ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:රටේ පවතින ආර්ථික තත්ත්වය මත ඉන්ධන සහනාධාරය ඉවත් කිරීමට මැදිහත් නොවන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටි බව හිටපු අමාත්‍යවරයෙක් වූ මහාචාර්ය ජී.එල්.පීරිස් පවසයි.
ඔහු පවසන්නේ ඉන්ධන සහනාධාරය ඉවත් කළහොත් ජනතාවට ජීවත් විය නොහැකි තත්ත්වයට පත්වන බවයි. ඉන්ධන මිල ඉහළ යාම තවදුරටත් මෙරට ජනතාවට දරාගත නොහැකි බව පෙන්වා දුන් බවයි ඔහු සදහන් කරන්නේ.
”අපේ ජනතාවට මේ පීඩනය දරාගන්න බැහැ. ඉන්ධන සම්බන්ධයෙන් සියලුම සහනාධාර ඉවත් කළොත් ඒකෙ ප්‍රතඵල අතිශයින් දරුණුයි. ඩිසල් මිල දළ වශයෙන් 42%ක් විතර වැඩි වෙනවා ලයිට් බිල 10%ක් විතර වැඩි එනවා. ඒ අතර ඖෂධ මිලත් තව ඉහළ යනවා. ලෝක ආහාර වැඩසටහන කියන විදිහට මේ රටේ ජනගහණයෙන් මිලියන 6කට දවසකට එක පෝෂ්‍යදායි ආහාරයක් තමන්ගේ දරුවන්ට ලබාදීමට හැකියාව නැහැ කියල. ලෝක බැංකුව කියනවා අද වෙද්දී දරිද්‍රතාවයේ මට්ටම 24.5%ක් කියල. ඒ කියන්නේ හතරෙන් එකක් දිළිඳු ගණයට වැටෙනවා. ඒ අය කියනවා ඉතාම ඉක්මණින් එය තුනෙන් එකට වැටෙනවා කියල. මෙහෙම තත්ත්වයක ඉන්ධන සහනාධාරය ඉවත් කලොත් ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා” යනුවෙන් ජී.එල්.පීරිස් මහතා කියාසිටියි.


