ලියන්නෙකුට සමාජයක් වෛර කරන්නේ ඇයි ?

Date:

ගත් කරුවෙක් වෛරයට ලක්වනුයේ ඇයි.?
ලියන්නෙකුට සමාජය වෛර කරන්නේ ඇයි.?

ඔහු හෝ ඇය ලියන්නෙ සුරංගනා කතා නම් පොඩි දරුවන් ආදරය කරාවි.. ඒ ලියනුයේ ආදර කතා නම්… ලොව වටා දහස් ගණන් තරුණ තරුණියන් ඔහුට රෝස මල් එවාවි… රහස් පරීක්ශක කතා… යුධ කතා හෝ අද්භූත කතා නම් ඔහු වටා රසිකයන් පොදි බඳීවි. ඔහුගේ සමරු අත්සන් ගන්න දහසක් දෙනා පොරකාවි.

දේශපාලනය හෝ අප‍රාධ ගැන ලියන්නෙකු නම් බොහෝ සතුරන් ඔහු වටා සැරි සරාවි… ඔහු ඉලක්කයක් බවට පත්වේවි. ඔහු ලියන්නේ බොරුවක් නම් සමාජය ටික කලකින් ඔහුව නොසලකා හරීවි.

ඇත්ත ලියන ලේඛකයා වටා ආදරණීයයන්ට වඩා සතුරන් රැස්වන බව අමුතුවෙන් කිව යුතුද.?

ආගම ගැන.. ඉතිහාසය ගැන වර්ණනා ලියන පුද්ගලයා ශුද්ධ වූ හෝ දේශප්‍රේමී ගත් කරුවෙකු වේවි. ඔහු ලියන්නේ ආගම් ගැන විවේචන නම් ඔහු සදාකාලික සතුරෙක් බවට පත්වේවි.

ආගමක් යනු මිනිසුන් යහ මගට ගැනීමට නිර්මාණය කල මාර්ගයක් නම් ඒ මාර්ගයේ යෑමට යුධ වදින්නේත්.. මිනී මරන්නේත්.. ගහ මරා ගන්නේත් ඇයි දැයි මට නොතේරේ. ආගමකින් මිනිසෙකුට ජීවිතය තෝරා දෙයි නම් ආගමේ නමින් තව කෙනෙකුට සාප කරනුයේ කෙසේදැයි ඇසිය නොයුතුද.? තම ආගමට බැඳීමට අකමැති පුද්ගලයා පව්කාරයෙකු ලෙස සලකා දඬුවම් දෙන්නේ කුමන දෙවියෙකුදැයි මට නොතේරේ.

සල්මන් රුශ්ඩි ඉපදෙන්නේ මුම්බායි නගරයේ ධනවත් ඉස්ලාම් ධර්මය අදහන පවුලක… එවැනි තරුණයෙකුට තමන්ගෙ ආගම ගැන ලියන්න ලෝකයෙන් අවසර ගත යුතුද.?. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගන්නා බුද්ධිමත් විචාරශීලී තරුණයෙකුට ආගම ගැන හෝ සමාජය ගැන ප්‍රශ්ණ කල නොහැකිද.?

1975 අවුරුද්දෙ ග්‍රිමුස් නව කතාව ලිව්වත් ලෝකය සල්මන් ගැන දැනගන්නෙ 1981 ලියවුනු මැදියම් රැයේ දරුවන් ( Midnight Children) නව කතාවත් සමගයි. 1983දී ලියවෙන ශේම් – ලැජ්ජාව( Shame) නවකතාවත් එක්ක මුස්ලිම් ලෝකයේ වෛරයට පාත්‍ර වන සල්මන් රශ්ඩි අන්තගාමී මුස්ලිම් වරුන්ගේ මරණ වරෙන්තුවට ලක්වෙන්නෙ සැටනික් වර්සස් ( The Satanic Veses) නව කතාව ලිවීමත් එක්ක. ඒ 1988 අවුරුද්ද.

එතන ඉඳන් තමන්ගෙ මව්බිම වන ඉන්දියාවට ඇතුල් වෙන්න සල්මන් රශ්ඩිට ඉඩ ලැබෙන්නෙ නෑ විතරක් නෙවේ රටින් රට ජීවත් වෙන්න සිද්ධ වෙන්නෙ වෙස් වලාගෙන. දකින දකින තැන ඝාතකයන් ලුහු බඳින්නෙ සල්මන් රශ්ඩි මිනී මැරුම් දහසක් කල පුද්ගලයෙකුගෙ තැනට පත් කරමින්.

හිට්ලර්ට… මුසොලිනීට… ඉඩි අමීන්ට වෛර නොකල තරම් සල්මන් රශ්ඩිට ලෝකයක් වෛර කිරීම තරම් විහිළුවක් තවත් තිබේද..?

ආධ්‍යාත්මික නායකයා යැයි පවසාගන්නා ඉරාන නායක අයතුල්ලා කුමෙයිනි විසින් මරණ දඬුවම පනවන්නට තරම් සල්මන් රශ්ඩිගේ අකුරු බලවත් බව දැකීම පුදුමාකාරය. රශ්ඩිව මරාගෙන මැරෙන්න තමන්ගෙ ජීවිතය පූජා කරන මිනිසුන් බිහි කරන්න තරම් රශ්ඩිගෙ වගන්ති තියුණුයි. අවුරුදු තිස් ගානකට පස්සෙත් අන්ධ ඇස් අවධි කරන්න තරම්… ගල් වුනු හදවත් වලට කතා කරන්න තරම් රශ්ඩිගෙ පොත බලවත්.

අවුරුදු එක්දාස් පන්සීයකට කලින් ලියවුනු පොතද… අවුරුදු තිහකට කලින් ලියවුනු පොතද වඩා බලවත් කියල කෙනෙකුට හිතෙන්නෙ නැද්ද.?

ආගම් වලද වරද තියෙන්නෙ… නැත්තං ඒ ආගම් වලින් සුරංගනා කතා මවාගන්නා සමාජය තුලද වරද තියෙන්නෙ කියල අහන්න හිතෙනව. සැබෑ ආගමක් නම් එය විකෘත්ති කල හැක්කේ කෙසේද..? සැබෑ දර්ශණයක් නම් එයට අපහාස කල හැක්කේ කෙසේද.?

තමන් ඉපදීමටත් පෙර ලියවුනු පොත් දෙකක් වෙනුවෙන් මිනී මරන්නට කෙනෙකු පෙලඹේ නම් එතුල ඇත්තේ අන්ධ අවිචාරශීලීත්වය මිස වෙන කිසිවක් නොවේද.?

යුදෙව්.. හිංදු.. ක්‍රිස්තියානි.. ඉස්ලාම් මේ හැම ආගමක් වෙනුවෙන්ම ඉතිහාසය පුරාම මිනිස්සු මරාගත්ත. අදහසක් වෙනුවෙන් .. විවේචනයක් වෙනුවෙන් මිනී මරන්න යුද්ධ කරන්න මිනිස්සු පොළඹවනව නම් මේ ආගම් හරහා නිර්මානය කරන ලෝකය ගැන ප්‍රශ්ණ නොකරම බැහැ.

බෞද්ධ ධර්මය අවිහිංසාවාදී කීවත්… පෙරහැරේ යන ඇතෙකු වෙනුවෙන් කතා කලත්..ජාන සම්භන්ධය විමසන… ජාතකය හොයන .. කකුල් කැඩියන් කියන… සාප කරන සමාජයක ඒ අවිහිංසාවාදී බව ප්‍රශ්ණ නොකරම බැහැ.
ඒ ආගම වෙනුවෙන් තවමත් යුද්ධ නොකරත් මේ බිහිවන අවිචාරශීලී අන්ධ සමාජයත් එක්ක නුදුරේදීම එය සිදුවිය නොහැකිද.?

මේ සෑම සිද්ධියකම ගැබ්ව ඇත්තේ බටහිර හෝ නැගෙනහිර බෙදීමක් නොව විචාරශීලීත්වය හා අන්ධ බව පිලිබඳ ගැටළුවකි.

වරද තියෙන්නේ ආගම තුලද… ඒ ආගම තුල අතරමං වූ මන්ද බුද්ධිකයන් තුලද…?

“මේ අකුරු කියවන කාට හෝ රිදෙනවා නම් එක්කො ඔබ ආගම තේරුම් අරගෙන නෑ.. නැත්තං ඔබේ ආගමේ වරදක් ඇති බව ඔබ තේරුම් ගත යුතුයි “

සල්මන් රශ්ඩි අමරණීයයි… රශ්ඩි යම් දවසක මරා දැමුවද ඔහු වෙනුවෙන් තවත් දහසක් ලේඛකයන් බිහි වේවි. සල්මන් රශ්ඩි වැනි ලේඛකයන් සමග සිට ගැනීමට දෙවරක් නොසිතමි.

~ Malcolm Sang

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුරුවරු බඳවා ගැනීම ගැන රජයේ තීරණය අලුත් වෙයි!

කොළඹ LNW:ඉදිරියේදී ගුරුවරු බඳවා ගැනීමේදී විෂයානුබද්ධව පමණක් බඳවාගැනීම් සිදුකරන...

හල්ලොලුවට ඇප:විදේශ ගමන් තහනමක්!

රෂිකා හෙන්නායක ජූනි 20, කොළඹ LNW : අද (20)...

තායි අගමැතිනිය ජාතියෙන් සමාව අයදියි

සටහන: සශිකලා මධුෂාණිජුනි 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ හිටපු අගමැති...

දේශබන්දුට එරෙහිව මහින්ද රාජපක්ෂ සාක්ෂි දෙයි !

දේශබන්දු තෙන්නකෝන් විසින් පොලිස්පති ධුරයෙහි බලය අවභාවිතා කිරීම සහ...