ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපති ධූරය සඳහා නැවත වරක් රොහාන් ද සිල්වා පත් වී ඇත.මෙවර නිලවරණයේදී හිටපු සභාපතිවරුන් සහ වෙනත් බල කදවුරු නියෝජනය කරන ලද සහ වෙනස් මත දරමින් සිටිය අය එක කදවුරකට පැමිණ තිබෙන අයුරු දකින්නට ලැබීම වෙනස් තත්ත්වයකි.
ඉකුත් කාලයේ ජාත්‍යන්තර වශයෙන් බැඩ්මින්ටන් ක්‍රීඩාව යම් පසුබෑමක තිබුණ බව පිළිගෙන සියලු දෙනා එක්ව අලුත් මාවතකට බැඩ්මින්ටන් රැඟෙන යාම වැදගත්ය.එහිදි වඩා වැදගත් මෙහෙවරක් පළාත් බැඩ්මින්ටන් සංගම් හරහා අපේක්ෂා කළ හැකි අතර ඒවාට අනුග්රහයන් ලබා ගැනීමේ වැඩ පිලිවෙලක් හඳුන්වා දී සහ එවැනි කාරණා සඳහා මාර්ගෝපදේශකත්වය සපයමින් ජාතික සංගමය කටයුතු කිරීම වැදගත්ය.

දෙයාකාරයකින් එම සංගම් හරහා ජාතික සහ පළාත් තරග සංවිධානය කිරීම මෙහිදී බැඩ්මින්ටන් ක්‍රීඩාවේ දියුණුවට ඉවහල් කර ගැනීමට හැකි අතර විශේෂයෙන් පළාත් සංගම්වල සාමාජිකයන්ට සිය කුසලතා වැඩි දියුණු කර ගැනීමට ඉහළ තරගකාරී අවස්ථාවන්ට මුහුණ දීමට ලැබීම අතිශයින් වැදගත්ය.
රොහාන් ද සිල්වා දශකයකට වැඩි කාලයක් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සමඟ රැඳෙමින් සිටින අතර පෞද්ගලිකව ඔහු විශාල ධනයක් ඒ වෙනුවෙන් පොම්ප කරන ලද බව ද රහසක් නොවේ.නමුත් ඒ මුදලට සාපේක්ෂව ලබා ඇති ප්‍රගතිය ගැන ඔහුටම වුව ඇත්තේ ප්‍රමාණාත්මක තෘප්තියක් නොවිය හැකි බැවින් නව ධූර කාලයේ දී ජාතික මට්ටමෙන් වයස් කාණ්ඩ ක්‍රීඩා ඉසව් සහ ජාතික තරගාවලිවලට වැඩි ඉඩක් ලබා දෙමින් ක්‍රියා කිරීම වැදගත්ය.
ලංකාවේ බොහෝ ක්‍රීඩා සංගම්වල ප්රශස්ති නිර්මාණය කරන සහ ගායනා කරන පිරිස් වැඩි අතර අවසානයේ ඒවා බොහෝ විට ලියැවී ඇත්තේ සහ ගයා ඇත්තේ ක්‍රීඩාව වෙනුවෙන් හෝ ක්‍රීඩාවේ මුල් පුටු දරන්නන් වෙනුවෙන් නොව ලියූ සහ ගැයූ අයගේ අභිලාෂයන් වෙනුවෙන්ම බව දැනෙන විට පෙරහැර අවසානයට ළඟා වී අවසන්ය.ඒ තත්ත්වය මනා සිහියෙන් අවබෝධ කර ගන්නට විවිධ තැන් හී සිට මෙවර එකතු වී සිටින පිරිසට අත්දැකීමෙන් හැකියාව තිබිය යුතුය.
ජාතික සංචිතයක් ඇති කිරීම වගේම ඒ සඳහා තෝරා ගත් සීමිත පිරිසකට පුහුණුකරුවන් කිහිප දෙනෙකුට (විදේශිය විශේෂඥ පුහුණුකරුවෙක් ඇතුළු පරිපාලන කණ්ඩායමකට) ස්වාධිනව සිය කටයුතු කරගෙන යාම සඳහා බලය පැවරීම මේ අවස්ථාවේ සිඳු විය යුතුව ඇත.අප ජාත්‍යන්තර වශයෙන් මේ මොහොතට අදාළව ශ්‍රී ලංකාව රඳවන්නේ කුමන තැනකද යන්න වඩා වැදගත් බව තේරුම් ගැනීම වැදගත්ය.බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නිරත සියල්ල එක පවුලක් කිරීමේ පිතෘ මැදිහත්වීම පරිපාලනය සඳහා විවිධ පිරිස් එකතු කර ගත් ආකාරයෙන්ම කළ හැකිනම් රොහාන් ද සිල්වා සම්බන්ධයෙන් පුද්ගල ප්‍රශංසා නො’ගැලුවද බැඩ්මින්ටන් ඉතිහාසය තුළ යහපත් පාලනයක ලකුණක් ලෙස නම යළි යළිත් පුනරුච්ඡාරණය වනු ඇත.
වඩා වැදගත් තමා විසින්ම තමාව හැදෑරීම වන තත්ත්වයකට බැඩ්මින්ටන් නායකත්වය පැමිණෙන්නේනම් අතිශයින් සාර්ථක ව්‍යාපාරිකයෙකු වන රොහාන් ද සිල්වා ට ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ජාත්‍යන්තර තලයේ සළකුණක් කරන්නට අවශ්‍ය මඟ පෙන්වීම දිය හැකිව ඇත.ඒ සඳහා මෙවර පත් වී ඇති සියලු නිලධාරීන් එක පොකුරකට එකතු කරගෙන පිහාටු මල මේ කොදෙව්වෙන් එපිට ජාත්‍යන්තරයේ කීර්තිමත් ඉසව්වකට පියඹවාලන්නට අපි සුබ පතන අතර පහත දැක්වෙන්නේ නව නිලධාරි මණ්ඩලය ය.
සභාපති – රොහාන් ද සිල්වා
උප සභාපතිවරු – දිනේෂ් ජයවර්ධන,රොෂාන් ප්‍රනාන්දු,බුද්ධික ද සිල්වා,චාමර අලුත්ගේ,මොහාන් විජේසිංහ,අලියාර් ෆයිසර්,
ලේකම් – අජිත් විජේසිංහ
උප ලේකම්වරු -ජාලිය ජයසේකර සහ ඩබ්ලිව්.පී.ජී.පුංචිහේවා
භාණ්ඩාගාරික – මංගල ගමගේ
උප භාණ්ඩාගාරිකවරු – ආර්.එම්.එස්.ජී.රත්නායක සහ රේණු චන්ද්රික් ද සිල්වා

සටහන- නිෂ්මං රණසිංහ
