*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

අගමැති රනිල්ගේ මාසයක ප්‍රගති වාර්තාව ….

රනිල් වික්‍රමසිංහ මහතා මෙවර රටේ අග්‍රාමාත්‍ය ධුරයට පත්ව අදට (12) මාසයක් සපිරේ.

දේශපාලන පක්ෂයක් මහමැතිවරණයකදී දරුණු පරාජයකට මුහුණ දී, එයින් ලැබුණු එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තු පැමිණ වසර දෙකකටත් අඩු කාලයක් තුළ තනි මන්ත්‍රීවරයකු වශයෙන් අග්‍රාමාත්‍ය ධුරය ද ලබාගත් ලොව එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා විය යුතුය. ඒ අනුව එය ඔහුගේත් ඔහුගේ පක්ෂයේත් දැවැන්ත ජයග්‍රහණයක් බව අවිවාදිත ය.

කෙසේවෙතත් ප්‍රශ්නය ඇත්තේ ගතවූ මාසයක කාලය තුළ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකිරීමට වික්‍රමසිංහ මහතා සමත්ව ඇතිද යන්නෙහිය.

අගමැති තනතුරේ දිවුරුම් දීමෙන් අනතුරුව පැය කිහිපයක් තුළ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබුණේ තමන් බලයට පැමිණියේ ජනතාවට තුන්වේල ආහාර ගැනීමට හැකි වටපිටාවක් නිර්මාණයක් කිරීමට බවයි. නමුත් ඒ මහතාම දැන් කියමින් සිටින්නේ රටේ ආර්ථික අවපාතය දරුණු බැවින් ඉදිරියේදී ජනතාවට වේල් දෙකකින් පිරිමසාගැනීමට සිදුවනු ඇති බවකි.

වික්‍රමසිංහ මහතා බලයට පත්වූ සැණින් ඉන්ධන සහ ගෑස් පෝලිම් අවසන් කරන බවක් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා කලකට පෙර මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි. ඇත්තෙන්ම වික්‍රමසිංහ මහතා බලයට පැමිණ සිය ජාත්‍යන්තර සබඳතා උපයෝගී කරගෙන බලශක්ති අර්බුදයට විසඳුමක් ලබාදෙනු ඇති බවක් ජනතාව ද විශ්වාස කළහ. නමුත් දැන් සිදුව ඇත්තේ ගෑස් නොමැති බැවින් පෝලිම්වල රැඳී නොසිටින ලෙස ගෑස් සමාගම දිනපතා නිවේදන නිකුත් කිරීමත් ඉන්ධන හිඟය නිසා රජයේ කාර්යාලවලට සේවකයින් කැඳවීම අඩුකිරීමත් පාසල් පැවැත්වෙන දින ගණන අඩුකිරීම පිළිබඳව පවා සාකච්ඡා ඇතිවීමත් ය.

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ කාරණය ගැන කතාකිරීමේදී ඇත්තෙන්ම වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය ලැබුණේමත් ඔහු සතු ජාත්‍යන්තර සබඳතා භාවිතා කරමින් වත්මන් ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට ඔහුට හැකියාවක් ඇතැයි රට පුරා පොදුවේ පැතිර තිබුණු මතය නිසා ය. එහෙත් දැනට මාසයක් ගතව ඇතත් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර සබඳතා වැඩකරන ආකාරයක් පෙනෙන්නටවත් නොමැති බව ජනතාවගේ මතය වී තිබේ. වික්‍රමසිංහ මහතා බලයට පැමිණි පසු රටේ විදේශ සංචිත ශක්තිමත් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 5ක පමණ මුදලක් ජාත්‍යන්තරයෙන් ලබාගනු ඇතැයි පුවත් පැතිරගොස් තිබුණත් එවැන්නක් සිදුවන බවට ලකුණක් හෝ මෙතෙක් පහළ වී නැත.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවිධ පක්ෂවල මන්ත්‍රීවරුන් එකතු කරගෙන ශක්තිමත් ආණ්ඩුවක් නිර්මාණය කර, රටේ පවතින දේශපාලන අස්ථාවරභාවය අවසන් කරනු ඇතැයි ජනතාව බලාපොරොත්තුවෙන් සිටිය ද එයත් ඉටුවන බවක් පෙනෙන්නට නැත. ඇත්තෙන්ම කිවහොත් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්ව මාසයක් ගතවී ඇතත් තවමත් කැබිනට් මණ්ඩලය හෝ සම්පූර්ණයෙන් පත්කර ගැනීමට ඔහුට නොහැකි වී ඇත. ආණ්ඩුව තුළ තියුණු කඹ ඇදීමේ තත්වයක් ද ජනතාවට නොපෙනෙනවා නොවේ.

මීට අමතරව රටේ පවතින අධික උද්ධමනය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාවට සහන ලබාදෙන බවට ද ඒ මහතා පොරොන්දු වුණේය. ඒ මහතා ප්‍රකාශ කළේ නව අයවැයක් ගෙනැවිත් එම සහන ලබාදෙන බවකි. එහෙත් මේ වනවිට පාර්ලිමේන්තුව යනු නිවාස අහිමිවූ මන්ත්‍රීවරුන්ගේ දුක් අඳෝනා ගැයෙන තැනක් වශයෙනුත් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ කතා සාප්පුවකුත් පමණක්ම මිස ජනතාව මුහුණ පා සිටින ප්‍රශ්න ගැන කතාවට හෝ භාජනය නොවන තැනක් බවට පත්ව ඇතිය යන්න ජනතාවට නිරීක්ෂණය වෙමින් තිබේ.

පසුගිය මැයි 09 වෙනිදා ජනතාව අතරින් පුපුරා ගියේ පසුගිය වසර දෙකක් පමණ තිස්සේ ඔවුන්ව පෙළන ලද අපේක්ෂාභංගත්වයේ ප්‍රකාශනයයි. එය දේශපාලකයින්ට ක්ෂිතිමය අත්දැකීමක් බව ඇත්තය. එහෙත් ජනතාවට වුවමනා වී ඇත්තේ ඔවුන්ගේ අඳෝනාවලට සවන්දෙමින් ඔවුන් වෙනුවෙන් දුක්වීමට නොව තමන් ඉදිරියේ ඇති දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාගැනීමට ය.

රනිල් වික්‍රමසිංහ මහතා යනු සුපර්මෑන් කෙනෙක් නොවන බවත් ඔහුට මේ ප්‍රශ්න එක දවසෙන් විසඳිය නොහැකි බවත් ජනතාව දනී. ඔවුන්ට ඒ සම්බන්ධයෙන් ආරෝවකුත් නැත. අවම වශයෙන් තවමත් නැත. එහෙත් ජනතාව පුලපුලා බලාසිටින්නේ තමන්ගේ දැවෙන ප්‍රශ්න විසඳෙන බවට අපේක්ෂාවක් හෝ ඔහු ලබාදෙන තෙක් ය. එසේවෙතත් ගතවූ මාසයක කාලය තුළ වික්‍රමසිංහ මහතාත් ජනතාවට ලබාදී ඇත්තේ ඉදිරියේදී ප්‍රශ්න තවත් වැඩිවනු ඇති බවට අනතුරු හැඟවීම් පමණි. අර්බුදයෙන් ගොඩ ඒම සම්බන්ධයෙන් එහි කිසිදු අපේක්ෂාවක් නැත.

ඒ අනුව ජනතාව යළිත් අපේක්ෂාභංගත්වයේ අන්තයක් දක්වා තල්ලුවීම වළක්වා ගැනීමේ වගකීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ තිබේ. ඒ සඳහා සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමවේදවලින් බැහැරව අධිවේගයෙන් ක්‍රියාත්මක වීමේ වගකීමත් ඒ මහතා හමුවේ තිබේ. සාමාන්‍යයෙන් ඡන්දයකින් බලයට පැමිණි ආණ්ඩුවක අගමැතිවරයෙකුට නම් වසර පහක කාලයක් හිමිවන අතර ජනතාව පවා වසරක් දෙකක් යනතුරු ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය ප්‍රශ්න කිරීමට යන්නේ නැත. එහෙත් වත්මන් ආණ්ඩුව එවැන්නක් නොවන අතර රටක් වශයෙන් අප සිටින්නේ ද සාමාන්‍ය තත්වයක නොවේ. එහෙයින් පවතින තත්වය මනාව අවබෝධ කරගෙන ක්ෂණික ක්‍රියාකාරීත්වයක් නොපෙන්වුවහොත් වික්‍රමසිංහ මහතාගේ 6 වැනි අග්‍රාමාත්‍ය ධුර කාලය කොතරම් කෙටිවේවිද යන්න ඔහුටම දැකගත හැකි වනු ඇත.

වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ඉතිහාසය දෙස බැලීමේදී මනාව පෙන්නුම් කෙරෙන ලක්ෂණයක් වන්නේ ඒ මහතා බලය අල්ලා ගැනීමට දක්ෂ වුවත් බලය රඳවාගැනීමට දක්ෂ වී නොමැති බවයි. ඒ අනුව ඒ ඉතිහාසය යළිත් සිදුනොවන්නට ඔහුම වගබලා ගතයුතුව ඇත. එය හෙට නොව අදම ආරම්භ කළ යුතුව ඇත.

  • දර්ශන වීරසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan