යාපනය ආදරය කළ එකම සිංහයා ලයනල් ප්‍රනාන්දු

0
629

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 07, (LNW) කොළඹ :

චරිතය පුරාම තිබුණේ පිරුණු බවය.එම පිරුණු බව සටහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණය.තමන්ගේ අනන්‍යතාවයට ආදරය කිරීම වගේම අනෙකාගේ අනන්‍යතාවයට ගෞරව කිරීමේ උත්තරීතර ගුණාංගය පොළවේ ප්‍රායෝගිකව දකින්නට ලැබුණු මහා රුක්ෂයක් ලෙස ඔහුව හැඳින්වීම නිවැරදිය.එසේම මේ පල පිරුණු ගස නිතර බිමට අතු නමා ගෙන උන්නේය.


රට නෙමෙයි ලෝකය ද දැන හඳුනාගෙන සිටියද ඒ කිසිවක් ආභරණ කර ගැනීම ඔහුගේ සිරිත නොවිණි.රට ආ පස්සට රැඟෙන ගිය ආයුධ රැඟත් යුද්ධයට පත්තු කර විනාශ කරන ලද උණ්ඩවලට ගිය වියදමත් අදත් අපට ජීවත් වෙන්නට නොහැකි තරම් ණය බරක ගිලී ඉන්නට හේතුවක්ය.දේශපාලනය පැවත්ම පිණිස නිර්මාණය කළ විරුද්ධ ජාතිකයා මැඩීම වෙනුවෙන් පත්තු කළ උණ්ඩවලින් පිරිසක් හම්බ කරගෙන ධනවතුන් වෙද්දී බෙදුණු පැති දෙකටම අහිමි වෙන ජීවිත ගැන හැඟීමක් මිනිස්සුන්ට ගලා ගියේ නැත.මේ අපට පැටවෙන බදු බර ඉහළ නැංවෙන්න උඟුලක් කියා සිතුණේ ද නැත.බොහෝ දෙනෙක් ප්‍රවෘත්ති බලා සතුටු වීම හෝ දුක්වීම හෝ සිද්ධ කළේ අහිමිවන ජීවිතවල වර්ගය බලා ගණන් හදමින්ය.


එවැනි දෙපැත්ත බෙදී සිටි රටක දකුණෙන් උතුරුට ගිය ලයනල් ප්‍රනාන්දු රාජ්‍ය සේවය මේ රටේ උපන්න සෑම කෙනෙකුටම පොදු දෙයක් මිස එය තීරණය කරන්නේ ජාතිය හෝ ආගම නොවන බව පැහැදිළිව කියා දුන්නේය.සමානත්මතාවය,සාධාරණය සහ යුක්ති සහගත බව ගැන සාක්ෂියක් බවට පත් වූ ලයනල් ප්‍රනාන්දුගේ වැඩ කලාව තුළ ගොඩ නැඟුණු විශ්වාසය නිසා යාපනයට ඔහු ‘අවර් ලයන්’ විය.දකුණේ සිංහයන් ලෙස සිංහල ජාතිය වර්ණනාවට නැඟූ ජාතිවාදී සහ ජාතියටම හේත්තු වී වාරු වුණ ආගම්වාදීන් නිසා උතුරට තිත්ත වූ සිංහයන් බොහෝ අපි දනිමු.එහෙත් වචනවලින් නොව ක්‍රියාවෙන් දුන්න ආදර්ශය නිසා ඔවුන්ට ලයනල් ප්‍රනාන්දු සිංහයෙකු ලෙස හැඟුණේය දැණුනේය.


තමන්ව තමන් ඉදිරියේ ඇති කැටපතෙන් මිස තමන් වටා සිටින සේවකයන්ගෙන් නොව පවුලේ සාමාජිකයන්ගෙන්වත් බලාපොරොත්තු නොවෙන තරමට ලයනල් ප්‍රනාන්දු මහා සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදි අනෙකාගෙ නිදහසට දැඬිය ගරු කළ සහ සැළකූ පුද්ගලයෙක් විය.ඒ නිසා ලංකාවේ නාට්‍ය කලාවටත්,විශේෂයෙන්ම ළමා නාට්‍ය කලාවටත් මහඟු මෙහෙවරක් කළ සෝමලතා සුභසිංහ බිහි විය.ඇය සෝමලතාගේ සැමියා ලෙස මහා දැවන්ත පරිපාලනව පෞරුෂය ඇතුළේ කලා කටයුතුවලදී සෝමලතාවන්ට මුල් තැන දී හැසිරිණි.ඔහු ඇය ගැන ආඩම්බර වූවා මිස ඇයට ඔහු වෙන්නට කීවේ නැත.එපමණක් නොව ඒ දෙදෙනාටම වෙනස් හැඩයක වෙනස්ම කලාකාරිණියක සහ දැවන්ත රංගන ශිල්පිණියක් ලෙස කෞශල්‍යා ප්‍රනාන්දු බිහි වන්නේ ද ඒ නිවස ඇතුළේ තිබුණ සුවිසල් නිදහස් පරිසරය පාදක කර ගෙනය.


කෙනෙක්ට බලපෑම් නොකර ඔහුගේ හෝ ඇයගේ හැඬයට අපේ පවුල් සංස්ථාවන් තුළ,විශේෂයෙන් පුරුෂ මූලික සංදර්භය ඇතුළත හැඳෙන්නට වැඩෙන්නට අපහසුය.පවුල සහ විශේෂයෙන් ඒ පවුලේ ප්‍රධානියා වූ පුරුෂයා විසින් තබන මුද්‍රාවන් දකින්නට ලැබීම සාමාන්‍ය තත්ත්වය වන්නේය.එහෙත් පවුලේ සිටම ඇසුරු කළ වැඩ කළ දැවන්ත සමාජ ක්‍රියාවන් කොතැනකවත් ලයනල් ප්‍රනාන්දු බලපෑම්වලින් තමන්ගේ මුද්‍රාව නොතැබූ කෙනෙක්ය.ඒ නිසාම මිනිසුන්ගේ හදවත ඇතුළත අපූරු සහෘදයෙක් ලෙස සදාකාලිකව තැන්පත් වීමේ භාග්‍යය උදා කර ගත්තේය.


රටේ රජයේ පරිපාලනය සම්බන්ධ ඉතාම ඉහළ තනතුරු දැරූ ලෙසම,ලයනල් ප්‍රනාන්දු නෙදර්ලන්තය ප්‍රංශය වැනි රටවල්වල තානාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත.ඒ සෑම තැනකම තමන්ගේ යහපත් දැක්ම මඟින් තනතුරට ආලෝකයක් ගෙන ආ ලයනල් ප්‍රනාන්දු ජීවිතයෙන් නික්ම ගිය ද මිනිසෙකුට ජීවත්වෙන්න ලැබෙන මුණ කාලය පුරාම ඉගෙන ගන්න දේවල් ඉතිරි කර ගිය මහා යුග පුරුෂයෙකි.ඔහුට හදවතේ නැඟෙන ඉහළම ආචාරය පුද කරන්නට අපි මැලි නොවෙමු.


එසේම ඔහුට අවසන් ගෞරවය දැක්වීම සඳහා අවසන් කටයුතු පහත පරිඳි සිඳුවනු ඇති බව ද සංවේගයට පත් සහෘදයන්ගේ දැන ගැනීම පිණිස සඳහන් කර තබන්නෙමු.


මහජන ගෞරවය සඳහා 2024.07.08 දින උදෑසන 9.30 සිට ජයරත්න Restpect Home හි විවෘතව ඇත.


ආදාහන කටයුතු 2024.07.08 දින සවස 5.30ට බොරැල්ල සුසාන භූමියේ නව ආදාහනාගාරයේදී පැවැත්වේ.