කොළඹ LNW:පළාත් පාලන ආයතනයන්හි බලය පිහිටුවේමේදී අප අනුගමනය කරන්නේ ඉතා සාධාරණ ස්ථාවරයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පළාත් පාලන ආයතන සඳහා සභිකයින්ගේ නම් ලැයිස්තු ගැසට් කිරීමට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව එහිදී තවදුරටත් පවසන්නේ ජනවරම විකෘති නොකිරීම සිය පළමු ප්‍රතිපත්තිය වන අතර දෙවනුව උනන්දු වන්නේ පළාත් පාලන ආයතනහි දේශපාලන අස්ථාවරත්වයක් ඇතිවීම වලක්වාලීමට බවයි.
එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි.
පළාත් පාලන ජන්ද විමසීම අවසන් වීමෙන් පසු සභික ධූර ගැසට් කිරීම සහ පළාත් පාලන ආයතනයන්හි බලය පිහිටුවීමට අදාල කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබේ.ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ශ්‍රීලංකාවේ සියලු දේශපාලන පක්ෂ අතර පැවැති මැතිවරණයකින් වේගයෙන්ම ඉදිරියට පැමිණෙමින් සිටින දේශපාලන ව්‍යාපාරය බව නිල වශයෙන් තහවුරු වීම අප ලද සුවිසල් ජයග්‍රහණයකි.ඒ ජයග්‍රහණයේ ප්‍රමුඛ සාධකය වූයේ අප පක්ෂය සමග එක්ව කටයුතු කල ගෞරවණීය පාක්ෂික ජනතාවයි.එමෙන්ම එහි තීරණාත්මකම කාර්යය භාර්ය ඉටුකරනු ලැබූයේ අපේ අපේක්ෂක අපේක්ෂිකාවන්ය.ඒ සියලු පාර්ෂවයන් වෙත ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ඉහළම ගෞරවය හිමිවිය යුතුය.
එක් එක් පළාත් පාලන ආයතනයන්ට අදාලව තේරීම්භාර නිළධාරීන් විසින් නිකුත් කරඇති නියමයන්ට යටත්ව අතිරේක මන්ත්‍රී ධුර සදහා නිර්දේශිත නාම ඉදිරිපත් කිරීම මේ වන විට අවසන් කර ඇත.මීට අදාල නම් කිරීම් සිදුකිරීමේදී උපරිම සාධරණ ක්‍රමවේදයක් අනුග්‍රහය කිරීමට පක්ෂයක් ලෙස ගතහැකි සෑම පියවරක්ම ගනු ලැබූ බව සිහිපත් කලයුතුව ඇත.එක් එක් කොට්ඨාස තුල ලබාගත් ජන්ද සංඛ්‍යාව සහ ප්‍රතිශතය,ජන්ද පරතරය, ලබාගත් ස්ථානය,පෙර සභික ධුර දරා තිබේද? යන්න සහ තවත් අතිරේක දේශපාලන කරුණු හා ප්‍රාදේශීය තොරතුරු මෙහිලා පළාත් පාලන ආයතනයෙන් ආයාතනයට වෙන් වෙන්ව සළකා බැලීමට අප උනන්දු විය.කෙසේ වෙතත් අවසන් තෝරාගැනීම ඉතාම දුෂ්කර කටයුත්තක් විය.ඊට හේතුව සමාන සුදුකම් සහිත අපේක්ෂක අපේක්ෂිකාවන් රැසක් සිටීමයි.නමුත් කෙසේ හෝ අවසන් තීරණයකට එළැඹීය යුතුව තිබුණි.මෙසේ නම් කරන ලද අයවලුන් එකම සුදුස්සාවීම හෝ ඉතිරි අපේක්ෂක අපේක්ෂිකාවන් නුසුදුස්සන් යැයි මෙයින් කිසිසේත්ම අර්ථ දැක්වෙන්නේ නැති බව අවධාරණය කල යුතුය.තවද මන්ත්‍රී ධුර කාල කොටස් වශයෙන් බෙදාගැනීමට එකගතාවයන් ඇතිකර ගැනීම එක්තරා ආකරයක පහසුවක් විය.
පළාත් පාලන ආයතනයන්හි බලය පිහිටුවේමේදී අප අනුගමනය කරන්නේ ඉතා සාධාරණ ස්ථාවරයකි.මහජනතාව විසින් ලබාදී ඇති ජනවරම විකෘති නොකිරීම අපගේ පළමු ප්‍රතිපත්තියයි.දෙවනුව අප උනන්දු වන්නේ පළාත් පාලන ආයතනහි දේශපාලන අස්ථාවරත්වයක් ඇතිවීම වලක්වාලීමටයි.ඊට හේතුව එවැනි දේශපාලන අස්ථාවරත්වයක් ඇති වුවහොත් එයින් පොදු මහජනතාව අපහසුතාවයට පත්වන බැවිනි.මෙකී ප්‍රතිපත්තිමය පදනමක් තුල සිට ඉදිරි කටයුතු ඉටුකිරීම අප පක්ෂයේ අපේක්ෂාවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
