රාජ්‍ය සම්මාන දිනූ කෙටිකතාවක ඉංග්‍රීසි පරිවර්තනය හිමාල් ෆික්ශන් ෆෙස්ට් 2026 හිදී ජයග්‍රහණය ලබයි!

කොළඹ LNW:පියල් කාරියවසම්ගේ ‘ආචාරිසීයා දුටු දිදුලන අන්ධකාරය’ කෙටිකතාවේ ‘The Scintillating Darkness Sighted by the Aged Blacksmith’ නම් වූ ගයා නාගහවත්තගේ පරිවර්තනය, හිමාල් ෆික්ශන් ෆෙස්ට් 2026 (Himal Fiction Fest – හිමාල් සාහිත්‍ය උළෙල) හිදී ජයග්‍රාහී කතාවක් ලෙස නම් කෙරේ. මෙහි සිංහල මුල් කතාව කාරියවසම්ගේ තෙවන කෙටිකතා සංග්‍රහය වන ආචාරිසීයා දුටු දිදුලන අන්ධකාරය ප්‍රබන්ධ කෘතියේ අඩංගු මුඛ්‍ය කතාවක් වන අතර, එය ගොඩගේ ප්‍රකාශනයක් ලෙස 2008 දී එළිදැක්විණ.

එය එකල පැවති සියලුම ප්‍රධාන සම්මාන ලැබූ කෙටිකතා සංග්‍රහය විය. මාර්ගගත හිමාල් සාහිත්‍ය උළෙල ජූනි 8 වන දින ආරම්භ වූ අතර දකුණු ආසියාතික භාෂා වල විවිධත්වය මනාව කියාපාන ඉංග්‍රීසි පරිවර්තන හයක් මේ තරඟාවලියේ සම සම්මානයට හිමිකම් කියමින් ජූනි 19 දින දක්වා අදියර
වශයෙන් හිමාල් වෙබ් අඩවියේ පළ වේ.

හිමාල් සවුත්ඒෂියන් යනු දකුණු ආසියාවේ ප්‍රථම හා එකම කලාපීය දේශපාලන හා සංස්කෘතික සඟරාවයි. එය විවිධ අංශ සහ ප්‍රභේද කෙරෙහි අවධානය යොමු කරමින් කලින් කලට සාහිත්‍ය උළෙල පවත්වන අතර, මෙවර හිමාල් සඟරාවේ 39 වන සංවත්සර සැමරුමත් සමඟ අවධානය යොමු වූයේ “දකුණු ආසියාතික භාෂාවකින් නව හෝ පැරණි ප්‍රබන්ධ කෘති ඉංග්‍රීසියට පරිවර්තනය කිරීම” කෙරෙහිය.

ගයා නාගහවත්තගේ ඉංග්‍රීසි පරිවර්තනය, සිංහල භාෂාවෙන් ලියවුනු මුල් වියමන මුල් කරගනිමින් සිදු වූ අතර,සම සම්මාන ලැබූ අනෙක් ප්‍රබන්ධ කතා පහ කාශ්මීරි, ගුජරාටි, තෙළිඟු, දමිල, සහ බලෝචි යන භාෂාවලින් ලියවුණු කතා වල ඉංග්‍රීසි පරිවර්තන වලට හිමි විය. ශ්‍රී ලංකාවෙන් තේරුණු එකම කතාව ‘ආචාරිසීයා දුටු දිදුලන අන්ධකාරය’ වේ. සියලුම ජයග්‍රාහී පරිවර්තන හිමාල් වෙබ් අඩවියෙන් (himalmag.com/tag/himal-fiction-fest-2026/) පාඨකයන්ට කියවිය හැක.

පියල් කාරියවසම්ගේ ආචාරිසීයා දුටු දිදුලන අන්ධකාරය කෘතිය 2008 දී හොඳම කෙටිකතා සංග්‍රහය සඳහා රාජ්‍ය සම්මානය, විද්‍යෝදය සාහිත්‍ය උළෙල සම්මානය, සහ ගොඩගේ ප්‍රකාශන සම්මානය යන සම්මාන ත්‍රිත්වයම දිනා ගත් කෙටි කතා සංග්‍රහය විය.

එම ග්‍රන්ථයේ ඇති ‘ආචාරිසීයා දුටු දිදුලන අන්ධකාරය’ කෙටිකතාව ආරම්භ වන්නේ තරුණ මළසිරුරක් වැව් තාවුල්ලේ ඇති කැළඹිලි සහගත දර්ශනයකිනි.
රාජ්‍ය බලසේනා සමග සන්නද්ධ සටනකදී තරුණ විප්වලවාදීන් මහළු ආචාරියෙකුගෙන් ලබා ගන්නා පන්නරයත් අනාගතය පිළිබඳ යම් හෝඩුවාවකුත් ඒ කතාවේ ගැබ් වේ.

මර්දනකාරී රාජ්‍ය බලවේග මැද නිහඬව වැලපෙන ගම්වැසියන් මෙන්ම, තරුණ පරපුරේ ඔරොත්තු දීමේ ශක්තිය සහ පරම්පරා ගණනාවක් හරහා ගම්වැසියන්ගේ එකමුතුකම තවත් අයුරකින් ඒ කතාවෙන් ගවේශනය කෙරේ.

පියල් කාරියවසම් ලේඛකයෙක් සහ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වන අතර, සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකි. ඔහු ප්‍රබන්ධ කෘති හයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, වේදිකා නාට්‍ය පහකට වැඩි ගණනක් රචනා කර ඇත. චිත්‍රපටි හා රූපවාහිනී ක්ෂේත්‍රවලද ඔහු කටයුතු කරයි. ඔහු කතා රචනය සහ නාට්‍යකරණය සඳහා ජාතික සම්මාන 14 කට වඩා දිනා ඇත. පියල් කාරියවසම්ගේ නවතම (පස්වන) කෙටිකතා සංග්‍රහය රිදී රැයකි කළු දිවියෙකි නමින් 2025 දෙසැම්බර් මස සරසවි ප්‍රකාශනයක් ලෙස එලිදැක්විණි.

ගයා නාගහවත්ත ශ්‍රී ලාංකික පරිවර්තකයෙක්, සංස්කාරකවරයෙක් සහ ශ්‍රව්‍ය-දෘශ්‍ය කලා සම්බන්ධයෙන් කටයුතු කරන්නෙකි. ගයාගේ ලේඛන දේශීය අවකාශයේ මෙන්ම, adda, Literary Shanghai, සහ SAARC ප්‍රකාශන ඇතුලු විවිධ ප්‍රකාශන අවකාශ ඔස්සේ පළවී ඇත. Rowayat සාහිත්‍ය වෙබ් අඩවියේ සංස්කාරකවරයෙක් ලෙස කටයුතු කර ඇති ඇය, සමකාලීන ලෝක සාහිත්‍ය හඳුන්වාදීමට පකිස්තානයේ ‘Avaaz’ නම් මාර්ගගත තීරුව විසින් දියත් කොට ඇති වැඩසටහනට ශ්‍රී ලාංකික සාහිත්‍ය සම්බන්ධයෙන් කලාපයක් ගොනු කළාය.

Island Tongues: The Coexisting Literary Voices of Sri Lanka යනුවෙන් නම් කෙරුනු එම කලාපයේ (lakeermag.com/avaaz-sinhala-tamil-eng/) ඇය තේරූ සිංහල හා දෙමළ සාහිත්‍ය නිර්මාන සමුච්චයක් ඉංග්‍රීසි බස ඔස්සේ උර්දු, පන්ජාබි ඇතුලු පකිස්තානු භාෂාවන්ට පරිවර්තනය වී, 2026 අප්‍රේල් මාසයේදී පළ කෙරිණි. ජූනි මස පැවැත්වෙන හිමාල් ෆික්ශන් ෆෙස්ට් 2026 දී ඇය ලැබූ ජයග්‍රහණය, දේශීය සාහිත්‍ය ජාත්‍යන්තර තලයට ගෙන යාමට ඇගේ දායකත්වයේ ඊලඟ පියවරකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...