*
Wednesday, October 23, 2024
spot_img

Latest Posts

රනිල් ජනාධිපතිවරණයට – බඩු මිලට ජනතා විරෝධය හේතුව දූෂණලු – සජිත් ගෙන් රතු එලි – ෆොන්සේකා අගමැති අපේක්ෂකත්වය සමඟ මාෂල් ඉල්ලයි – ඉන්දියානු විරෝධය ඉහළට – කැබිනට් සංශෝධනයෙන් නව ඇමතිවරු රැසක්? ප්‍රසන්නට ඇබැද්දියක්

  • රනිල් ජනාධිපතිවරණයට
  • බඩු මිලට ජනතා විරෝධය හේතුව දූෂණලු
  • සජිත් ගෙන් රතු එලි
  • ෆොන්සේකා අගමැති අපේක්ෂකත්වය සමඟ මාෂල් ඉල්ලයි
  • ඉන්දියානු විරෝධය ඉහළට
  • කැබිනට් සංශෝධනයෙන් නව ඇමතිවරු රැසක්?
  • ප්‍රසන්නට ඇබැද්දියක්

ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)

නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): 2024 ජනාධිපතිවරණය ඔක්තෝබර් 5 වැනිදාට දින නියමවී ඇතැයි පැවසෙද්දී වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමා ජනාධිපතිවරණයට තරග කරන බව ජාතිය අමතමින් ප්‍රකාශ කරන්නට නියමිතව ඇත්තේ ජුනි 26 වැනිදාය. ඒ රට බංකොලොත්භාවයෙන් මිදුණු බවට සිදු කරන ප්‍රකාශයත් සමගය.

එසේම පක්ෂ කීපයක මන්ත්‍රීවරු පිල් මාරු කිරීම් කීපයක්ද මේ සමග ඉදිරි දිනවලදී සිදුවෙතැයි අපේක්ෂිතය. ඒ අනුව මෙරට දේශපාලන ලෝකය කණපිට පෙරෙලෙන සති කීපයක් බවට ඉදිරි සති කිහිපය පත්වනු ඇත.ආණ්ඩුවට විපක්‍ෂයෙනුත් විපක්ෂයට ආණ්ඩුවෙනුත් පිල්මාරු ගණනාවක්ම සිදුවෙන බව පැවසේ.

සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂයට

සමගි ජනබලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ලබන සතියේ දී පිල්මරුවක් සමග එක්සත් ජාතික පක්ෂය ට හෝ එජාපය ප්‍රමුඛ සන්ධානයට එක්වනු ඇතැයි පැවසේ.

මෙහිදී අදාළ පිල්මාරුව සඳහා කොන්දේසි ලෙස සරත් ෆොන්සේකා ඉල්ලා ඇත්තේ අගමැති අපේක්ෂකත්වය හා මාෂල් තනතුරු නාමය බව සඳහන්ය.

මේ අනුව සරත් ෆොන්සේකා ඉදිරි ජනාධිපතිවරනයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමට නියමිතය.

අගමැති අපේක්ෂකත්වය සමග මාෂල් තනතුර ?

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාසව පසුගිය සතියේ නිර්දය ලෙස විවේචනය කිරීම පසුපස මෙම වෙනස පිළිබඳ ඉඟියක්ද සැපයූ අතර ලබන සතියේදී සරත් ෆොන්සේකා යුද්ධය ගැන ඔහු ලියූ බව කියන සුවිශේෂ ග්‍රන්ථයක් එළිදක්වන බවත් එහිදී රනිල් වික්‍රමසිංහ ෆොන්සේකාගේ පොත් දොරට වැඩුමට එක්වන බවත් පැවසේ.

මෙම අවස්ථාවේදී තමන් එජාපයට යළි එක්වන කතාව ෆොන්සේකා ප්‍රකාශ කරන්නට නියමිතය.

ලොව ආරක්ෂක අංශයේ ඉහළම නිලය වන්නේ ‘මාර්ෂල් ‘ තනතුරය. තරු හයේ ජෙනරාල්වරයකු ලෙස සැලකෙන ”මාර්ෂල්” තනතුර ඔහුට ලැබෙන්නේ උතුරේ යුද ජයග්‍රහණය සඳහා ෆොන්සේකා කරන ලද කැප කිරීම සලකාය.

යුගෝස්ලාවියාවේ හිටපු ජනාධිපති මාර්ෂල් ටිටෝ, ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන්, රුසියාවේ හිටපු නායක ජෝෂප් ස්ටාලින්, චීනයේ හිටපු නායක මාවෝ සේතුං, උතුරු කොරියාවේ හිටපු නායක කිම් ඉල්සුං, ජර්මනියේ හිටපු යුද නායකයකු වන හර්මන් ගෝරිං ඇතුළු ඉහළ පෙළේ නායකයන් රැසක්ම මෙයට පෙර මාර්ෂල් පදවියෙන් පිදුම් ලබා ඇත.

ලබන 27 වනදා දැනට දින යොදා ඇති පරිදි සරත් ෆොන්සේකාගේ යුද්ධය ගැන පොත එළිදක්වන අතර එම පොතින් රාජපක්ෂ පාලකයින් දැඩි දෝෂදර්ශනයට ලක්කරනු ඇතැයිද පැවසේ. දැඩි රාජපක්ෂ විරෝධියෙකු වන සරත් ෆොන්සේකා රනිල් වෙත එක්වීම සමග රාජපක්ෂ සහය රනිල් වෙතින් දුරස් වීම තවදුරටත් සනිටුහන් කරනු ඇත.

හදිසි කැබිනට් සංශෝධනයක් – ලන්සාට හා S.B ටත් ඇමති ධුර

මේ අතර කැබිනට් මන්ඩල සංශෝධනයක්ද ඉදිරි දිනවල සිදුවන අතර ඉදිරි දිනවල සිදුවීමට නියමිත පිල් මාරු කිරීම් සමග ජනපතිවරයාගේ කැබිනට් මණ්ඩලයට අලුතින් විපක්ෂ මුහුණු කිහිපයක් එක්කරගනු ඇතැයිද පැවසේ. මෙහිදී ආණ්ඩුවට එක්වීමට නියමිත සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කීපදෙනෙකුට හා නිමල් ලන්සා හා S.B.දිසානායක යන මන්ත්‍රීවරුන්ටද ප්‍රබල ඇමති ධුර ලබාදීමට නියමිතය.

නිමල් ලන්සා මන්ත්‍රීවරයාට මීට පෙරද රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වූ අවස්ථාවේද ඇමතිධුරයක් ලබාදීමට කටයුතු කල අතර එය ඒ අවස්ථාවේ ඔහු එය භාර නොගෙන අදාළ ඇමති ධුරය තම කණ්ඩායමේ නලීන් ප්‍රනාන්දු හට ලබා දෙන ලෙස ඉල්ලීමක් කරන ලදී. නලීන් ප්‍රනාන්දු වැනි මුල්වරට පාර්ලිමේන්තුවට පිවිසි කනිෂ්ඨතම මන්ත්‍රීවරයෙකුට වෙළඳ ඇමති ධුරය වැනි ප්‍රබල ඇමති ධුරයක් හිමිවුයේ නිමල් ලන්සා නිසාය.

මෙවර ප්‍රධාන ඇමති ධුර කීපයක් දරන ඇමතිවරුන්ගේ ඇමති ධුර අඩුකර ඒවා නව ඇමතිවරුන් වෙත ලබා දීමට නියමිතය.ඇමති ධුර කීපයක් දරන ඇමතිවරුන්ගේ ඇතැම් අමාත්‍යාංශ වල කටයුතු නිසි පරිදි සිදු නොවීම හා ඇතැම් ඇමතිවරුන්ට බරපතල දුෂණ චෝදනා එල්ලවීමද මීට බලපා තිබේ.

ඉන්දියාව සමඟ ඉදිරියට යන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ සංවර්ධන ඉලක්ක ඉටු කර ගැනීමේදී ඉන්දියාව සමඟ මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

එහිදි බලශක්ති ක්ෂේත්‍රයට අදාළව දෙරට අතර හවුල්කාරිත්වය ඉහළ නංවා ගැනීමට විශේෂ අවධානයක් යොමුව ඇති බවත්, වසර 30ක යුද්ධයෙන් පීඩාවට පත් වූ උතුරේ ජනතාවට නව සංවර්ධනයක් අත්කර දීම අරමුණ බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ කොළඹ ICT රත්නදීප හෝටලයේදී පැවති 31 වැනි සමස්ත ඉන්දීය හවුල්කාර හමුව 2024 (AIPM 2024) අමතමිනි.

ඉන්දියානු විරෝධය

කෙසේ වෙතත් මේ වන විට අන්කවරදාකටත් වඩා ඉන්දියානු විරෝධයක් රට තුල ඇතිවෙමින් පවතී. ඇතැම් විට චීන හිතවාදී පිරිස් විසින් එය ඇතිකරමින් තිබෙනු දක්නට හැකිය. ඊටත් වඩා මීට හේතුවී ඇත්තේ ශ්‍රී ලංකාවේ සෑම ක්ෂේත්‍රයකටම ඉන්දියාව මේ වන විට අඩුවැඩි වශයෙන් අතපොවා තිබීමය. මේ දින වල විමල් වීරවංශ ප්‍රමුඛ මෙරට ප්‍රධාන පෙලේ ඇතැම් දේශපාලකයන් මෙරට ඉන්දියානු මැදිහත්වීම් වලට දැඩි ලෙස පහර ගැසීම් සිදු කරනු පෙනී යයි.

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට වාසි ලබා නොගන්නේ ඇයි?

ඉන්දියාව වෙත ශ්‍රීලංකාව සියලු අන්දමේ පහසුකම් ලබා දුන්නද අඩුම තරමින් ශ්‍රීලාංකිකයන්ට නොමිලේ වීසා පහසුකමවත් ඉන්දියාව ලබා දී නොමැත.

එසේම ඉන්දියානු රුපියල ශ්‍රීලංකාවේ භාවිතයට ඉඩ දුන්නද ශ්‍රීලංකා රුපියලට ඉන්දියාවේ එවැනි තැනක් නොමැත. ශ්‍රීලංකාවේ ව්‍යාපාර වලට ඉන්දියාවේ කිසිදු පහසුකමක් නොමැත. ඉන්දියානු ව්‍යාපාර වලට ශ්‍රීලංකාව සියලු පහසුකම් ලබා දෙනු ලබයි. එහෙත් ඉන්දියාවේ ව්‍යාපාර කරන්නට යන ශ්‍රීලාංකික ව්‍යාපාර වලට ඉන්දීය මධ්‍යම රජය කුමක් කීවද ප්‍රාන්ත රජයන් ඒ සඳහා පහසුකම් සැපයීම කෙසේ වෙතත් සියලු අන්දමේ බාධා සිදුකරන බව ශ්‍රීලාංකික ව්‍යාපාර ප්‍රජාවේ චෝදනාවයි.එම නිසා ඉන්දියාව සමග සිදුකරන සියලු අන්දමේ ව්‍යාපාර හෝ සම්බන්ධතා දෙරටටම වාසි සහගත ලෙස සිදු කරගන්නට ශ්‍රීලංකා රජය කටයුතු කල යුතුය.

මෑතකාලයේ ලබා දුන් මත්පැන් බලපත්‍ර සියල්ල සජබ රජයක් තුළ අහෝසි කරන බව සජිත් කියයි

මෑත කාලයේ දේශපාලන වාසි තකා ලබා දුන් හොර බියර් බලපත්‍ර, අරක්කු හා මත්පැන් බලපත්‍ර සියල්ල සමගි ජන බලවේග රජයක් තුළ අහෝසි කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

රටේ අනාගතය විය යුත්තේ අරක්කු බලපත්‍ර නොව පාසල් දූදරුවන්ට නිසි ආරක්ෂිත මෙවලම් සහිත ටැබ් එකක් අයිපෑඩ් එකක් ලබා දීම බවත් සංචාරක ප්‍රවර්ධනය අරමුණින් මේ මත්පැන් බලපත්‍ර ලබා දෙනවා නම් ඒවා දිය යුත්තේ නිසි ස්ථානීය පරීක්ෂාවකින් සහ විනිවිදභාවයකින් යුක්තව බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 254 වැනි අදියර යටතේ කළුතර අගලවත්ත වැලිපැන්න රහුමානියා මහා විද්‍යාලයට රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසල් සංවර්ධන අරමුදලට රු. ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කරණ ලදී.

රටේ බොහෝමයක් දුවා දරුවනට හීනයක් වුවද පරිගණකය යනු ලෝකයේ සමස්තයක් ලෙස ගත්කල ඉතාමත් සාමන්‍ය උපකරණයක් වන අතර පරිගණකය හැසිරුවීම සහ ඉංග්‍රීසි භාෂා දැනුම, ඕනෑම ක්ෂේත්‍රයක නියැලෙන වෘත්තිකයකුගෙන් බලාපොරොත්තුවන කුසලතාවයන් ලෙස හඳුනාගත් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා මීට වසර හතරකට පෙර සක්වල SMART පන්ති කාමර ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. ඔහුට එය කරන්නට සිදු වුයේ රටේ අධ්‍යාපන ප්‍රධානීන් තම වගකීම් හරිහැටි සිදු නොකරන නිසාය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණ ලබාදී තිබේ. සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 88ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4292ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 254ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2755ක් වැය කර තිබේ.

යළිත් වරක් වරදින්නැති ආණ්ඩුවක් පිහිටුවන්නට එක්වෙන ලෙස අනුර ගෙන් ආරාධනා

යළිත් වරක් වරදින්නේ නැති පොදු ජන ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට සියලු දෙනා එකමුතු වී කටයුතු කරමු යැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක දෙහිඅත්තකන්ඩියේදී පැවසිය

විවිධ පක්ෂ යටතේ ආණ්ඩු සෑදීමට සාමාන්‍ය ජනතාව ඡන්දය භාවිතා කළද බලයට පත් වූවන් තමන්ට ඡන්දය දුන් එම ජනතාව අමතක කළ බව පැවසූ දිසානායක මහතා ඔවුන් කටයුතු කළේ ඔවුන්ගේ පන්තිය ආරක්ෂා කිරීම සඳහා යයිද කිය

එම නිසා මෙවර මෙතෙක් කල් කළ දේ නොකර නිවැරදි දේ වල් කිරීම සඳහා ජනතාවට කාලය එළැඹ ඇතැයිද ඔහු පැවසීය

ජාතික ජන බලවේගය නායකයා මේ අදහස් පල කළේ දෙහිඅත්තකන්ඩියේ පැවති ගොවි ජනරැළිය අමතමිනි.

ඇමති ප්‍රසන්නට සිදුවූ ඇබැද්දිය

පසුගියදා විදේශ රටක සිට සිය දියණිය සමඟ ලංකාවට පැමිණි ඇමති ප්‍රසන්න රණතුංග තහනම් භාණ්ඩ රැගෙන එන බවට ශ්‍රීලංකා රේගුවට ලැබුණු ඔත්තුවක් මත ඔවුන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපලේදී දැඩි පරීක්ෂාවකට ලක් කර තිබේ.

ඇමතිවරයාත් දියණියත් පැමිණි මෙම යානයේ භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ද මෙම යානයෙන් ලංකාවට පැමිණ ඇති අතර ගමනාගමනය අතරතුර, භාණ්ඩාගාර නිලධාරියා ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පණිවිඩයක් යොමු කරමින්, ඇමැතිවරයා මෙරටට හොර බඩු ගෙන එන බවට පැමිණිල්ලක් කර තිබුණි.

මෙම තොරතුරු මත ක්‍රියාත්මක වූ රේගු නිලධාරීන් 20 දෙනෙකු පමණ අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොස් තිබු අතර ඇමතිවරයා සහ ඔහුගේ දියණිය ගොඩබසින විගස රේගු නිලධාරීන් ඔවුන් වටකර පරීක්ෂා කර ඇත. ඔවුන්ගේ ගමන් මලු ප්‍රසිද්ධියේ සෝදිසි කළ බවද කියැවේ. කෙසේ වෙතත්, චෝදනා කිසිවක් ඔප්පු කිරීමට සාක්ෂි හමු නොවීය. මෙම පරීක්ෂා කිරීම් නිසා ඇමතිවරයා අපහසුවට පත්ව තිබේ.

රේගු ප්‍රධානීන්ට එරෙහිව පියවර?

මෙම වැරදීම නිසා ලැජ්ජාවට පත්ව මුහුණු රතු කරගත් රේගු නිලධාරීන් කඩිමුඩියේ පිටව ගිය බවද පැවසේ.

මෙම සිද්ධියෙන් පසු ඇමතිවරයා විසින් තමන් අපහසුවට පත්වන ආකාරයට සිදුකල මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

ඒ අනුව රජය විසින් මෙම මෙම සිදුවීම සිද්ධවූ ආකාරය ගැන සොයා බලා ඇත. මෙම පැමිනිල්ල කළ බව කියන භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියාට ව්‍යාජ ඇමතුමක් දීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබේ. එසේම භාණ්ඩාගාර නිලධාරියාගේ ඇමතුමට අනුව ඇමැතිවරයා සහ ඔහුගේ දියණිය සෝදිසි කරන්නට කණ්ඩායමට නියෝග කළ රේගු ප්‍රධානියා ද අපහසුවට ලක්ව තිබේ. මේ අතර රේගු නිලධාරීන් පවසන්නේ පැමිණිල්ලක් ලැබුණු පසු ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම තමන් තරාතිරම නොබලා සිදු කරන බවත් ලොව සෑම රටකම රේගු නිලධාරීන් එලෙස කටයුතු කරන බවත්ය. එහෙත් වැටලීම් සම්බන්ධයෙන් කිසියම් පියවරක් ගතහොත් ඊට එරෙහිව වෘත්තීය සමිති පියවර ගන්නටද රෙගු නිලධාරීන් සුදානමින් සිටින බව පැවසේ.

ආණ්ඩුව ගැන ජනතාව කලකිරෙන්නට ප්‍රධාන හේතුව බඩුමිල

මෙවර ජනාධිපතිවරණය හා ආණ්ඩුවේ ජනප්‍රියභාවය ගැන පවත්වනු ලැබූ සියලු ජනමත විමසීම් වලින් පෙනීගොස් ඇත්තේ ජනතාව වැඩිම ප්‍රමාණයක් රජය කෙරෙහි කල කිරී ඇත්තේ ඉහල ගොස් ඇති බදු මිල සහ ජීවන වියදම නිසා බවය. ඩොලරය කොතරම් අඩු කලත් එහි වාසිය ජනතාවට ගොස් නැත්තේ ව්‍යාපාරික මාෆියාව නිසා බව ආණ්ඩුවේ ප්‍රබලයන් අතර කතාබහට ලක්වී තිබේ.

මෙරට බඩු මිල වැඩිවීමට ප්‍රධානතම හේතුව වෙළඳ අමාත්‍යංශයේ දුෂණ බව රජයේ ප්‍රධානීන් අතර හා ව්‍යාපාරික අංශ අතර දැඩි කතාබහට ලක්ව තිබේ.ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ වැඩපිළිවෙල අනුව ඩොලරය අඩු වුවද බඩු මිල අඩු නොවෙන්නේ එම නිසා බව රජයේ ප්‍රබලයන් අතර සාකච්ඡා වී ඇත.

බිත්තර මිල හා වෙළඳ අමාත්‍යංශයේ දූෂණ

ඉන්දියාවේ ඉන්දීය රුපියල් හතරක් වන බිත්තරයක් සියලු වියදම් සහිතව ශ්‍රීලංකාවේ රුපියල් 15 කට විකිණිය හැකි වුවත් එය අලෙවි කරන්නේ රුපියල් 42 ක මුදලකටය. බිත්තර ගෙන්වීමට පිටකොටුවේ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් ඉල්ලීම් කලද ඒවාට ඉඩදී නොමැති අතර එය සිදුකර තිබුනේ වෙළඳ අමාත්‍යාශය යටතේම ඇති රාජ්‍ය වාණිජ වෙළඳ නීතිගත සංස්ථාව (STC )හරහාය.මෙය රුපියල් හැටකට වඩා වැඩි මිලකට ඇතැම් අවස්ථාවල විකුණා තිබේ. මෙය පසුපස මහා පරිමාන දුෂණ ක්‍රියාත්මක වන බවත් අවසානයේ මේ සියල්ල රජයට බරපතල අපහසුතාවට පත් කෙරෙන බවත් රජයේ ප්‍රධානීන්ගේ අවධානයට ලක්ව තිබේ. බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල සම්බන්ධයෙන් පවතින්නේ මෙවැනිම ආකාරයේ මාෆියාවන් බව ජනතාව චෝදනා කරති.
මේ අතර මෙරට බිත්තර කර්මාන්තයට අවශ්‍ය බඩඉරිඟු මෙරටදීම වවන්නට හෝ තීරු බදු ඉවත් කර මෙරටට ගෙන්වන්නට ඉඩදී බිත්තර කර්මාන්තය ශක්තිමත් කරන්නට පියවර නොගැනීම පිටුපස සිටින්නේද මේ බිත්තර මාෆියාවේ පිරිස් බව කියවේ.

කොලම්කරු හා සම්බන්ධ වීමට:
[email protected]
WhatsApp: +13472050049

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan