රෂිකා හෙන්නායක මැයි 29 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
පුවත අසන්න මෙතැනින්..
පුවත නරඹන්න මෙතැනින්..
මිනිස් ශ්රමිකයන් සහ රොබෝවරුන් උරෙන් උර ගැටී වැඩ කරන අනාගතය තවදුරටත් ඈත ක්ෂිතිජයේ ඇති සිහිනයක් නොවේ. එය මේ වන විටත් ජර්මනියේ ලයිප්සිග් (Leipzig) හි BMW කර්මාන්තශාලා පරිශ්රය තුළ යථාර්ථයක් බවට පත්වෙමින් තිබේ. මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්රයේ දැවැන්තයෙකු වන BMW, සිය නිෂ්පාදන ක්රියාවලියට ‘Aeon’ වැනි මානුෂීය රොබෝවරුන් (Humanoid Robots) එක් කරමින් සිටින්නේ අත්හදා බැලීමක් ලෙස පමණක් නොවේ. මෙය සමස්ත නිෂ්පාදන ක්ෂේත්රයේම සිදුවන පැරඩයිමීය වෙනසක (Paradigm shift) ආරම්භයයි. දැනටමත් ඇමරිකාවේ ස්පාටන්බර්ග් (Spartanburg) හි ‘Figure 02’ රොබෝවරුන් සාර්ථකව යොදා ගනිමින් X3 මාදිලියේ රථ 30,000ක් නිෂ්පාදනය කිරීමට සහාය වී ඇති පසුබිමක, මෙම යාන්ත්රික පරිණාමය දැන් යුරෝපයටද සම්ප්රාප්ත වී ඇත.
කර්මාන්තශාලාව වෙනස් කරනවා වෙනුවට රොබෝවරයාව වෙනස් කිරීම

අතීතයේදී නව ස්වයංක්රීය යන්ත්රයක් හඳුන්වා දීමේදී, මුළු කර්මාන්තශාලාවම එම යන්ත්රයේ අවශ්යතාවලට ගැළපෙන පරිදි විශාල පිරිවැයක් දරා ප්රතිසංවිධානය කිරීමට සිදු විය. එහෙත් මානුෂීය රොබෝවරුන්ගේ ආගමනයත් සමඟ එම තත්ත්වය උඩුයටිකුරු වී ඇත. අද වන විට රොබෝවෙකුගේ පිරිවැය සැලකිය යුතු ලෙස පහත වැටී ඇති අතර, පවතින සේවා පරිසරයට අනුගත විය හැකි රොබෝවෙකු නිර්මාණය කිරීම වඩාත් ලාභදායී විකල්පය බවට පත්ව තිබේ.
“යම් රොබෝවරයෙකුගේ මිල ඩොලර් මිලියන 17ක් වූ යුගයේදී, ඔබ එම රොබෝවරයා වටා ඔබේ කර්මාන්තශාලාව ප්රතිසංවිධානය කළා. නමුත් දැන් තත්ත්වය එසේ නොවෙයි. දැන් අපට අවශ්ය වන්නේ පවතින සේවා ක්රමවේදයට රොබෝවරයාව ගළපා ගැනීමටයි,” යැයි ගාර්ට්නර් (Gartner) ආයතනයේ උප සභාපති බිල් රේ (Bill Ray) පවසයි.
BMW හි ඩිජිටල්කරණ අංශ ප්රධානී මයිකල් නිකොලයිඩීස් පෙන්වා දෙන්නේ, මිනිස් සිරුරේ හැඩය ඇති රොබෝවෙකුට මිනිසෙකු සේවය කරන ඕනෑම ස්ථානයක කිසිදු බාධාවකින් තොරව සේවය කළ හැකි බවයි.
මාස ගණනක පුහුණුව දින කිහිපයකට සීමා කරන ‘අනුකරණයෙන් ඉගෙනීම’ (Imitation Learning)
භෞතික කෘත්රිම බුද්ධියේ (Physical AI) වඩාත්ම සිත්ගන්නාසුලු අංගය වන්නේ රොබෝවරුන් පුහුණු කිරීමේ වේගයයි. මෙහිදී ‘Teleoperation’ (සංවේදක හරහා මිනිස් චලන පිටපත් කිරීම) සහ ‘Digital Twin’ වැනි තාක්ෂණික මෙවලම් භාවිත වේ. ‘අනුකරණයෙන් ඉගෙනීම’ (Imitation Learning) හරහා, මිනිසෙකු යම් කාර්යයක් කරන ආකාරය දෙස බලා සිටීමෙන් පමණක් එය ඉගෙන ගැනීමට රොබෝවරයාට හැකියාව ලැබේ.
මෙහි ඇති විශේෂත්වය වන්නේ ‘ගුරුවරයා’ (මිනිසා) සහ ‘ශිෂ්යයා’ (රොබෝවරයා) යන දෙදෙනාටම එකම ශරීර හැඩයක් තිබීමයි. මින් පෙර මාස ගණනාවක් ගත වූ පුහුණු ක්රියාවලිය දැන් දින කිහිපයකට සීමා වී ඇත. ඉදිරි වසරක හෝ දෙකක කාලය තුළ, පෙට්ටි ඇසිරීම වැනි සරල කාර්යයක් දෙස මොහොතක් බලා සිට පසුව එම කාර්යයට සෘජුවම දායක වීමේ හැකියාව රොබෝවරුන්ට ලැබෙනු ඇත.
රෝද සහිත පාද: කාර්යක්ෂමතාව සහ යථාර්ථය

ප්රසිද්ධ වේදිකාවල නටන හෝ පනින රොබෝවරුන් දැකීම ආකර්ශනීය වුවද, සැබෑ වැඩබිමක වැදගත් වන්නේ කාර්යක්ෂමතාවයි. Hexagon Robotics විසින් නිෂ්පාදිත Aeon රොබෝවරයාට පාද වෙනුවට රෝද ලබා දී ඇත්තේ එබැවිනි. මීටර් 1.65ක් උස, කිලෝග්රෑම් 60ක් බරැති මෙම රොබෝවරයා සතුව කැමරා, රේඩාර්, මයික්රොෆෝනයක් සහ බල/ව්යාවර්ත (force and torque) සංවේදක ඇතුළු සංවේදක (Sensors) 21ක් පවතී.
තත්පරයකට මීටර් 2.4ක වේගයෙන් ගමන් කළ හැකි Aeon හට අඛණ්ඩව කිලෝග්රෑම් 8ක බරක් එසවිය හැකිය. පැය 3ක බැටරි ආයු කාලයක් ඇති මෙම රොබෝවරයාට, මිනිත්තු 3ක් වැනි කෙටි කාලයක් තුළ තමාගේම බැටරිය මාරු කරගෙන නැවත වැඩට යාමේ හැකියාව ඇත. ප්රවීණයන් පවසන්නේ රොබෝවරුන් ලවා නැටුම් ගැන්වීම වැනි දෑ හුදෙක් කොටස් වෙළඳපොළේ මිල ඉහළ නැංවීමට කරන ප්රචාරණ උපක්රම (Hype) පමණක් වන අතර, රෝද සහිත ස්ථාවර රොබෝවරුන් සැබෑ නිෂ්පාදන ලෝකයේ ප්රායෝගික අවශ්යතාවය වන බවයි.
රොබෝවරුන්ට නම් තැබීම: මනුෂ්යත්වයේ ස්පර්ශය
Aeon රොබෝවරයාට මිනිස් මුහුණක් නැතත්, එහි හිසෙහි ඇති තිරය හරහා විවිධ සංකේත මඟින් (උදාහරණයක් ලෙස වැඩ කරන විට රේඛාවක් සහ සවන් දෙන විට වෘත්තයක්) මිනිසුන් සමඟ සන්නිවේදනය කරයි. මෙම ‘දෘශ්ය භාෂාව’ මිනිසුන්ට වඩාත් සමීප හැඟීමක් ලබා දීමට සමත් වේ. BMW සේවකයන් මෙම රොබෝවරුන්ට නම් තැබීමට පෙළඹීම පිටුපස ගැඹුරු මනෝවිද්යාත්මක හේතුවක් පවතී.
“එයට නමක් නොමැති නම්, එය හුදෙක් යන්ත්රයකි. එය වැරැද්දක් කළහොත් එය ‘කැඩී ඇති’ බව අප සිතයි. නමුත් එයට නමක් තිබේ නම්, මිනිසුන් එයින් වැරදි සිදුවනු ඇතැයි අපේක්ෂා කරන අතර එවැනි වැරදිවලට සමාව දීමටද පෙළඹෙයි,” යැයි බිල් රේ පවසයි.

රොබෝවරුන් රැකියා උදුරා ගනීවිද? (ඉතිහාසයෙන් පාඩමක්)
1970 දශකයේදී කර්මාන්තශාලා ස්වයංක්රීයකරණය ආරම්භ වූ විටද මිනිසුන් තුළ රැකියා අහිමි වීමේ බියක් පැවතිණි. නමුත් සිදු වූයේ එහි ප්රතිවිරුද්ධ දෙයයි – එනම් නව තාක්ෂණය හරහා නව රැකියා උත්පාදනය වීමයි. වර්තමාන මානුෂීය රොබෝවරුන්ගේ ප්රධාන කාර්යය වන්නේ ශ්රම හිඟයට විසඳුම් සෙවීම සහ මිනිසුන්ට ශාරීරිකව අපහසු, පුනරාවර්තී කාර්යයන් භාර ගැනීමයි.
පැරණි සම්ප්රදායික රොබෝවරුන්ට සාපේක්ෂව මෙම නව AI රොබෝවරුන් සතු ඇති විශාලතම වාසිය වන්නේ වෙනස්කම් (Variance) හඳුනා ගැනීමේ හැකියාවයි. උදාහරණයක් ලෙස, ලෝහ තහඩුවක් තිබිය යුතු ස්ථානයෙන් මඳක් ඇල වී හෝ වෙනස් වී තිබුණහොත්, පැරණි රොබෝවරුන් අක්රිය වන අතර Aeon වැනි මානුෂීය රොබෝවරුන්ට එම වෙනස විශ්ලේෂණය කර දිගටම වැඩ කිරීමට හැකියාව ඇත.
මෝටර් රථ නිෂ්පාදනයේ අනාගතය දැනටමත් ලියැවී අවසානය. ඉදිරි වසර 3 සිට 5 දක්වා කාලය තුළ, සරල කටහඬ විධානයන් මඟින් මෙම රොබෝවරුන් මෙහෙයවීමට තරම් තාක්ෂණය දියුණු වනු ඇත. ඔවුන් බැටරි එකලස් කිරීමේ සිට නඩත්තු කටයුතු දක්වා විවිධ කාර්යයන්හි නිරත වනු ඇත. කෙසේ වෙතත්, රොබෝවෙකු දුටු පමණින් එයට මිනිසෙකු මෙන් දිවීමට හෝ පැනීමට හැකි යැයි අප සිතුවද, එම සීමාවන් තේරුම් ගැනීම වැදගත් වේ.



