නෝලන්ගේ The Odyssey: හෝමර්ගේ මහා කාව්‍යය නැවත ලියූ සිනමාමය භාෂාව!

සටහන – පුලී

ජූලි 22, LNW (කොළඹ): හෝමර්ගේ The Odyssey යනු පේළි 12,000කට අධික, සම්පූර්ණයෙන්ම ශබ්ද නගා කියවීමට පැය 24ක් පමණ ගතවන පුරාණ ග්‍රීක මහා කාව්‍යයකි. එවැනි අතිවිශාල කෘතියක් පැය තුනක සිනමාපටයක් බවට පරිවර්තනය කිරීම, පිටු ගණනක් කපා හැරීම පමණක් නොව, කතාවේ හදවත නැවත අර්ථකථනය කිරීමක්ද වනු ඇත.

අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් නෝලන්ගේ The Odyssey එවැනි නිර්මාණාත්මක අභියෝගයකට පිළිතුරු සපයන අග්‍රගන්‍යයේ සිනමා කෘතියකි. ඔහු හෝමර්ගේ කතාව පිටපත් කළේ නැත; ඒ වෙනුවට, එය නව පරම්පරාවකට ගැළපෙන සිනමා භාෂාවකින් නැවත පරිවර්තනය කළේය.

දෙවියන් වෙනුවට මිනිසා!

කතාවට අනුව දෙවිවරු මනුෂ්‍යයන්ගේ ජීවිතයට සෘජුවම මැදිහත් වෙති. අතීනා ඔඩිසියස්ට මඟ පෙන්වයි. පොසයිඩන් ඔහුගේ ගමන අවහිර කරයි. හර්මීස් දේව පණිවිඩ රැගෙන යයි!

නමුත් නෝලන්ගේ සිනමාවේ මේ දෙවියන්ගේ ලෝකය සම්පූර්ණයෙන්ම වෙනස් වේ. අතීනා පමණක් ඔඩිසියස්ට පෙනෙන දර්ශනයක් ලෙස ඉදිරිපත් වන අතර, ඇය සැබෑ දෙවියෙකුට වඩා ඔහුගේ හෘදසාක්ෂිය හෝ අභ්‍යන්තර හඬ ලෙස පෙන්නුම් කරයි.

මෙය නොලන්ගේ සුපුරුදු ප්‍රවේශයක් කීවොත් මා නිවැරදි ය. Interstellar, Inception සහ Oppenheimer වැනි චිත්‍රපටවලද ඔහු අද්භූත බලවේගවලට වඩා මනුෂ්‍ය මනස, වගකීම සහ තීරණවල බර ගවේෂණය කර තිබුණි.

නැති වූ චරිත, නමුත් රැඳුණු හදවතක්!

හෝමර්ට අනුව අතිශය ජනප්‍රිය කොටසක් වන නවුසිකා සහ ෆයීෂියන්වරුන්ගේ රාජධානිය නෝලන් සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබේ.

ඒ වෙනුවට, ඔඩිසියස්ගේ අතීත අත්දැකීම් ක්‍රමයෙන් මතකයට නැගෙන ආකාරයෙන් කැලිප්සෝ සමඟ සංවාද හරහා ඉදිරිපත් කරයි. එමඟින් කතාව සරල වනවා පමණක් නොව, ප්‍රේක්ෂකයා ඔඩිසියස්ගේ මනෝභාවය තුළට ගෙන යෑමට කඳිම තෝතැන්නකි. 

එසේම මළවුන්ගේ ලෝකයේ අකිලීස්, ඇජැක්ස්, ඔඩිසියස්ගේ මව සහ එල්පෙනෝර් වැනි චරිතද නොපෙන්වයි. මේවා කාව්‍යයේ ගැඹුරු හැඟීම් ඇති කරන දර්ශන වුවද, සිනමා ප්‍රවේශය සහ කාලය පවත්වා ගැනීම සඳහා නෝලන් ඒවා අත්හැර තිබේ.

හෝමර් ලියූ දේට වඩා දෙයක්!

නෝලන් කපා හැරීම් පමණක් නොව, අලුත් අදහස්ද එක් කරන්නට විය.

ට්‍රෝජන් අශ්වයා පිළිබඳ සම්පූර්ණ කතාව හෝමර්ගේ Odyssey තුළ නොමැති නමුත්, එය ඔඩිසියස්ගේ බුද්ධිය නිරූපණය කරන වැදගත් සිදුවීමක් නිසා නොලන් එය සිනමාවේ ප්‍රධාන ආරම්භයක් බවට පත් තිබිණි.

තවද සයිනොන් නම් චරිතය හෝමර්ගෙන් නොව, වර්ජිල්ගේ Aeneid කෘතියෙන් ගෙන එයි. ඔහුගේ පසුබිම් කතාවද නෝලන්ගේම නිර්මාණයකි.

ඊට අමතරව “මුහුදෙන් පැමිණෙන ජනතාව” සහ ට්‍රෝජන් යුද්ධය “වෙළඳ මාර්ග” සඳහා වූ අරගලයක් ලෙස ඉදිරිපත් කිරීමෙන්, පුරාණ ඉතිහාසයේ ආර්ථික හා දේශපාලන පැතිකඩටද ඔහු අවධානය යොමු කරයි.

කැලිප්සෝ – ආදරයෙන් මනෝවිද්‍යාවට!

හෝමර්ගේ කැලිප්සෝ ආදරයෙන් බැඳුණු නින්ෆ්වරියකි. ඇය ඔඩිසියස්ව අවුරුදු ගණනාවක් තමන් සමඟ රඳවා ගනී. ඔහු නිදහස් වන්නේ සීයුස්ගේ නියෝගයෙන් පමණි.

නමුත් නෝලන්ගේ කැලිප්සෝ මතකය අහිමි කරන ඕලු මල් භාවිතා කරන, පසුව ඔහුට අනුකම්පා කර නිදහස ලබා දෙන චරිතයකි.

මෙම වෙනසෙන් කතාවේ අවධානය ආදර සබඳතාවයෙන් මනෝවිද්‍යාත්මක අරගලයක් වෙත හැරේ. සටන් කරන්නේ මුහුද සමඟ පමණක් නොව, තමන්ගේම මතකයන් සමඟද යන්න මෙයින් ගම්‍ය වේ.

අවසානයටත් වෙනසක්!

හෝමර්ගේ කතාව අවසන් වන්නේ තවත් ගැටුම් රැසක් සමඟය. මියගිය පෙම්වතුන්ගේ ආත්මයන්, ලයර්ටීස් සමඟ හමුවීම සහ අවසාන සටන එහි අඩංගු වේ.

නෝලන් මේ සියල්ල ඉවත් කරයි.

ඔහුගේ අවසානය වඩාත් සංවේදීය. ටෙලමකස් ඉතාකාහි රජු බවට පත්වන අතර, ඔඩිසියස් සහ පෙනෙලොපී තම මියගිය සගයන්ට ගෞරව දැක්වීම සඳහා නව ගමනක් ආරම්භ කරයි. එය ජයග්‍රහණයක අවසානයක් නොව, වගකීමක ආරම්භයකි.

සිනමාව සහ සාහිත්‍යය අතර වෙනස!

නෝලන්ගේ The Odyssey හෝමර්ගේ කාව්‍යයට විශ්වාසවන්ත පිටපතක් නොව එය එම කෘතිය පිළිබඳ නව අර්ථකථනයක් ලබා දෙන්නක් විය.

සමහරුන්ට මෙම වෙනස්කම් ඕනෑවටත් වඩා පෙනිය හැකිය. තවත් සමහරුන්ට එය පුරාණ කතාවක් නූතන ලෝකයට ගැළපෙන ආකාරයෙන් නැවත උපන් අවස්ථාවක් ලෙස ද පෙනෙන්නට පුලුවන.

කෙසේ වෙතත්, නෝලන් අපට මතක් කර දෙන්නේ එක් වැදගත් සත්‍යයකි. ශ්‍රේෂ්ඨ කතාවක් යනු වචනයෙන් වචනය නැවත කියවිය යුතු දෙයක් නොව, සෑම යුගයකම නව අර්ථයක් ලබාගත හැකි ජීවමාන කෘතියක් වන බවයි.

හෝමර්ගේ Odyssey වසර තුන්දහසකට පසුවත් ජීවමානව සිටින්නේ එබැවිනි. ක්‍රිස්ටෝපර් නෝලන් එය වෙනස් කළේ නැත; ඔහු එයට තවත් එක් පරම්පරාවක හඬක් එක් කළේය. එච්චරයි!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ සිහිනයට යෑම සඳහා විවිධ අණපනත් රෙගුලාසි සම්මත කරගන්න වේවි – මන්ත්‍රී සුරවීර

ජාතික ජන බලවේගයට බලය ලබාදුන් ජනතාව විසින් ලබාදී ඇති...

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...