*
Friday, June 28, 2024
spot_img

Latest Posts

NPP පාලනයක් තුළ සැඟවුණු අපරාධ පිළිබඳ විමර්ශන සිදුකළ හැකි බවට විශ්වාසයක් අපට තිබෙනවා – හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න

විශ්‍රාමික පොලිස් සාමූහිකයේ විශේෂ මාධ්‍ය හමුව 2024.06.23 දින පැවැත්වුණු අතර, එහිදී හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා අදහස් දක්වනු ලැබීය.

ජනතා විමුක්ති පෙරමුණ 1994 සිට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ ප්‍රබල භූමිකාවක් ඉටුකරමින් සිටින බවත්, මෙම මාධ්‍ය හමුවට සහභාගීවී සිටින තිදෙනාම පොලිසියේ රාජකාරිය කරමින් සිටි අය බවද රවි සෙනෙවිරත්න මහතා කියා සිටියේය.

පසුගිය කාලය පුරා ජනතා විමුක්ති පෙරමුණ ඉතාමත් විනය ගරුක සාමකාමී මැතිවරණ ව්‍යාපාරයක නියැලී සිටි බවත් , එවැනි පිරිසක් සමග ජාතික ජන බලවේගය සමග එක්වී දේශපාලනය කිරීමේ පුරවැසි අයිතිය තිබෙන බවද කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,

” පසුගිය ජූනි 09 වැනි දින ඉතාමත් අයහපත් කාලගුණ තත්වයක් මධ්‍යයේ දුෂ්කර ප්‍රදේශවල සිට පවා පැමිණි විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මාලිමාවේ විශ්‍රාමික පොලිස් සාමූහකයේ ජාතික සමුළුව පැවැත්වූවා. අපි ඒ සූදානම් වූයේ අප මත පැවරී තිබෙන යුතුකමක් ඉටුකිරීමටයි. ඒ අවස්ථාවට සහභාගී වූ නිලධාරින් සමග යූ ටියුබ් නාලිකාවලින් කළ සාකච්ඡාවලදී අපේ අරමුණ ඉතා නිවැරදිව ප්‍රකාශ කර තිබෙනවා. පොදු අරමුණක් වෙනුවෙන් ඒකරාශී වූ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයක් මෙතන තිබෙන්නේ. එම සමුළුවෙන් පසුව විවිධ පුද්ගලයන් අපට අවලාද නගන්න පටන් ගත්තා.

ජනතා විමුක්ති පෙරමුණ 1994 සිට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ ප්‍රබල භූමිකාවක් ඉටුකරමින් සිටිනවා. මෙතනට සහභාගීවී සිටින තිදෙනාම පොලිසියේ රාජකාරිය කරමින් සිටි අයයි. පසුගිය කාලය පුරා ජනතා විමුක්ති පෙරමුණ ඉතාමත් විනය ගරුක සාමකාමී මැතිවරණ ව්‍යාපාරයක නියැලී සිටියා. එවැනි පිරිසක් සමග ජාතික ජන බලවේගය සමග එක්වී දේශපාලනය කිරීමේ පුරවැසි අයිතිය අපටත් තිබෙනවා. මෙයට පෙර විශ්‍රාමික පොලිස් නිලධාරීන් ගණනාවක් දේශපාලනයට අවතීර්ණ වී සිටියා. තුන්වෙනි විධායක ජනාධිපති ඩී.බී. විජේතුංග මහතා හිටපු පොලිස් කොස්තාපල්වරයෙක්. හිටපු අධ්‍යාපන ඇමතිවරයෙකු වන ඊරියගොල්ල මහතා පොලිස් පරීක්ෂකවරයෙක්. 1970 මුල් කාලයේ සිටි ආරක්ෂක නියෝජ්‍ය ඇමති ටී.බී. වේරගොඩ මහතා විශ්‍රාමික පොලිස්පතිවරයෙක්. ඒ නිසා අපි මේ සාමූහිකයට එකතු වීමත් අමුතු දෙයක් නොවෙයි. වර්තමාන පාර්ලිමේන්තුවේත් විශ්‍රාමික පොලිස් නිලධාරීන් ඉන්නවා. පටු අරමුණුවලින් කරන චෝදනා අපි ප්‍රතික්ෂේප කරනවා. විශේෂයෙන්ම ශානි අබේසේකර මහතාටත් මටත් හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා විශාල අවලාද ප්‍රමාණයක් නැගුවා. මාලිමාවේ පොලිස් සාමූහිකයට එක්වීම වසර 160ක් පැරණි පොලිස් සේවයට කළ අවමානයක් බව ඔහු සඳහන් කළා. අපි කළ අවමානය මොකක්දැයි මම අහනවා. ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ක්‍රියාත්මක කිරීමට අපි විශ්වාස කරන කණ්ඩායමක් සමග එක්වීමෙන් සිදු කළ අවමානය මොකක්ද? මහේෂ් සේනානායක මහතා එය පැහැදිලි කළොත් හොඳයි.

ඒ මහතා පොලීසිය ගැන එච්චරම කැක්කුමකින් කතා කරන කොට මට අහන්න දෙයක් තිබෙනවා. 1990 ජූනි 12වැනිදා ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් 600 දෙනෙක් තමන්ට ලැබුණු නියෝගයක් ක්‍රියාත්මක කර එල්.ටී.ටී.ඊ. සංවිධානයට යටත් වීමෙන් පසුව එක තැනම මරා දැම්මා. ඒ ක්‍රියාදාමය සිදු කළ නැගෙනහිර පළාතේ හිටපු නායකයන් දෙදෙනා වන කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් යන දෙදෙනා අද ඉන්නේ කොහේද? ඔවුන් නඩත්තු කිරීම, ආරක්ෂාව දීම, පඩිනඩි ගෙවීම හමුදා බුද්ධි අංශයේ කණ්ඩායමකින් සිදුකරන බව හෙළි වී තිබෙනවා. හමුදාපතිව සිටි මහේෂ් සේනානායක මහතාට මෙය අවමානයක් වෙන්නේ නැද්ද? පොලීසිය ගැන කැක්කුමකින් කතා කරන එයාට මේ ක්‍රියාව ආඩම්බරයක්ද?

ඔහු පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙනුත් ශානි අබේසේකර මහතාටත් මටත් බරපතළ චෝදනාවක් එල්ල කළා. පාස්කු ප්‍රහාරය එල්ල කරන්නේ ක්‍රියාදාමයක අවසන් ප්‍රතිඵලයක් ලෙසයි. විශේෂයෙන්ම 2018 නොවැම්බර් 30දා මඩකලපුව, වවුනතිව් පොලිස් මුරපොළේ සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කිරීම කඩඉමක්. ඒ පිළිබඳ පරීක්ෂණය මෙහෙය වූයේ ශානි අබේසේකර මහතායි. එවකට සිටි පොලිස්පති පූජිත ජයසුන්දර මහතාත් මමත් නියෝජ්‍ය පොලිස්පති සරත් පීරිස් මහත්මයාත් පසුදිනම එම ස්ථානයට ගියා. රාජ්‍ය බුද්ධි අංශයෙන්, විශේෂ කාර්යාංශයෙන් සහ යුද හමුදා බුද්ධි අංශයෙන් අපට දැනුම් දුන්නේ මේ ඝාතනය එල්.ටී.ටී.ඊ. හිටපු සාමාජිකයන්ගේ ක්‍රියාවක් බවයි. නමුත් සී.අයි.ඩී. එක ලැබී තිබෙන සාක්ෂි මත විවෘතව පරීක්ෂණ පැවැත්වූවා. අපට බුද්ධි අංශවලින් ලිඛිත වාර්තා ලබාදී හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ ක්‍රියාවක් බව දන්වා සිටියා. මේ ප්‍රහාරය පසුව කළ විමර්ශනවලදී එය සහරාන්ගේ කණ්ඩායමේ ක්‍රියාවක් බව හෙළිදරව් වුණා. අපරාධය කළ ස්ථානයට නුදුරින් ජැකට්ටුවක් තිබෙන බවට හමුදා බුද්ධි අංශවලින් ලැබුණු තොරතුර පරීක්ෂණ නොමග යවන්න සිදුකළ එකක් බව තහවුරු වුණා. විමර්ශන නොමඟ යවන්න ක්‍රියා කළේ ඇයි? විමර්ශන නොමඟ යවා පරීක්ෂණ කටයුතු නතර කරන්න කිසියම් කණ්ඩායමකට අවශ්‍ය වී තිබුණා. යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්, සී.අයි.ඩී. එක විතරක් නොවෙයි එවකට සිටි ජනාධිපතිවරයාටත් වැරදි තොරතුරු ලබාදී තිබුණා. මහේෂ් සේනානායක එවකට හමුදාපතිවරයා තමාට මෙම සිදුවීම හිටපු එල්ටීටී සාමාජිකයින් විසින් කළ දෙයක් යැයි කී බව මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පෞද්ගලික රූපවාහිනී නාලිකාවකදී කළ ප්‍රකාශයකින් තහවුරු වී තිබෙනවා. වවුනතිව් ප්‍රහාරයට සම්බන්ධ සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ නඩුව විභාග වෙමින් පවතිනවා.

මාවනැල්ල බුදු පිළිමවලට පහර දීම සම්බන්ධයෙන් නිසි විමර්ශන සිදු නොකළ බවත් මහේෂ් සේනානායක මහතා කීවා. ඒ සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරියට පමුණුවා නඩු විභාග අවසානයේ දඬුවම් ලබාදී අවසන්. ඒ පරීක්ෂණ මෙහෙය වූයේ ශානි අබේසේකර මහතායි. වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධයෙනුත් ඔහු සඳහන් කර තිබුණා. මාවනැල්ල බුදු පිළිම සම්බන්ධ පරීක්ෂණවල දිගුවක් ලෙස වනාතවිල්ලුවේ ස්ථානය සොයාගෙන පුපුරන ද්‍රව්‍ය සමග සැකකරුවන් හතර දෙනෙක් අත්අඩංගුවට ගත්තා. එම ස්ථානයට ශානි අබේසේකර යන විට යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් එතැනට පැමිණ සිටියා. එසේ ආවේ කොහොමද? ඒ ආසන්නයේ හමුදා කඳවුරු තිබිලත් කිසිම බුද්ධි අංශයකින් අපට මේ ස්ථානය ගැන තොරතුරු දැනුම් දී තිබුණේ නැහැ. හමුදාපතිවරයාට යටත් නැති කණ්ඩායමක් වෙනම සිටියාද? මම මේ සම්පූර්ණ හමුදාවට හෝ බුද්ධි අංශවට චෝදනා කරනවා නොවෙයි. යම් කුඩා කණ්ඩායමක් මේ හැම සිද්ධියකටම සම්බන්ධතාවයක් තිබූ බව විමර්ශනවලදි හෙළිවී තිබුණා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තස්ලිම්ට වෙඩි තැබීමක් සම්බන්ධයෙන් මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කර තිබුණා. 2019 මාර්තු 10 වැනි දින කළ එම වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දැන් අත්අඩංගුවේ සිටිනවා. ඔවුනට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ වී තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශන අනුව සහරාන් ළඟින් සිටි සියලුම දෙනා අත්අඩංගුවට ගත්තා. ඔවුන්ට විරුද්ධව අධිකරණයේ නඩු ක්‍රියාත්මක වෙනවා. 2019දී මේ සම්බන්ධයෙන් මම කළ ප්‍රකාශයක් නැවත මතක් කරන්නම්. අයි.එස්.අයි.එස්. සංවිධානය මෙයට සම්බන්ධ බවට තොරතුරු තහවුරු වුණේ නැහැ. නමුත් මලල්ගොඩ කොමිෂන් සභාව, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සහ ජනාධිපති කොමිෂන් සභාව යන සියලු අවස්ථාවලදී ශානි අබේසේකර මහතාත් මමත් සාක්ෂි දුන්නා. පාස්කු ප්‍රහාරය හා සම්බන්ධයෙන් ඇතැමි බුද්ධි අංශ නිලධාරීන්ගේ සම්බන්ධතාවයක් තහවුරු වූ බවත් ඒ පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකරන ලෙසත් අපි ඉල්ලීම් කර තිබෙනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාලිත සිරිවර්ධන, සේනක කුමාරසිංහ, ඇතුළු විශ්‍රාමික පොලිස් නිලධාරීන් පිරිසකුත් පසුගිය දිනවල චෝදනා එල්ල කර තිබුණා. මේ ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු අප්‍රේල් 09 වැනි දිනදී නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස මටත් ලබාදී තිබුණත් පියවර නොගත් බව කියා තිබුණා. ඒ වගේම සහරාන්ලා පිළිබඳව සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක් කර තිබුණා. අප්‍රේල් 09වැනි දින එවූ ලිපිය මට ලබාදුන් බව කීවත් අප්‍රේල් 07වැනි දින හෝ 08 වැනි දින අළුයම මමත් තවත් පොලිස් නිලධාරීන් කණ්ඩායමකුත් දිවයිනෙන් බැහැරව ගොස් ප්‍රංශයේ ලියෝන් නුවර පිහිටා තිබෙන ඉන්ටර්පෝල් මූලස්ථානයේ රැස්වීමකට සහභාගි වුණා. නැවත පැමිණෙන්නේ අප්‍රේල් 13වැනිදා. පාලිත සිරිවර්ධන මහතා ප්‍රකාශ කරන පරිදි එම ලියුම අප්‍රේල් 09 වැනිදා මට එව්වා කිවවත් එතරම් වැදගත් ලැබිය යුතු තොරතුරක් එවද්දී මම රට තුළ ඉන්නවාද නැද්ද කියලාවත් සොයා බැලීමක් කර නැහැ. මම ගියේ හොරෙන් නොවෙයි. මම ගියේ පොලිස්පති සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ අවසර ලබාගෙන මා වෙනුවටට වැඩ බලන්න නිලධාරියෙකුත් පත්කරලයි. අඩුම ගණනේ එතරම් වැදගත් ලිපියක් වැඩබලන නිලධාරියාට යොමු කර තිබුණා නම්, ඔහුගේ අවධානයට යොමු වෙනවා. මම නැවත කාර්යාලයට ගියේ අප්‍රේල් 16වැනිදා. පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභාවලට වගේම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ඒ කොමිෂන් සභාවලින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂා කළ කිසිම නිලධාරියෙක් හට දෝෂාරෝපණයක් එල්ල වූයේ නැහැ. පාලිත සිරිවර්ධන මහතාටත් මහේෂ් සේනානායක මහතාටත් මේ සිද්ධිය මතක් වුණේ 2024 ජූනි 09 වැනිදා උදේ 10.00ට විශ්‍රාමික පොලිස් සාමූහිකයේ සමුළුව පැවැත්වීමෙන් පසුවද? අවුරුදු පහකට ඉස්සර සිද්ධියක් දැන් මතක්වීම පිළිබඳ මට ප්‍රශ්න කරන්න සිදුවෙනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාර මලල්ගොඩ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොමිෂමක් පත් කළා. හිටපු පොලිස්පතිතුමාත් එහි සාමාජිකයෙක්. මහේෂ් සේනානායක මහතාටත් පාලිත සිරිවර්ධන මහතාටත් ඔය දැන් කියන කරුණු ඒ කොමිෂම හමුවේ එහෙම නැත්නම් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ හෝ විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ කළ නොහැකි වූයේ ඇයි? මහේෂ් සේනානායක මහතා ඒ කොමිෂන් තුන හමුවේම සාක්ෂි දුන්නා. රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකර දෙදෙනා මෙයට වගකිවයුතු බව නොකීවේ ඇයි? ඔහු කරුණු වසංකරගෙන සිටියාද? ඒක අපරාධමය චෝදනාවක්.

ඒ වගේම ප්‍රහාරය එල්ල කළ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබියදී ජමීල් කියන ත්‍රස්තවාදියාගේ ගෙදරට හමුදා බුද්ධි අංශයේ නිලධාරින් ගියේ ඇයි? එවකට සිටි ත්‍රස්ත විමර්ශන අංශයෙන් හෝ මේ සිදුවීම් අපට දැනුම් නොදුන්නේ ඇයි? පසු අවස්ථාවක ත්‍රස්ත විමර්ශන අංශයේ ප්‍රධානියා ස්ථාන මාරුවක් ලැබුණු පසු අපට මේ තොරතුරු ලබාදුන්නා. ඒ අනුව බුද්ධි අංශවලින් ප්‍රශ්න කිරීමේදී පිළිතුරු දුන්නේ ජමීල් ඔවුන්ගේ ආවේක්ෂණය යටතේ සිටි බවයි. එවැනි ආවේක්ෂණයක සිටියා නම්, අප්‍රේල් 20වැනි දින ඔහු සිටියේ කොහැදැයි නොදැන සිටින්නේ කොහොමද? පානදුරයට ගොස් පුපුරන ද්‍රව්‍ය කට්ටල රැගෙන තාජ් සමුද්‍රා හෝටලයේදී පුපුරා ගැනීමට යාම සම්බන්ධයෙන් තොරතුරු ඒ බුද්ධි නිලධාරීන් අඩුම තරමින් මහේෂ් සේනානායක මහතාටවත් කීවාද? සහරාන් සමග සමීපව කටයුතු කළ බුද්ධි නිලධාරියෙකු සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ඔහුව කොටුකර ගැනීමට ආසන්න වෙද්දී එවකට සිටි හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ එය වැළැක්වූවා. මහේෂ් සේනානායක මහතා ඒවා දන්නේ නැද්ද? බලංගොඩ වගේ ප්‍රදේශයකට ගොස් ඔවැනි ප්‍රකාශ කරන මහේෂ් සේනානාක මහතාගේ ක්‍රියාකලාපය පරිණත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට ගැලපෙනවාද? කනගාටුවෙන් වුවත් මට අහන්න සිදුවෙනවා.

එතුමා හමුදාපති ධුරය දැරූ සමයේ අපි දෙදෙනා බොහොම කිට්ටුවෙන් වැඩ කළා. රාජකාරිමය වශයෙන් බොහොම කිට්ටු සම්බන්ධතාවයක් තිබුණා. දැන් ඔහු ඔවැනි ප්‍රකාශ කරන්නේ පොලිස් සාමූහිකයේ ජාතික සමුළුවට බයවෙලාද කියලා මම දන්නේ නැහැ. මේ රටේ වැළලී ගිය අපරාධ තිබෙනවා. එවැනි අපරාධ සම්බන්ධ පැමිණිලි තිබෙනවා. ලසන්ත වික්‍රමසිංහ ඝාතනය, කීත් නොයාර්ට පහරදීම, පෝද්දල ජයන්තට පහරදීම, සහ පාස්කු ප්‍රහාරය ඇතුළුව ප්‍රධාන අපරාධ ගැන හෙළි කර ගත යුතුව තිබෙනවා. පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක්ද කියන සැකය අපට තිබෙනවා. සහරාන්ට ඉහළින් ‘අබුහිත්’ කියන චරිතයක් කරළියට ඇවිත් තිබෙනවා. මේ කුමන්ත්‍රණය ගැන තොරතුරු ගණනාවක් සමාජ මාධ්‍යයේ හෙළි කර තිබෙනවා. අසාද් මව්ලානා චැනල් ෆෝ නාලිකාවට කර තිබෙන හෙළිදරව්ව ගැන පරීක්ෂණ පැවැත්විය යුතුව තිබෙනවා. මේ කුමන්ත්‍රණය පිළිබඳ රැස්වීම්වලට සහරාන් සහ බුද්ධි අංශ නිලධාරීන් සම්බන්ධ වූ බවට තිබෙන චෝදනා පරීක්ෂා කළ යුතුයි. හිටපු නීතිපති දප්පුල ලිවේරා මහත්මයා මෙය පිටුපස කුමන්ත්‍රණයක් තිබෙන බව කීවා. ජාතික ජන බලවේගයේ කණ්ඩායමක් සමග මේ විමර්ශන සිදුකළ හැකි බවට විශ්වාසයක් අපට තිබෙනවා. ඒ වගේම කලබල වී විවිධ ප්‍රකාශ කරන කණ්ඩායම ඇතුළත් වී සිටින කඳවුර පිළිබඳව සලකා බැලීමේදී මේ විමර්ශනවලට සාධාරණයක් ඉටුවේදැයි සැකයක් අපට තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ශානි අබේසේකර මාස 11ක් තිස්සේ බන්ධනාගාර ගතකර සිට උසස්වීම් පවා ලබානොදී පළිගැනීම්වලට ලක්කර සිටිනවා. නමුත් ඒ කිසිවක් නොතකා පොදු යහපත වෙනුවෙන් අපි කටයුතු කරනවා” ලෙස පවසා සිටියේය.

මෙම මාධ්‍ය හමුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ විශ්‍රාමික පොලිස් අධිකාරී උපාලි පියනන්ද යන අය සහභාගී වී සිටියහ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan