක් ලබා දීම, ප්‍රමිතියෙන් යුතු ඖෂධ ලබා දීම සහ සෞඛ්‍ය පර්යේෂණ නිසි ලෙස සිදු කිරීම රජයේ පොදු වගකීමක් ලෙස භාර ගන්නවා. අද සිද්ධ වෙලා තිබෙන්නේ, දරුවා කුස දරාගෙන ඉන්න අම්මා රක්ත හීනතාවෙන් පෙළීමයි. ඒ නිසා දරුවාත්, අම්මාත් දෙදෙනාම රෝගී වී සිටිනවා. මේ නිසා පුරවැසියන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දී, නිරෝගී ජීවිතයක පළමු අවශ්‍යතාව සම්පූර්ණ කරනවා. දැන් අවුරුදු හැත්තෑපහක් වන රනිල් වික්‍රමසිංහ මහත්තයාගේත්, ඒ වයසේ ජීවත් වන අපේ ගමේ තාත්තා කෙනකුගේත් තත්වය කොහොමද? ආණ්ඩුවලට ඡන්දය දුන් අපේ ගමේ අය අඩු කාලයක් ජීවත් වී, ඡන්දය ගත් අය වැඩි කාලයක් ජීවත් වන සෞඛ්‍ය ක්‍රමයක් තියෙන්නේ. ජාතික ජන බලවේගය මේ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් කර රටේ පාලකයන්ගේ ජීවිතත්, පුරවැසියන්ගේ ජීවිතත් සමාන ලෙස සලකන ආණ්ඩුවක් ජාතික ජන බලවේගයෙන් පිහිටුවනවා.

පරමායුෂ ගැන අපි කීවාට, රටේ ජනතාව බෙහෙත් නැතිව, ඔපරේෂන් එක හරියට කර ගන්න බැරිව, බාල ඖෂධ නිසා මිය යන්න හෙළන ලද ජනතාවක් හැටියට අපි ගම්වල ජීවත් වෙනවා. දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, ඔවුන්ට නිසි ආදායම් මාර්ගයක්, ප්‍රමාණවත් ගෙයක් දොරක්, නිරෝගීමත් ජීවිතයක් ගත කිරීම තහවුරු කරන ප්‍රතිපත්ති, ඉලක්කසහගත ආර්ථික වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා.
මේ ගම්වල ජීවත් වන ගොවි ජනතාව අද යල කන්නයේ වගා කර මහ කන්නයේ ණය වෙන ජීවිත ගත කරන්නේ. දරුවකුගේ මඟුල් ගෙයක් ගන්න නම්, ඉඩමේ කෑල්ලක් විකුණන්න හෝ ට්‍රැක්ටරය, බයිසිකලය, ත්‍රීවීල් එක උකස් තියන්න සිදු වී තිබෙනවා. මේ නිසා කෘෂිකර්මාන්තය දියුණු කිරීම අපේ ආර්ථික වැඩපිළිවෙළේ අත්තිවාරම කර ගන්නවා. එය ආදායම් මාර්ගයක් පමණක් නොවෙයි, රටට ආහාර නිෂ්පාදනය කිරීමේ අත්තිවාරමත් වෙනවා. නමුත්, අද මුකුණුවැන්න සහ කංකුන් පවා පිටරටින් ගේනවා. මේ රටේ ජනතාව කවදා හරි කල්පනා කළාද, ඉන්දියාවෙන් ගේන බිත්තර කන්න වෙයි කියලා. අපට තිබුණු බීජ සම්පත සම්පූර්ණයෙන් ම විනාශ කර ආනයනික බීජ මත කෘෂිකර්මය රඳවා තිබෙනවා. අපට තිබුණු බීජ නිෂ්පාදනය විනාශ කළාට පසු වෙළෙඳපොළෙන් ගන්නා බීජ පැළ කර ලබා ගන්නා අස්වැන්නෙන් නැවත බීජ ලබා ගන්න බැහැ. ඒ බීජ පැළවෙන්නේ නැහැ. ඉස්සර නවදැලිහේනේ ස්වාභාවිකව පැළ වුණු තුඹ කරවිලවලට අද මොකක්ද වී තිබෙන්නේ ? කරවිල ප්‍රභේද ගණනාවක්, මිරිස් ප්‍රභේද ගණනාවක්, වට්ටක්කා ප්‍රභේද ගණනාවක්, පිපිඤ්ඤා ප්‍රභේද ගණනාවක් වශයෙන් අපට තිබුණු බීජ විවිධත්වයත්, අපේ පරිසරයේ තිබුණු ජෛව විවිධත්වයත් සම්පූර්ණයෙන් ම විනාශ කරලා. පැරැණි බීජ නැවත හොයාගෙන වැඩිදියුණු කරමින්, නැවත නඟාසිටුවීමට බොහෝ දේවල් කළ යුතුව තිබෙනවා.

යලට, මහට අහස දිහා බලලා, වගා කරන කෘෂිකර්මාන්තය වෙනස් කර ජලසම්පාදනයෙන් පවත්වාගෙන යන කෘෂිකර්මාන්තයක් සැලැසුම්සහගතව ක්‍රියාත්මක කරන්න ඕනෑ. ඒ වාගේම කෘෂිකර්මාන්තයත් සමඟ අපේ පශු සම්පතත් බැඳී තිබුණා. කෘෂිකර්මාන්තයත්, ග්‍රාමීය කිරි නිෂ්පාදනයත් නැවත වරක් සමාන්තරව ඉදිරියට ගැනීමේ වැඩපිළිවෙළක් අපට තිබෙනවා. ඒ වාගේ ම ගම්වල ජනතාවට රැකියා අවස්ථා ලබා දෙන ආයෝජන මේ ප්‍රදේශවලටත් කැඳවන්න ඕනෑ. ඒ වෙනුවෙන් රැකියා සහ ප්‍රමාණවත් ආදායම් මාර්ග ලබා දී හොඳ මානසික නිදහසක් තහවුරු කරන්න අපේ පාලනයක මූලික අරමුණක් වෙනවා. අද මොන තරම් කන්කරච්චල්වලින් ඔළුව පිරී තිබෙනවාද? මේ වාගේ ප්‍රශ්න පිරී තිබෙන අය ගමනක් යන කොට තමන් ඇවිත් බැහැපු බස් එකටම හැපී මිය යන අවස්ථා විශාල වශයෙන් වාර්තා වී තිබෙනවා. නමුත්, අප විනෝදය, සතුට වාගේම ආගමික වශයෙන් වන්දනා ගමන් යා හැකි, අවශ්‍ය නම්, දඹදිව යන්න හැකියාව තිබෙන ජීවිත ගොඩනඟනවා. අපට දැන් ඒ ජීවිතය උරුම නැත්නම්, අපේ දරුවන්ට හෝ එවැනි ජීවිත ලබා දෙන්න ඕනෑ.

ඒ වෙනුවෙන් අපි පළමු කොටම අපේ ආණ්ඩුවක් බලයට පත් කර ගන්න ඕනෑ. පොදු ජනතාවට සෙතක්, ශාන්තියක්, සුගතියක් අත් කර දෙන ජාතික ජන බලවේගයේ නව ආණ්ඩුවක් අපි පිහිටුවා ගනිමු. අද පාලකයන් කරන්නේ ගම්වලට ඇවිත්, හාල් බෙදලා, නැවත වරක් ඡන්දය ගන්න බැලීමයි. මාසයකට හාල් බෙදන්න අයවැයෙන් කෝටි 550ක් වැය කළත්, කෝටි 650ක විතර වියදමක් ඒ වෙනුවෙන් වැය කරනවා. තව පැත්තකින් සීනි බදු වංචාව කෝටි 1500 කියන්නේ, මාසයකට හාල් බෙදන්න කෝටි හයසියයක් වියදම් වෙනවා කියලා ගත්තොත්, සීනි බදු වංචාවෙන් ගසාකෑ මුදලින් එක් පවුලකට හාල් කිලෝ විසිපහ ගාණේ දෙන්න පුළුවන්. බැඳුම්කර වංචාවත් ඒ වාගේ. අපි ජනතාවට අවධාරණය කරන්නේ ඔය බඩු බෙදීම්වලට අහු වෙන්න එපා කියලා. ඉඩම්වලට ඔප්පුත් දෙනවාලු. ‘අස්වැසුම’ මුදල වැඩි කර දෙනවාලු. මේ වාගේ ‘අස්වැසුම’ දෙන්නේ ලබන දෙසැම්බර් 31 වැනිදා වන තුරු විතරයි. ඒ වෙන කොට මහ ඡන්දයත් ඉවරයි; අස්වැසුමත් ඉවරයි; රනිල් වික්‍රමසිංහත් නැහැ. රනිල් 1977 ඉඳලා පාර්ලිමේන්තුවේ ඉන්නවා. ජනතාවගේ ප්‍රශ්නවලට ඇත්ත උත්තර ලබා දුන්නා නම්, මේ රටට මෙහෙම වෙන්නේ නැහැ. ඒ නිසා මේ රැවටීමේ දේශපාලනයට තිත තියන්න ඕනෑ.

අපි මේ රට ගොඩනගන බවට සහතිකයක් දෙනවා. රට ගොඩනගන තෙක් අවශ්‍ය ජනතාවට සහනාධාර ලබා දෙනවා. අපේ ආණ්ඩුවක පළමුවැනි වගකීම ආහාර, සෞඛ්‍යය, අධ්‍යාපනය මූලික වගකීමක් ලෙස ගැනීමයි. හැම පුරවැසියකුටම ආහාර ලැබෙන, අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබා දෙන සහ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන වැඩපිළිවෙළ අපි තහවුරු කරනවා. මේ රට දුප්පත්, හිඟාකන්න ඕනෑ රටක් නොවෙයි. ජනතාව මේ විදියට දුක් විඳින්න ඕනෑ රටක් නොවෙයි. ජනතාව බඩගින්නේ ඉන්න ඕනෑ රටක් නොවෙයි. ස්වාභාවික සම්පත් සියල්ලෙන් ම අනූන රත්නදීපයක් මේක. ඒ වාගේ රත්නදීපයක කන්න නැතිව මිනිස්සු මැරෙනවා. බෙහෙත් නැතිව මිනිස්සු මැරෙනවා. හරිහමන් නිවහනක් නැති මිනිස්සු ඉන්නවා. අපි, ඔබ හැම දෙනාම එකතු වී හැම දෙනාටම ජීවත් විය හැකි රටක් ගොඩනඟමු. මෙතෙක් රට පාලනය කළ අය ජනතාව භේදභින්න කර විශාල යුද්ධයක් නිර්මාණය කළා. උතුරේත්, දකුණේත් දේශපාලකයෝ තමන්ගේ බලය වෙනුවෙන් යුද්ධයක් නිර්මාණය කළා. ප්‍රභාකරන්ට මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිර්මාණය කරගත හැකි ලෙස 1981 සංවර්ධන සභා මැතිවරණය කඩාකප්පල් කරන්න කටයුතු කළා. රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවේ අය මැර කණ්ඩායම් අරගෙන යාපනයට ගිහිල්ලා, පුස්තකාලය ගිනි තිබ්බා. ඡන්දය ලබා ගන්න පුස්තකාල ගිනි තැබීම ගැන ඔබ අසා තිබෙනවා ද? යාපනයේ ජනතාව ඒ පුස්තකාලය සමඟ එක් වී විශාල වශයෙන් පොතපත කියෙව්වා. මම දැකලා තිබෙන පුස්තකාල අතුරින් පාවහන් ගලවා ඇතුළු වන පුස්තකාලය යාපනය පුස්තකාලයයි. ආගමික පූජනීය ස්ථානයකට යනවා වාගෙයි ඇතුළු වන්නේ. උතුරේ ජනතාව යාපනය පුස්තකාලය එක්ක ඒ තරම්ම බැඳීමක් තිබුණා. නමුත්, රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායමට 1981 සංවර්ධන සභා බලය ගන්න ඒ පුස්තකාලයට ගිනි තිබ්බා. තමන් එතරම් ගෞරව කළ පුස්තකාලය ඡන්දයක් වෙනුවෙන් ගිනි තිබ්බාම දෙමළ ජනතාවගේ හදවත පෑරුණා.

දකුණේ ආණ්ඩු තමන්ගේ පුස්තකාලය ගිනි තැබූ වේදනාවෙන් මිදෙන්නත් පෙර 1983 ‘කළු ජූලිය’ නිර්මාණය කළා. අපේ පක්‍ෂය තහනම් කරන්න ජේ. ආර්. ජයවර්ධනට අවශ්‍ය වුණා. එදා ජනතාව ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි විශ්වාසය තබමින්, ඒ වටා රොදබැඳෙමින් සිටියා. ජේ. ආර්. ජයවර්ධන ඒකට බය වුණා. එදා ජනතා විමුක්ති පෙරමුණේ වර්ධනය ජේ. ආර්. ජයවර්ධනගේ බලයට තර්ජනයක් බව කල්පනා කර 1983 කළු ජූලිය පිට දමා අපේ පක්‍ෂය තහනම් කළා. ජේ. ආර්. ජයවර්ධනලා, රනිල් වික්‍රමසිංහලා කොළඹ හතරවැනි හරස් වීදිය ගිනි තබමින්, කළු ජූලියක් නිර්මාණය කළා. ජේ. ආර්. ජයවර්ධනගේ මැරයෝ මුළු රට ම ගිනි ජාලාවක් බවට පත් කළා. දෙමළ ජනතාවගේ දේපොළ, ජීවිත කළු ජූලියෙන් විනාශ කළා. අද දෙමළ ‘ඩයස්පෝරාව’ කියලා ඉන්න ගොඩක් අය 1983 රට දාලා ගිය අයයි. දකුණේ දෙමළ ජනතාවගේ දේපොළ වාගේම දෙමළ ජනතාවගේ ජීවිත විනාශ කිරීම සහ පලවාහැරීම නිසා වෙනම රටක් ගොඩනඟා ගැනීමේ ප්‍රභාකරන්ගේ සංකල්පයට විශාල බලයක් ලබා දුන්නා. ඒ තුළින් විශාල සන්නද්ධ ව්‍යාපාරයක් පැනනැඟුණා. උතුරේත්, දකුණේත් ජීවිතවලින් වන්දි ගෙව්වේ සාමාන්‍ය අම්මා, තාත්තාගේ දරුවෝ. උතුරේ අම්මලාගේ දරුවන් එල්.ටී.ටී.ඊ. එකට බැඳුණා. උඩ ඉන්න පාලකයන් යුද්ධය ඇති කර අපේ ගම් අනාරක්‍ෂිත කළා. සිංහල දරුවන් යුද්ධයට යැව්වා.

අපට තිබෙන ප්‍රධාන අරමුණ නැවත ගැටුම් ඇති නොවන සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සමඟිය ගොඩනඟන රටක් නිර්මාණය කිරීමයි. අපේ පරම්පරාව යුද්ධ කළත්, අපේ දරුවන්ට යුද්ධය කරන්න ඉඩ දෙන්න බැහැ. සිංහල අම්මා, තාත්තාට වාගේ ම දෙමළ අම්මා, තාත්තාටත් තම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් නැති වීම, බෙහෙත්-හේත් නැති වීම, විවාහයක් නැති වීම වාගේම මානසික නිදහසක් නැති වීම ගැන ප්‍රශ්න තිබෙනවා. ඒ නිසා අපට අවශ්‍ය වන්නේ බෙදෙනවා වෙනුවට සමඟියෙන් ඉන්න රටක් ගොඩනැඟීමයි. නැවත නොබෙදෙන රටක් ගොඩනැඟීමේ වගකීම ජාතික ජන බලවේගයට තිබෙනවා. ඒ නිසා අපි එකට එකතු වී ආණ්ඩුවක් ගොඩනඟමු. ඒ වෙනුවෙන් සියලු දෙනාටම ආරාධනා කරනවා” ලෙස කියා සිටියේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan