රෝගීන් වෙනුවෙන් සිරගත වූ වෛද්‍යවරයා: ගාසා තීරයෙන් ඇසෙන අනුවේදනීය කතාවක්…

රෂිකා හෙන්නායක ජූලි 15, කොළඹ LNW :

රුමේනියාවේ වෛද්‍ය අධ්‍යාපනය ලබා, ස්වීඩනය වැනි යුරෝපීය රටක සුවපහසු ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව හිමිව තිබියදීත්, 2010 වසරේදී වෛද්‍ය හසන් කලීල් අල්මුකයෙඩ් (Dr Hassan Khalil Almukayed) නැවත ගාසා තීරයට පැමිණියේ තම උපන් බිමේ අසරණ වූ ජනතාවට සේවය කිරීමේ උදාර අරමුණෙනි.

එහෙත්, මානුෂීය මෙහෙවරක නිරත වූ මෙම විශේෂඥ වෛද්‍යවරයාට අද හිමිව ඇත්තේ සිරමැදිරියක අඳුරයි. වෘත්තීය කැපවීම සහ පවුලේ සෙනෙහස අතර දෝලනය වෙමින්, යුද්ධයේ අමානුෂිකත්වය හමුවේ වෛද්‍යවරයෙකු තම ජීවිතය පවා පරදුවට තබා රෝගීන් වෙනුවෙන් පෙනී සිටින්නේ කෙසේද යන්නට වෛද්‍ය හසන්ගේ කතාව ප්‍රබල සාක්ෂියකි.

ආරක්ෂාවට වඩා සේවය උතුම් කොට සැලකීම

2024 ඔක්තෝබර් මාසයේදී ඉශ්‍රායල හමුදා උතුරු ගාසා තීරයට දැඩි ප්‍රහාර එල්ල කරමින්, සියලු දෙනාට වහාම ඉවත් වන ලෙස නියෝග කළහ. එහෙත් වෛද්‍ය හසන් සහ ඔහුගේ සගයන් කමල් අද්වාන් (Kamal Adwan) රෝහල අතහැර යාම ප්‍රතික්ෂේප කළහ. ඒ වන විටත් රෝහලේ දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටි, තමන්ගේම කියා හුස්ම ගැනීමට පවා අසීරු කුඩා නව ජන්ම බිළිඳුන් (newborn infants) මරණයට පාවා දී යාමට ඔවුන්ගේ වෛද්‍ය ප්‍රතිඥාව ඉඩ දුන්නේ නැත.

මෙය රාජකාරියක් නොව, මරණය අබියස කළ මානුෂීය පරිත්‍යාගයකි. ඔහු තම පවුලෙන් සමුගත් ඒ කඳුළු පිරි මොහොත ඔහුගේ බිරිඳ වන නාඩියා අල්මුකයෙඩ් මෙසේ විස්තර කළාය:

“අප දෙදෙනාම දන්නවා මොකක්ද සිද්ධ වෙන්න යන්නේ කියලා, නමුත් අපිට සිද්ධ වෙනවා දෙවියන්ගේ කැමැත්ත බාරගෙන ඉවසීමෙන් ඉන්න. එවිට ඔහු අපට ශක්තිය සහ සහනය ලබා දෙනු ඇත.”

චෝදනාවකින් තොරව රඳවා ගැනීම සහ නීතිමය තත්ත්වය

වෛද්‍ය හසන් අත්අඩංගුවට ගෙන මේ වන විට මාස 21කට අධික කාලයක් ගත වී ඇතත්, ඔහුට එරෙහිව කිසිදු නිල චෝදනාවක් ඉදිරිපත් කර නොමැත. , ජාත්‍යන්තර නීතිය තුළ පවා පිළි නොගන්නා ‘Unlawful Combatants Law’ (නීතිවිරෝධී සටන්කරුවන් පිළිබඳ නීතිය) යටතේ ඔහුව රඳවා තබා ගැනීම බරපතල අසාධාරණයක් බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි. මෙය ජිනීවා සම්මුතීන් මගින් සහතික කර ඇති ‘වෛද්‍ය මධ්‍යස්ථභාවය’ (Medical Neutrality) පිළිබඳ මූලධර්මය සෘජුවම උල්ලංඝනය කිරීමකි. කිසිදු නඩු විභාගයකින් තොරව වෛද්‍යවරයෙකු අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම, මානුෂීය මෙහෙවරට එල්ල කළ මරු පහරක් බව පෙන්වා දෙයි..

සිරගෙදර කටුක අත්දැකීම් සහ ශාරීරික පරිහානිය

සිරගෙදර තුළ වෛද්‍ය හසන් මුහුණ දෙන තත්ත්වය අතිශයින්ම ශෝචනීයය. රාත්‍රී 11 වන තුරු නිදා ගැනීමට ඉඩ නොලැබෙන අතර, සිරමැදිරිවල ආලෝකය කිසිවිටෙකත් නිවා නොදැමීම සහ ශබ්ද විකාශන යන්ත්‍ර මගින් නිරන්තරයෙන් බාධා කිරීම වැනි මනෝවිද්‍යාත්මක වධහිංසාවලට ඔහු ලක්ව සිටියි. දියවැඩියාවෙන් සහ අධික රුධිර පීඩනයෙන් පෙළෙන ඔහුට, සිරුර පුරා පැතිර ගිය ‘Scabies’ (හොරි) රෝගය සඳහා පවා සති ගණනාවක් යනතුරු ප්‍රතිකාර ලබා දී නොමැති බව වාර්තා වේ .

ප්‍රමාණවත් ආහාර නොලැබීම හේතුවෙන් ඔහුගේ ශරීර බර කිලෝග්‍රෑම් 40කින් පමණ අඩු වී ඇති බව වාර්තා වේ. ඔහු සිරගතව සිටින අතරතුර ඔහුගේ පවුලට අත් වූ ඉරණම ඊටත් වඩා දරුණුය. සිරගත වීමට පෙර, රෝහලකට යාමට නොහැකිව ඔහුගේ මව ඔහුගේ දෑත් මතම පණ පිහිටුවා මියගිය අතර, ඔහුගේ පියා වූ ඛලීල් අල්මුකයෙඩ් ද කෙටි කාලීන අත්අඩංගුවට ගැනීමකින් පසු දැඩි කම්පනයෙන් මියගොස් ඇත. ඉශ්‍රායල හමුදාව විසින් පියාගේ ඖෂධ උදුරාගෙන, පතුල සිදුරු කළ වතුර බෝතලයක් ලබා දී තිබූ බවත්, ඔහු මියගියේ තම පුතුන් ගැන ඇති වූ දැඩි ශෝකයෙන් බවත් පවුලේ අය පවසති. වෛද්‍ය හසන් තවමත් තම පියාගේ මරණය ගැන නොදන්නා අතර, ඔහුගේ පවුලේ අය එම පුවත ඔහුට පැවසීමට බිය වී සිටිති.

අශ්ව කරත්තයෙන් සේවයට ගිය වෛද්‍යවරයා

වෛද්‍ය හසන් යනු ගාසා තීරයේ වෛද්‍යවරුන් සතු අප්‍රතිහත ධෛර්යයේ සංඛේතයකි. යුරෝපයේ පුහුණුව ලැබූ දක්ෂ රුධිර වාහිනී ශල්‍ය වෛද්‍යවරයකු (Vascular surgeon) වූ ඔහු, යුද ප්‍රහාර හමුවේ තම මෝටර් රථය විනාශ වූ පසුව පවා පසුබට වූයේ නැත. ඔහු බූරු කරත්තයක (donkey cart) නැගී රෝහල වෙත ගොස් තම සේවය අඛණ්ඩව ඉටු කළේය. අති නවීන පහසුකම් වෙනුවට ප්‍රාථමික ප්‍රවාහන ක්‍රම භාවිතා කරමින් වුවද, තම රෝගීන් වෙනුවෙන් ඔහු දැක්වූ කැපවීම වෘත්තීය ගෞරවයේ උපරිම සීමාව පෙන්නුම් කරයි.

සෞඛ්‍ය පද්ධතිය ඉලක්ක කිරීමේ ක්‍රමානුකූල උත්සාහය

මෙම සිරගත කිරීම හුදෙක් වෛද්‍යවරයෙකුට පමණක් සිදු වූ හුදෙකලා සිදුවීමක් නොවේ. ගාසා තීරයේ සෞඛ්‍ය සේවකයින් 350කට අධික පිරිසක් රඳවා තබා ගැනීම හරහා පෙනී යන්නේ, ප්‍රදේශයේ සෞඛ්‍ය පද්ධතිය ක්‍රමානුකූලව අඩපණ කිරීමේ උත්සාහයකි. උතුරු ගාසා තීරයේ ඉතිරිව සිටි එකම විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් අයෙකු වූ වෛද්‍ය හසන් ඉවත් කිරීම හරහා, දහස් සංඛ්‍යාත සිවිල් වැසියන්ට ලැබිය යුතු වෛද්‍ය සේවාවන් අහිමි කර තිබේ. මෙය ජනතාව බලහත්කාරයෙන් එම ප්‍රදේශවලින් ඉවත් කිරීමේ යුද උපක්‍රමයක් ලෙස ද හැඳින්විය හැකිය.

වෛද්‍ය හසන්ගේ බිරිඳ සහ දරුවන් තිදෙනා අද අල්-මාවාසි (al-Mawasi) ප්‍රදේශයේ තාවකාලික කූඩාරමක දුෂ්කර ජීවිතයක් ගත කරති. ඔහුගේ දියණිය වන හාලාගේ උපන්දිනය වෙනුවෙන් කේක් එකක් සාදන ලෙස ඔහු සිරගෙදර සිට නීතිඥයන් මාර්ගයෙන් පණිවිඩයක් එවා තිබුණි. සිර මැදිරියක අමානුෂික වධහිංසා මැද වුවද, ඔහුගේ සිත තවමත් ඇත්තේ තම දරුවන්ගේ සිනහව සහ රෝගීන්ගේ සුවය අසලයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඕර්නබ්’ ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය 32% දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...

හම්බන්තොට දැවැන්ත ගෑස් පර්යන්තය පිළිබඳ තීරණයක් ගැනීමට ලාෆ්ස් සමාගම සැරසෙයි

ලාෆ්ස් ගෑස් පීඑල්සී සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LAUGFS...

මෝදිගේ පෞද්ගලිකත්ව නීතියට එරෙහිව අම්බානිගේ හා අදානිගේ මාධ්‍ය ආයතන අධිකරණයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඉන්දීය අග්‍රාමාත්‍ය...