සටහන – රුවන් නෙළුගොල්ල
සමගි ජන බලවේගයේ රජයක් යටතේ දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම බහු කාර්ය තාක්ෂණ උද්‍යාන ආරම්භ කරණ බවත් මේ බහු කාර්ය තාක්ෂණ උද්‍යාන තුළ ඩිජිටල් තාක්ෂණ පුහුණු මධ්‍යස්ථාන ඇති කරන බවත් ඒ හරහා තරුණයන්ට ඩිජිටල් ලෝකයට ප්‍රවේශය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ප්‍රජා බැංකු පහසුකම්, ප්‍රජා තැපැල් පහසුකම්, පෙරපාසල, ප්‍රජා ශාලාව මෙන්ම විනෝදාත්මක කටයුතු සඳහා පහසුකම්, සෞඛ්‍ය මධ්‍යස්ථාන, රැකියා, අධ්‍යාපන හා වෘත්තීය මාර්ගෝපදේශන ඇතුළත් ඩිජිටල් තාක්ෂණ Tech Park ආරම්භ කරන බව පැවසූ ඒ මහතා ඒ තුළ රාජ්‍ය සේවයට තරුණයන්ට හා සිසුන්ට නව තාක්ෂණයට ප්‍රවේශය නිර්මාණය වන බවයි පෙන්වා දුන්නේ.
මේ හරහා ගමේ තරුණයන්ට නව නිර්මාණ බිහි කළ හැකි බවත් ප්‍රජා ගුවන්විදුලි සේවා, රුපවාහිනි සේවා, නව තාක්ෂණය හරහා නව සන්නිවේදන ජාලා ද ආරම්භ කරන බවත් මෙය ග්‍රාම නගර රාජ්‍ය වැඩසටහනේ ප්‍රධාන පියවර බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
මේ වැඩපිළිවෙළ තුළ සෘජු ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක බවත් ප්‍රජා කේන්ද්‍රීය ප්‍රජා සහභාගීත්ව ගමනක් යා හැකි බවත් නව තාක්ෂණය එක්ක අපි ගව්ගානක් දුර සිටින බවත් මගහැරුණු දේවල් ලබාගත යුතු නිසා දැවැන්ත පිම්මක් පැනිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 332 වැනි අදියර යටතේ කළුතර බේරුවල හල්කදවිල මහා විද්‍යාලයට රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ නර්තන කණ්ඩායමට ඇදුම් ලබා ගැනිමට පාසල් සංවර්ධන ගිණුමට රු. ලක්ෂයක මුදලක් ද ඒ මහතා පරිත්‍යාග කළේය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 63කට රුපියල් ලක්ෂ 1906ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණ පරිත්‍යාග කර තිබේ. සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 89ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 89ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4342ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 332ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3674ක් වැය කර තිබේ.