රෂිකා හෙන්නායක ජූනි 14, කොළඹ LNW :
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 37ක විශිෂ්ට ජයක් වාර්තා කරයි.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කමිල් මිෂාර සහ දසුන් ශානක අර්ධ ශතක රැස්කරමින් සිය කණ්ඩායම ශක්තිමත් ලකුණු සංඛ්‍යාවක් කරා මෙහෙයවූහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායමට දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංගගේ දක්ෂ පන්දු යැවීම හමුවේ නියමිත ඉලක්කය සපුරා ගැනීමට නොහැකි විය. මෙම තීරණාත්මක ජයග්‍රහණයත් සමඟ දෙපිළ අතර පැවැත්වෙන තරගාවලිය එකට එකක් ලෙස සම තත්ත්වයට පත්ව ඇත.
මේ අනුව, ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද දැක්වූ සමබර දක්ෂතාව මෙම සාර්ථකත්වයට මූලික පදනම විය.
තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ නායක ශායි හෝප් ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය කළ අතර, පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 194කි. එහිදී දසුන් ශානක පන්දු 24ක් තුළ වේගවත් ලකුණු 58ක් ලබාගත්තේය. මිෂාර ලකුණු 60ක් ලබාගැනීමට සමත් විය. පන්දුයැවීමේදී ශමර් ජෝසප් කඩුලු 03ක් සහ මැතිව් ෆෝර්ඩ් කඩුලු 02ක් දවාගත්තහ. ජයග්‍රහණය සඳහා ලකුණු 195ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 18.1ක් තුළ සියලු දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 157ක් පමණය.එහිදී රොමන් පවෙල් ලකුණු 43ක් සහ ශිම්රොන් හේට්මයර් ලකුණු 36ක් ලබාගත්තහ. පන්දුයැවීමේදී දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග කඩුලු තුන බැගින් දවාගත්තහ. තවදුරටත් තරග ජයග්‍රහණය සමඟ තරග දෙකකින් සමන්විත තරගාවලිය පසුවන්නේ එකට එකක් ලෙස සම තත්ත්වයේයි.


