ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:පැහැරගෙන ගොස් අතුරුදහන් කළ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ නඩුව අද (19) පස්වන දිනට විශේෂ මහාධිකරණයේ කැඳවනු ලැබීය.
අද දින සාක්ෂි විමසීම සඳහා සාකෂිකරුවන් හතරදෙනෙක් කැඳවා තිබුණ අතර දෙදෙනෙකුගෙන් පමණක් සාක්ෂි ලබාගැනීම සිදුවිය.
සෙසු සාක්ෂිකරුවන් දෙදෙනා අධිකරණය විසින් නිදහස් කළ අතර අවශ්‍ය වුවහොත් කැඳවීමක් කරන බව දැනුම් දෙන ලදී.
මේ අතර නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම නඩුවේ 04 වෙනි සාක්ෂිකරු යළි කැඳවන ලෙස ඉල්ලා සිටි අතර ඊට විත්තිය පාර්ශවය විරුද්ධත්වය ප්‍රකාශ කළේය.
මෙම නඩුවේ 04 වෙනි සාක්ෂිකරු 2015 දී ලබා දුන් සාක්ෂියට පටහැනි සාක්ෂියක් 2023 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබේ.
ඒ අනුව එම සාක්ෂිකරු අගතියට පත් සක්ෂිකරුවෙක් ලෙස දක්වා විත්තිය විසින් ඔහුව යළි කැඳවීමට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත.
එහෙත් නීතිපති දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 439 වගන්තියට අනුව මෙම විශේෂ මහාධිකරණයට ඕනෑම සාක්ෂිකරුවෙක් නැවත කැඳවිය හැකි බවයි.
දෙපාර්ශවයේම කරුණු දැක්වීමෙන් අනතුරුව අධිකරණය ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවයි.
නැවත නඩුව එළඹෙන 26 වැනි දින කැඳවීමට නියෝග කළ අතර 67, 80, 105 යන සාක්ෂිකරුවන් සක්ෂි විමසීම සඳහා කැඳවීමට නොතිසි නිකුත් කරන ලෙසද නියෝග කළේය.
මෙහිදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ වන සන්ධ්‍ය එක්නැළිගොඩ මහත්මිය මාධ්‍ය වෙත අදහස් පළකිරීමක් කළාය.
ඇය පැවසුවේ මෙම නඩුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර සහ වත්මන් රජයේ දේශපාලන අවශ්‍යතා මත හැසිරවීමට උත්සහ දරන බවට විත්තියේ නීතිඥයින් අධිකරණයේදී පැහැදිලි කිරීමක් කළ බවයි.
එහෙත් ඇය පැවසුවේ පසුගිය ගෝඨාභය රාජපක්ෂ පාලන සමය තුළ සිදුකරන ලද මැදිහත්වීම් වත්මන් රජය මත පැටවීමට විත්තිය උත්සහයක් ගන්නා බවයි.
නඩුවට අදාළ සාක්ෂි විනාශ කිරීම් මෙන්ම සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම් සිදුවූයේ ගෝඨාභය රාජපක්ෂ පාලන සමය තුළ බව ඇය කියා සිටියාය.


