හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහ හිටපු ජනාධිපති සමන් ඒකනායක මහතාට එරෙහි නඩුව සැප්තැම්බර් 30 වනදා යළි කැඳවන ලෙස කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය නියම කර තිබේ.
ඒ, එම නඩුව අද (08) කොළඹ කොටුව මහෙස්ත්රාත් පසන් අමරසේන මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර උද්රෘත නීතිපතිවරයා වෙත යොමුකළ බවයි.
මීටපෙර මෙම නඩුවට පෙනී සිට අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අද දිනයේ අධිකරණයට පැමිණ නොසිටි අතර නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජ්යෙෂ්ඨ රජයේ නීතිඥ සමදරී පියසේන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර ගොනු නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත් නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා දිනයක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියාය.
රනිල් වික්රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්රේමරත්න මාතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම නඩුකරයට පාදක වන සම්පූර්ණ මුදලින් අඩක් පමණ වැය කර තිබෙන්නේ වාහන සඳහා බව විමර්ශකයින් ප්රකාශ කර ඇති නමුත් එහෙත් තම සේවාදායකයාට වාහන ලබා දුන්නේ බ්රිතාන්ය රජය විසින් බවයි. ඊට අදාළව බ්රිතාන්ය රජය අනුගමනය කළ පියවර ඇතුළත් ලේඛනයක් රජයේ නීතිඥවරියට භාරදුන් ජනාධිපති නීතිඥවරයා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසත් ඉල්ලා සිටියේය.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්රාත්වරයා මෙම පැමිණිල්ල යලි සැප්තැම්බර් මස 30 වනදා කැඳවන ලෙස නියම කළ අතර එදිනට නීතිපතිවරයාගේ ස්ථාවරය අධිකරණයට දැනුම් දෙන ලෙසත් නියම කළේය.
2023 වසරේදී බ්රිතාන්යයේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්යාලයේ පැවති සිය බිරිඳගේ උපාධි ප්රදානෝත්සවයට සහභාගී වෙමින් රුපියල් මිලියන 16 කට අධික රජයේ මුදල් අවභාවිතා කළේ යැයි චෝදනා කරමින් රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව මෙම පැමිණිල්ල ගොනුකර ඇති අතර ඊට ආධාර අනුබල දුන් බවට සමන් ඒකනායක මහතාට චෝදනා එල්ල කර ඇත.


