සංඝාධිකරණයක් මොකටද ?

උපාලි කොළඹගේ

කොළඹ LNW:මහානායක හිමිවරුන්ගේ ද පූර්ණ ආශිර්වාදය ඇතිව සංඝාධිකරණයක් පිහිටු වීමට නීති කෙටුම්පත් සැකසෙමින් පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා මාතර තිහගොඩ පැවති රාජ්‍ය වෙසක් කලාපය ආරම්භ කිරීමේ උත්සව සභාවේදී ප්‍රකාශ කෙළේය.

ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය මේ රටේ බෞද්ධ ජනතාවට පමණක් නොව “බෞද්ධ භික්ෂූන් වහන්සේ ” ටද ඉතා වැදගත් පුවතකි. මෙහි බෞද්ධ භික්ෂූන් යන්න වෙනම සඳහන් කෙළේ එසේ නොවන භික්ෂූන් සිටිනවාද යන්න මේ දිනවල පලවන මාධ්‍ය වාර්තා අධ්‍යයනයෙන් ඔබම වටහා ගන්න .

යෝජිත සංඝාධිකරණය කෙබඳුවේද,කෙබඳු විය යුතුද යන්නය ඉදිරියේ දී විවාදයට පාත්‍රවිය යුත්තේ. මා තේරුම් ගත් ආකාරයට නම් මෙම සංඝාධිකරණය මහා සංඝයා වහන්සේලාගේ විනය පිළිබඳව කටයුුතු කරන අර්ධ අධිකරණ බලතල හිමි ආයතනයකි. ඇත්තටම විය යුත්තේත් එයයි. කිසිසේත්ම අපරාධ නඩු හෝ ඊට ආසන්න නඩු විසඳීමක් මේ මගින් නොසිදු විය යුතුය. කොටින්ම ස්වාමීන් වහන්සේලා පවතින අධිකරණ පද්ධතියට යටත් විය යුතු අතර මෙම නව පද්ධතිය ඉහත කී අධිකරණ ක්‍රියාවලියට පරිබාහිරව ක්‍රියාත්මක විය යුතුය.

මෙය එසේ සිදුවිය හැකි බවට වූ ඉඟියක් ද අනුර කුමාර ජනාධිපතිවරයාගේ කතා වෙහි විය. එනම් නීතිපතිවරයා සමඟ සාකච්ඡාවේදී ඇතැම් කරුණු පිළිබඳව එකඟත්වයකට පැමිණි බවයි. ඒවා මොනවාද යන්න අනුර කුමාර නොපැවසුවද අපට අනුමාන කළ හැක්කේ පවතින නීති පද්ධතිය උල්ලංඝනය වන ආකාරයේ කරුණු මෙයට අඩංගු නොවනන බවයි.

සමහර විටෙක මුට්ටිය දමා රටේ අධිකරණ පද්ධතියට අනියම් ලෙස ප්‍රවේශ වීමේ උත්සාහයක් ගත්තාද විය හැක. එවැන්නක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවටද පටහැනි වන අතර ඊට අභියෝග කිරීමේ හැකියාවක් ද පවතින බවයි මගේ විශ්වාසය. කොහොම වුණත් මා මේ අදහස් පළකරන්නේ යෝජිත සංඝාධිකරණ පනත දෙස ධනාත්මකව සිතා බවද සඳහන් කළ යුතුය. මෙය තවම පිළිසිඳ ගත්තා පමණි. ප්‍රසූත වන විට කුමන වෙස් ගනීද යන්න කලින් කිව නොහැක.

මෙවැනි අධිකරණයක් පිහිටු වීම යුගයේ අවශ්‍යතාවයක් වුවද ඊට එරෙහි වන පිරිස්ද බොහෝ සිටිය හැක. අනාගත සංඝාධිකරණයක් මගින් තමන් වහන්සේලා දඬුවමට යටත් විය හැකියයි සිතන භික්ෂූන් අංක එකය. අනෙක් පිරිස පොදු විපක්ෂයයි. ඔවුනුත් මුද්‍රණ දෝෂයක් හෝ අල්ලා ගෙන ආණ්ඩුවට එරෙහිව කඩු අමෝරා ගන්නවා නියති.

මෙන්න අනුර කුමාරගේ ආණ්ඩුව බුද්ධාගම විනාශකරනෝ, හාමුදුරුවරු විදුලි පුටුවට යවන්න හදනෝ කියා දෙස් දෙවොල් තියනු නොඅනුමානය. අනික් කොටස හැම දෙයක් ගැනම සැකයෙන් බලන, කිසිම දෙයකින් සෑහීමකට පත් නොවන අපේම මිතුරන්ය. ආණ්ඩුවේද මිතුරන්ය.

හේමරතන ආඛ්‍යානය

මේ හාමුදුරුවන් වරදකරුද නිවැරදි කරුද යන්න අපට තවම කිව නොහැක. නමුත් හේමරතන හිමියන්ට එල්ලවී ඇති චෝදනා ඉතා බරපතලය. මෙවැනි අවස්ථාවක කළ යුතු හොඳම දේ නඩු කටයුතු අවසන් වන තුරු පදවියෙන් ඉවත් වීමයි. මේ බව එතුමාට වටහා දෙන්න තරම් පරිණතවූවන් ඔහු ඇසුරු කරන අය අතර නැද්ද යන්න ද ප්‍රශ්නකාරීය. ඇත්ත නම් මෙවැනි චොදනාවක් එල්ල වූ විට ගතයුතු සදාචාරාත්මක පියවර නම් හොබ වන පදවියෙන් ඉවත් වීමය. මෙය සංස්ථා සභාපතිකමක් හෝ ඒ මට්ටමේ රැකියාවක් නොවේ. ආගමික ස්ථාන පද්ධතියක මුදුන් මල්කඩ යැයි කිවහැකි උත්තරීතර පදවියකි. එය වෙන ආණ්ඩුවේ රැකියාවක් මෙන් නඩු කියා රැක ගතයුතු තත්ත්වයක් නොවේ. මෙවැනි චොදනාවක් එල්ල වූ විට ඉල්ලා අස්වනවා පමණක් නොව තාක්ෂණික හේතුමත හෝ වෙනත් වටවංගුවකින් හෝ නැත්නම් අවංකවම තමන් නිදොස් කොට නිදහස් කළද යළි එම පදවිය බාර නොගත යුතුය. මෙම ඇතැම් ආගමික ඉහළ පදවි මොන තරම් බලවත්ද යන්න ඒවා අත්හැරීමට දක්වන ප්‍රබල අකමැත්තෙන් ම පෙනී යයි.මේ තැන් පරම්පරා ගණනක් එකම පවුල් සංස්ථාවක් විසින්ම භුක්ති විඳින අතර එම තත්ත්වය රැක ගැනීමට දිවා රෑ වෙහෙසන බවද සත්‍යයකි.

කෙසේ වුවත් චූදිත භික්ෂුව බේරා ගැනීමට විවිධාකාර යේ කරුණු ඉදිරිපත් වී ඇත. ඇතමුන් තර්ක කරනුයේවෙනත් අයකු ගෙන් වූ වරදක් මේ ස්වාමීන්වහන්සේ පිට පැට වීමට හදන බවයි. ඔව් එවැනි අවස්ථා අතීතයේද සිදුව ඇත. නමුත් එහෙම අවශ්‍යතාවයකට නම් මෙවැනි සුපිරි ගණයේ පුද්ගලයකු අල්ලා ගන්නේ නැත. දැරිවියක වුවද මොහු සතු සිවිල් බලය පිළිබඳව කිසියම් අවබෝධයක් ඇය සතුව ඇතැයි විශ්වාස කළ හැක. ඔන්න පන්සලේ ඇබිත්තයාව ඇල්ලුවා නම් මොහොතකට හෝ එසේ සිතිය හැක.

අනික් වැදගත් කරුණ නම් චූදිත භික්ෂුවගේ නීතීඥයා සිදු කළැයිි කියන ප්‍රකාශය සමාජ මාධ්‍යවල සඳහන් ආකාරයට ඔහු පවසා ඇත්තේ අනුරාධපුර වැනි දුෂ්කර ප්‍රදේශවල කුඩා දැරිියන් ළාබාල වියේ දූෂණයට ලක්වීම සාමාන්‍ය දෙයක් බවයි. ඔහු එසේ කීවා නම් එහි යටි පෙළ කුමක්දැයි අප අපගෙන්ම විමසා බැලිය යුතුය. මට නම් දැනෙනුයේ ඕක සුළු දෙයක් යන්න ය. එනම් නීතීඥ මහතාද මෙය සිදුවූ බවට පූර්ව විනිශ්චය ක සිටින බවය. මෙහි විද්‍යාත්මක සාක්ෂි ද බොහෝය.

කෙසේ වුවත් මේ පිළිබඳව හා අනිකුත් සිදුවීම් සලකා බලා සංඝාධිකරණය නමැති මූලික අඩි තාලම දැමීමට එකඟ වීම පිළිබඳව ද අනුර ප්‍රමුඛ ආණ්ඩුවට ස්තුති වන්ත විය යුතුය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සරත් සෘතුවේ දී දම් පාට හීතර් මල්වලින් පිරුණු කවිත්වයෙන් අනූන මෙයයි එංගලන්තය……..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : වල් හෙඩ්ලන්ඩ්ස් (wild...

කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය අද (01) සිට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : කඩදාසි රහිත රේගු...

ශක්තිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අභිමානයෙන් ලොව ජයගන්න කාන්තා සහ ළමා කටයුතු ඇමතිවරියගෙන් ආරාධනා!

කොළඹ LNW:දරුවන් ශාරීරිකව මෙන්ම මානසිකවද සුරක්ෂිත කිරීමටත්,ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු...