හිතාමතාම බදු සඳහා ලියාපදිංචි නොවූ, බදු වාර්තා (tax returns) ඉදිරිපත් නොකළ හෝ ආදායම් සැඟවූ පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය ක්රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
ජූනි 3 වන දින සිට බලාත්මක වූ 2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත යටතේ, නියමිත දින 30ක කාලසීමාව තුළ ඉහත කී අවශ්යතා ඉටු කිරීමට ව්යාපාර හෝ පුද්ගලයින් අපොහොසත් වුවහොත් ඔවුන්ට එරෙහිව නඩු පැවරීම සඳහා නීතිමය ක්රියාමාර්ග ගැනීමට දෙපාර්තමේන්තුවට බලය පැවරී ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකින් දැක්වෙන්නේ.
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ලියාපදිංචි වී ආදායම් බදු වාර්තා ගොනු කිරීමට අපොහොසත් වීම හෝ වාර්ෂික ප්රකාශන (මූලාශ්රයේදී බදු අය කිරීමේ බදු [Withholding Tax] සහ අත්තිකාරම් පුද්ගලික ආදායම් බදු [APIT] වාර්තා ඇතුළුව) ගොනු කිරීමට අපොහොසත් වීම, නඩු පැවරීමට ලක්විය හැකි නිශ්චිත වැරදි ලෙස සැලකේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ නඩු පැවරීම යනු අවසාන පියවරක් බවත් සාධාරණත්වය තහවුරු කිරීම සඳහා අධිකරණ ක්රියාමාර්ගවලට පෙර අනිවාර්ය නීතිමය ක්රියාවලියක් අනුගමනය කරන බවත්, එහිදී නීතියට අනුකූලව කටයුතු නොකරන බදු ගෙවන්නන්ට නඩු පැවරීමේ අභිප්රාය පිළිබඳ විස්තර ඇතුළත් නිල ලිඛිත දැනුම්දීමක් පළමුව සිදුකෙරෙනු ඇති බවත් ය. එම දැනුම් දීම නිකුත් කළ දින සිට දින 30ක සහන කාලයක් බදු ගෙවන්නාට ලැබෙනු ඇති අතර ඒ දින 30 තුළ බදු වාර්තා, වාර්ෂික ප්රකාශන ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් එය වරදක් වශයෙන් සැලකේ.
ඒ අනුව එම වරදට අදාළව මහේස්ත්රාත්වරයෙකු ඉදිරියේ පැවැත්වෙන ක්ෂණික නඩු විභාගයකින් (summary trial) පසු වරදකරු වුවහොත්, රුපියල් 400,000 නොඉක්මවන දඩයකට හෝ මාස හයකට නොවැඩි කාලයක සිර දඬුවමකට හෝ එම දඬුවම් දෙකටම යටත් විය හැකි බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.


