ඉතිහාසය නැවත සිහිපත් කරමින් ශ්‍රී ලාංකීය මැලේ ජනතාව නැවත නැගී සිටිය යුතුය

තන්සිල් තාජුඩීන් විසිනි

කොළඹ කොම්පඤ්ඤවීදියේ පිහිටි සියවස් තුනකට වඩා පැරණි  මස්ජිදුල් ජමියා (Masjidul Jamiya) නමැති පල්ලිය ඉදිකරන ලද්දේ වෙළෙන්දන් හෝ වන්දනාකරුවන් විසින් නොව, ලන්දේසි පාලන සමයේ සේවය සඳහා මෙම දිවයිනට පැමිණි මැලේ සොල්දාදුවන් විසිනි. වර්ෂ 1796න් පසු ඔවුන් බ්‍රිතාන්‍ය පාලනය යටතේ ද සේවය කළ අතර, එහි රැඳී සිටිමින් පවුල් ගොඩනඟාගෙන, ශ්‍රී ලංකාව සිය ස්ථිර නිවහන බවට පත් කොට ගෙන තිබුණි. එලෙස ඔවුන් විසින් ගොඩනැගූ පල්ලිය සහ ඒ ආශ්‍රිත එම ප්‍රදේශය, අප සමාජය තුළ යටපත්වී ගිය ඉතිහාසයක් සිහිපත් කරවන ජීවමාන ස්මාරකයකි. අතීතයේ පටන්ම, ශ්‍රී ලාංකීය මැලේ ප්‍රජාව මෙම භූමිය හා බැඳී, රටේ උන්නතිය වෙනුවෙන් කැපවෙමින් ජීවත් වූ බවට මෙම පල්ලිය සහ ඒ අවට පරිසරය මනාව සාක්ෂි දරයි. 

අද වන විට, එම පල්ලිය බිහිකළ ප්‍රජාව දළ වශයෙන් 40,000ක පිරිසක් වන අතර එය සමස්ත ජනගහනයෙන්  0.2%කි. එහෙත් අප වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දී කිසිදු අසුනක් හෝ ඒ වෙනුවෙන් වෙන්වූ දේශපාලන හඬක් නොමැත. ගෙවී යන සෑම දශකයක් පාසාම අපගේ භාෂාව, සංස්කෘතිය සහ අනන්‍යතාවය වඩාත් අභාවයට වෙමින් පවතී. මෙය අනුකම්පාව දිනා ගැනීම උදෙසා සිදු කරන ආයාචනයක් නොව, ඉතිහාසය සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මත පදනම්ව බොහෝ කාලයක සිට හිමිවිය යුතු වූ පිළිගැනීමක් වෙනුවෙන් ‍යොමුකරන ඉල්ලීමක්‍ ය. 

“අපගේ බලාපොරොත්තු වන්නේ අනුකම්පාවක් හෝ පුණ්‍යාධාරයක් නොවෙයි. අප ඉල්ලා සිටින්නේ, අප  විසින්ම ගොඩනගා ගත් මේ ජාතිය තුළ අපට  හිමි ස්ථානය නිසි ලෙස පිළිගන්නා ලෙසයි. “

සොල්දාදුවන්, විද්වතුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් බිහි කරමින් ජාතියට දායක වූ ප්‍රජාවක් බිහි කිරීම 

ශ්‍රී ලාංකීය මැලේ ජනතාවගේ ඉතිහාසය යටත් විජිත යුගයට පමණක් සීමා වූවක් නොවේ. ඉතිහාසමය මූලාශ්‍රවලට අනුව, ක්‍රිස්තු පූර්ව 200 පමණ වන විටත් ඔස්ට්‍රොනේසියානු (Austronesian) නාවිකයන් ශ්‍රී ලංකාවේ වෙරළ තීරයට ළඟා වී තිබූ බව සඳහන් වේ. තවද, 13 වැනි සියවසේදී තම්බ්‍රලින්ගයෙන් ආක්‍රමණයක් මෙහෙයවමින් උතුරු ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක් කෙටි කලකට තම පාලනයට නතු කරගත් ජාවා පාලක චන්ද්‍රභානු ශ්‍රී ධර්මරාජ මෙරට ඉතිහාසයේ කැපී පෙනෙන චරිතයකි.කෙසේ වෙතත්, වර්තමාන ශ්‍රී ලාංකීය මැලේ ප්‍රජාවේ මූලාරම්භය ප්‍රධාන වශයෙන් ඕලන්ද යටත් විජිත සමය දක්වා දිව යයි. ඉන්දුනීසියානු දූපත් සමූහයට අයත් සුලවේසි, ජාවා, බාලි, අම්බොන් සහ මදුරා වැනි ප්‍රදේශවලින් පැමිණි සොල්දාදුවන්, ප්‍රභූවරුන් සහ දේශපාලන පිටුවහලුන් මෙරටට පැමිණ, පසුව සිය මව්බිම් බලා නොගොස් මෙරට ස්ථිර පදිංචිකරුවන් බවට පත්වීම ඊට මූලික හේතු විය.

මොවුන් කිසිදු විටක තමන් වටා ඉතිහාසය නිර්මාණය වන තෙක් බලා සිටි උදාසීන පිරිසක් නොවේ. මැලේ ජාතිකයන් ලංකාවේ යටත් විජිත හමුදාවේ කොඳු නාරටිය බවට පත් වූ අතර, එවකට බ්‍රිතාන්‍යයන් විසින් මුළුමනින්ම මැලේ භටයන්ගෙන් පමණක් සමන්විත වූ ‘ලංකා රයිෆල් රෙජිමේන්තුව’ (Ceylon Rifle Regiment) නිල වශයෙන් පිහිටුවීමට තරම් ඔවුන්ගේ යුධ සේවය කැපී පෙනුණි. මෙම රෙජිමේන්තුවේ බලපෑම හුදෙක් බැරැක්කවලට පමණක් සීමා වූවක් නොවූ අතර කොළඹ වාසය කෙරූ මැලේ සොල්දාදුවන් පෙරදිග ලෝකයේ  පළමු මැලේ භාෂා පුවත්පත ද මුද්‍රණය කළහ. එමෙන්ම ඔවුන් මහනුවර, බදුල්ල, කුරුණෑගල සහ හම්බන්තොට යන ප්‍රදේශ රැසක ඉස්ලාම් පල්ලි ඉදිකොට තිබුණි. අදටත් ව්‍යවහාර වන සිංහල භාෂාවේ වචන රැසකට මැලේ ජනතාවගේ භාෂාමය උරුමයේ නොමැකෙන සලකුණක් ලෙස දක්නට තිබේ.සරම (sarong), රබාන (rabana), බෝතලය (botale), කාමරය (kamara), බෝංචි (bonchi) සහ සොල්දාදුවා(soldaduwa) වැනි වචන බොහෝමයක මූලාරම්භය මැලේ භාෂාව සමඟ සම්බන්ධ වී තිබේ. එපමණක් නොව, ලාංකීයයන් කවුරුත් ප්‍රිය කරන ‘දොදොල්’ (dodol) ද ශ්‍රී ලාංකීය ජන සමාජයට මැලේ ජනතාවගෙන් ලැබුණු අගනා සංස්කෘතික භාෂාමය දායාදයකි.

නීතිමය සහ සිවිල් ක්ෂේත්‍රය තුළ ද ඔවුන්ගේ වාර්තාවන් විශිෂ්ට අයුරින් පැවතුණි. වර්ෂ 1920 දී විනිසුරු මාස් තජූන් අක්බාර් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රථම මැලේ විනිසුරුවරයා බවට පත් විය. ටී. බී. ජයා ලෙස හැඳින්වෙන ටුවාන් බුර්හනුඩීන් ජායා, ව්‍යවස්ථාදායක මණ්ඩලයේ, රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සහ නිදහසෙන් පසු පළමු පාර්ලිමේන්තුවේ සේවය කළේය. 1944 දී සමස්ත ලංකා මැලේ කොංග්‍රසය පිහිටුවූ වෛද්‍ය එම්. පී. ද්‍රහමන්, 1956 දී පාර්ලිමේන්තු අසුනක් දිනාගත් අතර මැලේ ජාතිකයන් වෙනත් කිසිදු ප්‍රජාවකගෙන් වෙන්ව, තමන්ගේම අයිතියෙන් නියෝජනයක් ලැබීමට සුදුසු බව ඉතා පැහැදිලිව තර්ක කළේය. සන්නද්ධ බලකායන් තුළ, බ්‍රිගේඩියර් ටී. එස්. බී. සැලී ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී තනතුර දක්වා උසස් විය. එය මැලේ නිලධාරියෙකු මෙතෙක් හෙබ වූ ඉහළම තනතුර වේ.

ඔවුන් සමාජයේ අතුරු ප්‍රජාවක් නොව, ශ්‍රී ලංකාවේ සෑම ක්ෂේත්‍රයකටම සිය දායකත්වය ලබාදුන් රට ගොඩනැඟීමේ හවුල්කරුවෙකු ලෙස සේවය කළ ප්‍රජාවකි. එහෙත් තමන්ගේ කැපවීමෙන් ගොඩනැඟීමට දායක වූ රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් තුළ ඔවුන්ගේ නියෝජනය සහ හඬ කාලයත් සමඟ ක්‍රමයෙන් අභාවයට යමින් පවතී.

“අපි මෙම ජාතියේ භාෂාව හැඩගැස්වීමටත්, එහි ස්වෛරීභාවය ආරක්ෂා කිරීමටත්, නීතිය ක්‍රියාත්මක කිරීමටත් අභිමානයෙන් දායක වුවද, අද වන විට එම රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුව තුළ අපට හිමි නියෝජනයක් හෝ හඬක් නොමැති වීම විශාල අඩුපාඩුවකි “

ක්‍රමයෙන් ගිලිහෙන නියෝජනය 

2024 ජන සංගණනයට අනුව මැලේ ප්‍රජාව ලියාපදිංචි කර ඇත්තේ බර්ගර්, චෙට්ටි, භාරත සහ වැද්දන් ඇතුළු අනෙකුත් සුළු ප්‍රජාවන් සමඟ ඒකාබද්ධ කරමිනි. එම සමස්ත කාණ්ඩයම ශ්‍රී ලංකාවේ මිලියන 21.7ක ජනගහනයෙන් 0.3%ක් වැනි සුළු ප්‍රතිශතයක් පමණි. එම සුළු ප්‍රතිශතය තුළ, මැලේ ජාතිකයන්ගේ සංඛ්‍යාව 40,000 කටත් වඩා අඩුය. බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස හරහා පක්ෂවලට ඡන්දය ප්‍රකාශ කරන ශ්‍රී ලංකාවේ සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ, මෙවැනි ප්‍රමාණයක ජනතාවකට තමන්ටම වෙන්වූ සෘජු ක්‍රමයකින් පාර්ලිමේන්තු නියෝජනයක් ලබා ගැනීමට ප්‍රායෝගිකව කිසිදු අවස්ථාවක් හිමි නොවේ.

එහි ප්‍රායෝගික ප්‍රතිඵලය වී ඇත්තේ මැලේ ප්‍රජාව සතු සුවිශේෂී සංස්කෘතික, භාෂාමය සහ පුරවැසි අවශ්‍යතා පිළිබඳ සෑම විටම අවධානයට ලක් නොකරන පුළුල් මුස්ලිම් දේශපාලන ව්‍යුහයන් තුළට ඔවුන් ඇතුළත් කිරිමයි. මැලේ ප්‍රජාව වෙනුවෙන් වෙන්වූ දේශපාලන හඬක් සඳහා පැහැදිලිව සහ අඛණ්ඩව සටන් කළ “සමස්ත ලංකා මැලේ දේශපාලන සංගමය” (All Ceylon Malay Political Union) ද මීට දශක කිහිපයකට පෙර සක්‍රීය දේශපාලනයෙන් අභාවයට ගොස් තිබුණි. පාර්ලිමේන්තු අසුනයක් දැරූ අවසන් මැලේ ජාතිකයා වූයේ 1989 දී පත්කළ මන්ත්‍රීවරයෙකි. එයින් අදහස් කරන්නේ වසර 37 ක් තිස්සේ ඔවුන්ට කිසිදු නියෝජනයක් නොමැති බවයි. ලෝකයේ වෙනත් කිසිදු ස්ථානයක දැකිය නොහැකි අයුරින් ඔස්ට්‍රොනේසියානු, සිංහල සහ දෙමළ භාෂා ත්‍රිත්වයෙන් සැදුම්ලත් ශ්‍රී ලාංකීය මැලේ භාෂාව (වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති භාෂාවක් ලෙස වර්ගීකරණය කර ඇත. එමෙන්ම මැලේ ජාතික ජ්‍යෙෂ්ඨ විද්වතුන් පවා පවසන්නේ, අද වන විට තම නිවෙස් තුළ පවා මැලේ භාෂාව කතා කරනු ලබන්නේ ඉතා කලාතුරකින් බවයි. 

කොම්පඤ්ඤවීදියේ මැලේ සමාජ ශාලාව, ශ්‍රී ලංකා මැලේ සංගමය සහ මහා සම්මේලනය වැනි ආයතන සිය සාමාජිකයන්ගේ කැපවීමෙන් අදටත් සක්‍රීයව පවතින නමුත්, එම සංගම්වල පවතින දේශපාලන නියෝජනයේ හිඩැස මේ වනවිට පිරවිය නොහැකි තත්ත්වයක තිබේ. ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේදී ඔවුන්ගේම හඬක් නොමැති වීම හේතුවෙන් මැලේ ප්‍රජාවට සිය භාෂාව, අධ්‍යාපන අයිතීන් සහ සිවිල් පිළිගැනීම වෙනුවෙන් පෙනී සිටීම අද වන සුවිසල් අභියෝගයක් බවට පත් වී තිබේ.

අදටත් නොබිඳුණු බැඳීම්  

මැලේ ජනතාගේ දේශපාලන ඉල්ලීම අතර ඕනෑම ශ්‍රී ලාංකීය දේශපාලන නායකයෙකුගේ අවධානයට ලක්විය යුතු කරුණක් වන්නේ, සිංහල බහුතරය සමඟ මෙම ප්‍රජාව සතුව පවතින සුවිශේෂී සබඳතාවයයි. දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකීය දේශපාලනය අර්ථ දැක්වූ බොහෝ වාර්ගික බෙදීම් මෙන් නොව, මැලේ ජනතාව සහ සිංහල සමාජය අතර පවතින සබඳතාවය ඉතාමත් පුළුල් වන අතර එය සියවස් ගණනාවක සැබෑ සහජීවනය මත පදනම් වූවකි. විශේෂයෙන්ම දිවයිනේ දකුණු සහ බස්නාහිර වෙරළබඩ සිංහල ප්‍රජාවන් සහ මුල්කාලීන මැලේ පදිංචිකරුවන් අතර සිදුවූ සැලකිය යුතු අන්තර්-විවාහයන් ශ්‍රී ලාංකීය විද්වතුන් විසින් ලේඛනගත කර ඇත. මෙම භාෂාමය මුසුවීම අහම්බයක් නොව,එයින් පිළිබිඹු වන්නේ පරම්පරා ගණනාවක් පුරා පැවති එම සමීප සමාජීය සබඳතා, වෘත්තීය සහයෝගීතාව සහ පවුල් සම්බන්ධතාවල ඉතිහාසයයි.

මැලේ ප්‍රජාව කිසිවිටෙකත් රටේ වාර්ගික ගැටුම්වල පාර්ශ්වකරුවන් නොවන අතර, ඔවුන් සෑමවිටම අනෙකුත් ප්‍රජාවන් සමඟ එක්වි සහජීවනයෙන් කටයුතු කොට ඇත. මෙය ඔවුන්ගේ උදාසීනත්වය හෝ දේශපාලන මධ්‍යස්ථභාවය නොව,  ශ්‍රී ලංකාවේ අනාගතය සිය අනාගතය ලෙස අභිමානයෙන් භාරගත් ජනතාවකගේ පරිණත බව පිළිබිඹු කිරීමකි. 

අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමන්ගේ පාලනය යටතේ ජාතික සමගිය සහ සියල්ලන් ඇතුළත් පාලන තන්ත්‍රයක් ගොඩනැගීමට ගෙන යන උත්සාහය තුළ, මැලේ ප්‍රජාව සතු සහජීවන සහ සියල්ලන් සමග එක්වීමේ අද්විතීය ගුණය දේශපාලනිකව කිසිදු බාධාවකින් තොරව, රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය වඩාත් පොහොසත් කළ හැකි වටිනා දේශපාලන සම්පතක් ලෙස හඳුනා ගත යුතුය. 

ශ්‍රී ලංකාවේ ඉතිහාසය පුරාවටම මැලේ ප්‍රජාව කිසිවිටෙකත් සතුරෙකු නොවී, රට ගොඩනැගීමේ නිරන්තර හවුල්කරුවෙකු ලෙස කටයුතු කළේය. වර්තමාන රාජ්‍යය විසින් මැලේ ප්‍රජාවගේ එම ඓතිහාසික සහයෝගිතාව සහ දායකත්වය නිසි ලෙස පිළිගැනීමටත්, ඔවුන්ට හිමි දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් තහවුරු කිරීමටත් කාලය පැමිණ තිබේ.

නියෝජනය යනු කුමක්ද?

මෙය වාර්ගික දේශපාලනයකට හෝ ජාතිවාදී පදනමකින් කණ්ඩායම් ලෙස එක්ව නැවත ගොඩනැගීම වෙනුවෙන් සිදු කරන ලද තර්කයක් නොවේ. එවැනි බෙදුම් වාදී දේශපාලනය නිසා ශ්‍රී ලංකාව අතීතයේදී අතිවිශාල වන්දියක් ගෙවා ඇති අතර, බුද්ධිමත් කිසිවෙකුත් එම අඳුරු ඉතිහාසය නැවත ප්‍රාර්ථනා කරන්නේ නැත. මෙහිදී අප අවධාරණය කරනු ලබන්නේ සංස්කෘතිය, ලේඛනගත දායකත්වය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ප්‍රතිපාදන මත පදනම් වූ, සැමට සාධාරණ සිවිල් නියෝජන ආකෘතියක ඇති වැදගත්කම පිළිබඳවයි.

සෑම මහා මැතිවරණයකින් පසු පිරිනමනු ලබන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 29, සෘජු මැතිවරණ ක්‍රමය තුළ නියෝජනයක් නොලබන ප්‍රජාවන්ගේ හඬ පාර්ලිමේන්තුවට රැගෙන ඒම සඳහා වෙන් කර ඇත. එමනිසා, ප්‍රධාන දේශපාලන පක්ෂයක් විශ්වාසවන්ත මැලේ නියෝජිතයෙකු ජාතික ලැයිස්තුවට ඇතුළත් කිරීමෙන් කිසිදු මැතිවරණ පාඩුවක් සිදු නොවන අතර, එමඟින් ශ්‍රී ලංකාවේ විවිධත්වය පිළිබඳ ඔවුන් සතු අවබෝධය ජාතියටම මනාව ප්‍රදර්ශනය කළ හැකිය. 

ප්‍රාදේශීය මට්ටමින්, විශේෂයෙන්ම කොළඹ මහා නගර සභාව සහ අදාළ ප්‍රාදේශීය සභාවන් හරහා මැලේ ප්‍රජාවට වඩාත් ක්ෂණික සහ සෘජු දේශපාලන ප්‍රවේශයක් ලබා ගත හැකිය. කොළඹ දිස්ත්‍රික්කයේ කොම්පඤ්ඤවීදිය, වැල්ලවත්ත වැනි ප්‍රදේශ කිහිපයක මෙම ප්‍රජාව කේන්ද්‍රගතව සිටින බැවින්, මනාව සංවිධානය වූ කොට්ඨාස මට්ටමේ මැතිවරණ ව්‍යාපාරයක් පැවැත්වීම යනු අතිශය ප්‍රායෝගික යෝජනාවකි. ඉතිහාසය පුරාම සුළුතර ප්‍රජාවන් තම දේශපාලන විශ්වසනීයත්වය සහ නායකත්වය ජාතික දේශපාලනය දක්වා ඔසවා තැබුවේ මෙවැනි පළාත් පාලන ආයතන තුළින් බැවින්, මෙය මැලේ ජාතික ප්‍රජාවගේ දේශපාලන පුනරුදය වෙනුවෙන් තබන ලද අත්තිවාරමක් ලෙස සඳහන් කළ හැකිය.

මැතිවරණ නියෝජනයෙන් ඔබ්බට ගොස්, ශ්‍රී ලාංකීය මැලේ ප්‍රජාවගේ සංස්කෘතික හා භාෂාමය උරුමයන් නිල වශයෙන් රාජ්‍ය මට්ටමින් පිළිගැනීම, ඔවුන්ගේ භාෂාව සංරක්ෂණය කිරීම, ජාතික විෂය මාලාවට එම දායකත්වය ඇතුළත් කිරීම සහ ඉතිහාසය නිසි ලෙස ලේඛනගත කිරීම කාලීන අවශ්‍යතාවකි. වර්ෂ 1927 දී මහත්මා ගාන්ධිතුමන් පවා ලාංකීය මැලේ ජනතාවගේ දායකත්වය ප්‍රසිද්ධියේ අගය කළ ද, සියවසකට පසු අද වන විටත් නූතන ශ්‍රී ලංකා රාජ්‍යය තමන්ගේම ප්‍රජාවන් පිළිබඳව පවත්වා ගන්නා අල්ප දැනුම ඉතාමත් ඛේදජනක ය. එය රාජ්‍යයක වගකීම් විරහිතභාවය මැනවින් කියාපාන්නකි.

නියෝජනය ලැබිය යුතු හඬක් 

මා මෙය ලියන්නේ මේ රට කෙරෙහි විශාල ලැදියාවක් ඇති, එමෙන්ම එහි අතීතය සහ එයට විය හැකි දේ පිළිබඳව පැහැදිලි දැක්මක් ඇති ශ්‍රී ලාංකීය මැලේ ජාතිකයෙකු වශයෙනි. ජාතික ජන බලවේගය (NPP) රජය බලයට පත්වූයේ ශ්‍රී ලාංකීය දේශපාලනයේ පැරණි රටාවන් බිඳ දැමිය යුතු බවත්, රාජ්‍යය එහි සියලුම ජනතාවට වගකිව යුතු බවත් යන විශ්වාසය මතය. සැබෑ ජාතික සමගිය පවතින්නේ සියලුම ප්‍රජාවන්ගේ හඬ නියෝජනය වන තැනයි. එබැවින්, මැතිවරණ ක්‍රමයේ ගණිතමය සීමාකම් හමුවේ දේශපාලනිකව අදෘශ්‍යමාන වූ ප්‍රජාවන්ගේ අයිතීන් උදෙසා දේශපාලන ව්‍යුහය තුළ නිසි අවකාශයක් වෙන් කිරීම වත්මන් පාලනාධිකාරියේ වගකීමකි.

හතළිස් දහසකට ආසන්න මැලේ ජනතාවක් සියවස් තුනකට අධික කාලයක් පුරාවට ශ්‍රී ලංකාවට අමිල සේවයක් ඉටු කර ඇත. එහෙත් අද වන විට පාර්ලිමේන්තුව තුළ අපගේ හඬ නියෝජනය කිරීමට එකදු මන්ත්‍රීඅසුනක්වත් නොමැත. 

සැබෑ නියෝජනයක් අපේක්ෂා කරන රජයකට මෙය පිළිගත නොහැකි තත්ත්වයකි.  එහෙත්, යම් දේශපාලන අධිෂ්ඨානයක් තිබේ නම් එය සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකිය. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඕර්නබ්’ ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය 32% දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...

හම්බන්තොට දැවැන්ත ගෑස් පර්යන්තය පිළිබඳ තීරණයක් ගැනීමට ලාෆ්ස් සමාගම සැරසෙයි

ලාෆ්ස් ගෑස් පීඑල්සී සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LAUGFS...

මෝදිගේ පෞද්ගලිකත්ව නීතියට එරෙහිව අම්බානිගේ හා අදානිගේ මාධ්‍ය ආයතන අධිකරණයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඉන්දීය අග්‍රාමාත්‍ය...