ඕනෑම පුරවැසියෙකුට මේ රටේ තමන් කැමති දේශපාලන ව්‍යාපාරයක් එක්ක එකතුවෙලා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස වැඩකරන්න ශුද්ධ වූ අයිතියක් තිබෙනවා – අනුර

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 09 , කොළඹ (LNW):

විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ජාතික සමුළුව අද (09) දින ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ පැවති අතර, එහිදී සභාව අමතමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ,පොලීසියේ වෘත්තීමය ගරුත්වය ආරක්ෂා කරන පාලනයක් ස්ථාපිත කරන බවයි.

ඔහු ඒ පිළිබඳ පැවසුවේ මෙවන් අදහසක්,

” මීට ප්‍රථම අපි ඔබ ලිප්ටන් වටරවුමේදී, කොටුව ස්ටේෂන් එක ඉදිරියේදී හමුවෙන්න ඇති. එදා අපි අත සටන් පාඨ පුවරුවක්. ඔබ අත සමහර විට බැටන් පොලු, කඳුළු ගෑස් තිබෙන්න ඇති. ඒ ඔබගේ රාජකාරිය. අද අපි මේ එකතු වි සිටින්නේ ඒ රාජකාරිය ඉක්මවා යන ලද යුතුකමක් වෙනුවෙනුයි; අපි ඉදිරියේ තිබෙන මේ රට වෙනස් කළ යුතුයි කියන අධිෂ්ඨානයෙන් යුතුවයි. ඔබගේ හමුවීම අපට විශාල ධෛර්යයක් හා විශ්වාසයක් ගෙනදෙනවා.

රවි සෙනෙවිරත්න මැතිතුමාට ආණ්ඩු පක්ෂයෙන් පමණක් නොවෙයි විපක්ෂයෙනුත් විශාල බලපෑමක් ආවා. ආණ්ඩුව සහ විපක්ෂය යන කණ්ඩායම් දෙකම, එතුමාට වෙලාවක මිත්‍රශීලිත්වයෙන්, විටෙක ආයාචනාවක ස්වභාවයෙන්, තවත් විටෙක තර්ජනාත්මකව මේ වේදිකාවට ගොඩවෙන්න එපා කියා තිබෙනවා. එපමණක් නොවෙයි මේ වන විටත් එතුමා පිළිබඳ අභූත චෝදනා ඉදිරිපත් කරමින් පරීක්ෂණ සිදුකරමින් සිටිනවා. මේ වේදිකාවේ ඉඳගෙන මම සාගල රත්නායකට කියනවා ඔබේ කැත වැඩේ නතර කරන්න කියා. ඕනෑම පුරවැසියෙකුට මේ රටේ තමන් කැමති දේශපාලන ව්‍යාපාරයක් එක්ක එකතුවෙලා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස වැඩකරන්න ශුද්ධ වූ අයිතියක් තිබෙනවා. ඒ කිසිම දේකට සාගලගේ හෝ සජිත්ගේ කැමැත්ත අකමැත්ත අවශ්‍ය නැහැ.

රවි සෙනෙවිරත්න මහත්මා යනු අපේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමායි. ශානි අබේසේකර යනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි අධ්‍යක්ෂවරයායි. ඒ නිසා මේ පක්ෂ දෙකේම පැටිකිරිය හොඳට ඒ අය දන්නවා. මේ තර්ජනය පිටුපස තිබෙන්නේ එයයි. ඒ කිසිදු තර්ජනයකට බිය නොවී, පලා නොයා ඔවුන් මේ වේදිකාවට ගොඩවී සිටිනවා. මේ රටේ ජනතාව ආමන්ත්‍රණය කර, ඔවුන්ට තිබෙන අත්දැකීම්වලින් අපේ රටේ නීතියේ විධානයේ ආධිපත්‍යයට කවරක්ද සිදුවෙලා තිබෙන්නේ කියා රටේ ජනතාවට හඬනඟා කියා තිබෙනවා. ඔවුන් නිර්භීත මිනිස්සු. කියනවා පමණක් නොවෙයි මේ තත්වය වෙනස් කිරීම සඳහා සක්‍රීය ලෙස මැදිහත්වීම සඳහා සපථකොට තිබෙනවා.

බොහෝ අය අපෙන් අහනවා, ඕගොල්ලන්ගේ ආණ්ඩුවක් ආවාම කරන්නේ කවුද කියා. අපේ පාලනයකදී නීතියේ විධානයේ ආධිපත්‍ය නිසි පරිදි තහවුරු කරන්නේ මේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉතාමත්ම නීතිගරුකව වැඩ කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අත්දැකීම්, උපදේශ, මැදිහත්වීම් මගින් බව මම ප්‍රකාශ කරනවා. මේ රටට, අපේ පුරවැසියන්ට ඇති වී තිබෙන ප්‍රතිවිපාක අපි හැමෝම අත්විඳිමින් ඉන්නවා. දිගු ඉතිහාසයකට නොගොස් මේ අවුරුදු දෙක තුන දෙස බැලුවත් රටට, පුරවැසියන්ට සිදුවී තිබෙන්නේ කුමක්ද යන්න වැටහෙනවා. ණය ගෙවා ගන්න බැරිව බංකොලොත් වුණු රාජ්‍යයක්. ඉස්පිරිතාලෙට බෙහෙත් පෙත්ත ලබාදෙන්න බැරි වුණු රාජ්‍යයක්. අපි ඉදිරියේ තිබෙන්නේ, දරුවන්ට නිසි පරිදි අධ්‍යාපනයක් ලබාදෙන්න බැරිවුණු, ආදායම් සහිත රැකියාවක් නිර්මාණය කරන්න බැරි වුණු, අපරාධකරුවන්ගේ සහ දූෂිතයන්ගේ ග්‍රහණයට යටත් වුණු, රාජ්‍යයක්. මේකෙ ප්‍රතිවිපාක මුළු මහත් සමාජයම අත්විඳිමින් තිබෙනවා. මෙය වෙනස් කළ යුතුයි”

ලෙස පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...