ජනපති අනුරගේ පොසොන් පොහෝ දින පණිවිඩය

Date:

පොසොන් පොහොය ශ්‍රී ලංකේය අප⁣ට සුවිශේෂී වු සිදුවීම් සමුදායක් සිදු වූ වැදගත් දිනයකි. ථෙරවාද බෞද්ධ දර්ශනයේ හා සම්ප්‍රදායේ කේන්ද්‍රස්ථානයක් බවට අපේ රට පත් වීමේ ආරම්භය සනිටුහන් වුයේ අනුබුදු මිහිදු හිමියන්ගේ ලංකාගමනය සිදු වු ඒ අසිරිමත් පොසොන් පොහොය දිනයේදීය.

සමාජ පරිවර්තනයක් සමඟ අධ්‍යාත්මික ප්‍රබෝධයක් ජනිත කිරීමට හේතු වූ එම අසිරිමත් සිදුවීම හුදු ආගමික අර්ථයෙන් ඔබ්බට ගිය අප රටෙහි සංස්කෘතික, සමාජයීය හා දේශපාලනික ආදී සෑම අංශයකම වඩා දියුණු සැකැස්මක් නිර්මාණය කිරීමට සමත් විය. බුදු දහම හා බැඳුණු ජීවන රටාවකට මඟ පාදමින් සාරධර්මවලින් පොහොසත් ජන සමාජයක් බිහි වීමටද එය හේතුවක් විය.

එසේම, තිස්ස නිරිඳු අතින් දුනු හී ගිලිහීමෙන් සංකේතවත් වන්නේ පාලකයා සහ ජනතාව හිංසාව ඉවත ලා අවිහිංසාව වැළඳ ගැනීමයි. පොසොන් පොහොය දිනයෙන් ප්‍රකට කෙරෙන වටිනාකම් තුළ ඉස්මතු කර දැක්විය යුතු මහඟු ගුණාංගයක් වන්නේ අවිහිංසාවයි. විශේෂයෙන්ම මුළුමහත් ලෝකයම විවිධ මට්ටම්වලින් හිංසාවෙන් පීඩාවට පත්ව සිටින වත්මනෙහි අවිහිංසාව යනු තමන්ගේද, අනෙකාගේද ජීවන නිදහස හා අයිතිය සුරක්ෂිත කරන සනාතන වටිනාකමක් ලෙස සියලු හදවත්හි රඳවා ගත යුත්තකි; උගත යුතු හැසිරීමකි. එබැවින් පොසොන් පොහොය දිනයෙන් මූර්තිමත් වන අවිහිංසාවෙහි අගය වඩාත්ම දැනෙනුයේ අදටය.

අනුබුදු මිහිදු හිමියන් මෙරටට දායාද කළ උතුම් බුදු දහමේ තැනෙක “සරු දෙය සරු ලෙසත්, නිසරු දෙය නිසරු ලෙසත්” දැකිය යුතු බව කියවේ. අවශ්‍ය වන්නේ එම චින්තනය දරාගත් ශිෂ්ටසම්පන්න සහ වගකීම් සහගත මිනිසුන්ය. එම සමාජය නැවත ලක් පොළොව මත ප්‍රතිෂ්ඨාපනය කරමින් රටට ඇවැසි ආචාරධාර්මික, සමාජයීය සහ පාරිසරික වශයෙන් නව ආකල්ප සහිත නූතන ශිෂ්ටසම්පන්න රාජ්‍යය ගොඩනැඟීමේ පරම වගකීම අප දෙවුර මත පැට වී තිබේ.

අප ප්‍රාර්ථනා කරන සමාජ, ආර්ථික සහ දේශපාලන පරිවර්තනය යථාර්ථයක් කර ගත හැක්කේ එම ශිෂ්ටසම්පන්න සමාජය ගොඩනැඟීමෙන් පමණක් බව මම තරයේ විශ්වාස කරමි. එම සාමුහික ප්‍රයත්නය වෙනුවෙන් සියලුදෙනා එකාවන්ව පෙළ ගැසෙමු’යි මෙම පොසොන් පොහොය දිනයේදී ඔබ සියලුදෙනාට ආරාධනා කරමි.

ලක්වාසී සැමගේ සිත්සතන් ධර්මාවබෝධයෙන් ආලෝකවත් වන පින්බර පොසොන් පොහොය දිනයක් වේවා!

අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2025 ජූනි 10

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොමසාරිස්වරිය කළේ බලහත්කාරකමක්.අපි කවදාහරි කොමසාරිස්තුමියව නීතිය ඉදිරියට ගේනවා – මුජිබර් (VIDEO)

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත් කරගැනීමේදී බස්නාහිර...

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සියලු හිමිකම් ඇවිරිණ මඟින් සියලු හිමිකම් පවරන මොහොත ජූනි 19 දා ලුම්බිණියේදී

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: සංජක ප්‍රසාද් දොලේවත්ත මේ...

කෙහෙළිය, බිරිඳ සහ දියණිය බන්ධනාගාරයට රැගෙන යයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම විසින් අත් අඩංගුවට ගෙන...