නව විදුලි බල පනතට CEBEU විරෝධය.ජනවරමක් නැති ප්‍රතිසංස්කරණයක්!

0
138

කොළඹ LNW:අද (06) දින පාර්ලිමේන්තුවේ දෙවන වර කියවීමට නියමිත නව විදුලි බල පනත් කෙටුම්පතට විරෝධය දක්වමින් ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.

අමාත්‍යවරයා විසින් යෝජනා කර තිබෙන මෙම පනත රටට ප්‍රයෝජනයක් වනු ඇතැයි විශ්වාස නොකරන අතර එය රටටත් ජනතාවටත් අහිතකර වනු ඇති බවටයි ලංකා විදුලි බල;අ මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අවධාරණය කරන්නේ.

මෙම ප්‍රතිසංස්කරණ පනත කෙටුම්පතට පහසුකම් සලසා ගැනීම වෙනුවෙන් විශේෂයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින් සහ වෘත්තීය සමිති අඩපණ කිරීමට රජය හා අමාත්‍යවරයා කටයුතු කර ඇති බවටද එම නිවේදනයේ දක්වා තිබේ.

අත්‍යවශ්‍ය සේවා පනත යොදා ගෙන විරෝධතාවල නියැළුන පිරිස් සේවයෙන් නෙරපා හැරීමටද කටයුතු කළ ආකාරය එම නිවේදනයෙන් සිහිපත් කර ඇත.

පනත ඉදිරියට ගෙන යාමට නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ උපදෙස් ඇතුළත් කිරීම හැර වෙනත් විකල්පයක් රජයට නොමැති නමුත් එය ව්‍යවස්ථානුකූලභාවයට පමණක් සීමා වන අතර පනත් කෙටුම්පතේ සඳහන් ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් කිසිදු පාර්ශවකරුවන්ගේ සාකච්ජාවක්, සමාලෝචනයක් මෙතෙක් සිදුකර නැති බවද ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.

පනත් කෙටුම්පතේ සඳහන් පරිදි ඉහළ විදුලි මිලේ සිට ජාතික වත්කම් සහ සම්පත් විදේශිකයින්ට අඩු හෝ කිසිදු වියදමකින් තොරව පැවරීම තුළ රටට මෙන්ම ජනතාවටද බිහිසුණු බලපෑම් ඇතිකරන්නක් බවයි එම සංගමය තවදුරටත් පෙන්වාදෙන්නේ.

ඒ අනුව මෙම පනත් කෙටුම්පතට පක්ෂව ජන්දය දීම ඉතා බරපතල කරුණක් බවට ඔවුන් පාර්ලිමේන්තුවට අවධාරණය කරන අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේද මෙලෙස විදුලිය ප්‍රතිසංස්කරණය සඳහා ජන වරමක් නොමැති බවද ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරයි.

යෝජිත නව විදුලි බල පනත් කෙටුම්පතේ ඇතැම් කරුණු සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය හිමි විය යුතු අතර ඇතැම් කරුණු ජනමත විචාරණයකට ලක්කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙන අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ යෝජනා ඇතුළත් කරන්නේ නම් සරළ බහුතරයකින් සම්මත කළ හැකි බවට තීන්දු කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ