ඇමතිතුමාගෙ මිල සූත්‍රය වැරදියි, 250 ට අඩුවෙන් ඉන්ධන දෙන්න පුලුවන් – PUCSL සභාපති

0
3082

ඉන්ධන මිල විටින් විට ඉහළ දමා මේ වනවිට ලීටරයක් රුපියල් 500 කට ආසන්න මුදලකට අලෙවි කළද, ලීටරයක් රුපියල් 250 කට වඩා අඩුවෙන් ලබාදීමේ හැකියාව තිබෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මීට පෙර අවස්ථාවකදී පවසා තිබිණි.

කෙසේ නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ ඉන්ධන ආනයනය කිරීම සඳහාද ලීටරයකට රුපියල් 250 කට වැඩි මුදලක් ගෙවීමට සිදුවන බවයි. එසේ තිබියදී 250 ට අඩුවෙන් අලෙවි කළ හැකිනම් මහජන උපයෝගීතා කොමිසමෙන් ඉවත් වී ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ධුරය බාරගෙන අඩු මුදලට ඉන්ධන අලෙවි කරන්නැයි ජනක රත්නායක මහතාට ආරාධනා කරන බවද ඇමතිවරයා ප්‍රකාශ කර තිබිණි.

මේ අතර ඊයේ මහජන උපයෝගීතා කොමිසම කෝප් කමිටුව හමුවට කැඳවා තිබූ අතර එහිදීද සභාපතිවරයා සඳහන් කළේ රුපියල් 250 ට අඩුවෙන් ඉන්ධන අලෙවි කළහැකි බවයි.

ඉන්ධන මිල තීරණය කිරීම සඳහා සකස් කර ඇති මිල සූත්‍රයේ බරපතල දෝෂයක් තිබෙන බවත්, කිසිදු පදනමක් නොමැතිව මිල සූත්‍රය සකස් කර ඇති බවත් ජනක රත්නායක මහතා සඳහන් කරනවා.

ඉන්ධන බැරලයක් ආනයනය කිරීමේ වියදම ඩොලර් 174 ක් ලෙස සඳහන් කර ඇති නමුත් සැබෑ වියදම ඩොලර් 100 – 110 ත් අතර තිබෙන බවත්, ඒ අනුව ඉන්ධන ලීටරයක් ආනයනය කිරීමේ සැබෑ වියදම රුපියල් 250 ට අඩු වියයුතු බවත් ඔහු පවසනවා. කෙසේ නමුත් විදුලිබල මණ්ඩලය වෙත ඉන්ධන නිකුත් කිරීමේදී ඛනිජ තෙල් සංස්ථාව ලීටරයකින් රුපියල් 250 කට වැඩි අමතර මුදලක් අයකර ගන්නා බවද සභාපතිවරයා සඳහන් කරයි.

ජනක රත්නායක මහතා සඳහන් කරන මෙම කරුණ පිළිබඳව කෝප් කමිටුව කොමිසමේ සෙසු සාමාජිකයන්ගෙන් විමසා සිටි අතර ඔවුන් ප්‍රකාශ කළේ මේ පිළිබඳව කිසිදු අවස්ථාවක කොමිසම තුළ සාකච්ඡා වී නොමැති බවයි. කොමිසමේ සාමාජික චතුරිකා විජේසිංහ මහත්මිය ප්‍රකාශ කළේ මෙම තොරතුරු පළමුවරට තමා දැනගත්තේද මේ අවස්ථාවේදී බවයි.

මේ සම්බන්ධයෙන් කෝප් සභාපතිවරයා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයාගෙන් විමසා සිටි අතර ඔහුද ප්‍රකාශ කළේ කිසිදු දැනුවත්භාවයක් නොමැති බවයි.

විදුලිබල මණ්ඩලය සඳහා ලබාදෙන ඉන්ධන වෙනුවෙන් ජුලි මාසය සඳහා පමණක් රුපියල් බිලියන 40 ක් ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු නමුත් එම ඉන්ධනවල සැබෑ වටිනාකම රුපියල් බිලියන 12 ක් පමණක් බවද මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා පෙන්වා දෙනවා.

UN