එල් -නිනෝ දේශගුණික වෙනස්වීමට මුහුණ දීමට ගොවියන්ගෙන් කරන ඉල්ලීම!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ඉදිරියේදී ඇතිවිය හැකි එල්-නිනෝ දේශගුණික තත්ත්වය සම්බන්ධයෙන් ගොවි ජනතාව අනවශ්‍ය ලෙස බියට පත් නොවී විද්‍යාත්මක දත්ත සහ අදාළ ආයතනවල නිල උපදෙස් මත පදනම්ව කෘෂිකාර්මික තීරණ ගැනීම වැදගත් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා පවසයි.

මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල යල කන්නයේ අස්වැන්න නෙළීම අවසන් වී හෝ අවසන් අදියරේ පවතින බැවින් එල් නිනෝ තත්ත්වය පිළිබඳ අනවශ්‍ය බියක් ඇති කර ගැනීම අවශ්‍ය නොවන බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය යටතේ පවතින ජලාශවල ප්‍රමාණවත් ජලය පවතින අතර යල කන්නයේ වර්ෂාපතනයේ යම් අඩුවීමක් සහ උෂ්ණත්වය ඉහළ යාමේ ප්‍රවණතාවක් පුරෝකථනය කර ඇති බැවින් දැනට පවතින වාරි ජලය කාර්යක්ෂමව භාවිත කරමින් වගා කටයුතු සැලසුම් කළ යුතු බව ඔහු කියා සිටියි.

එල් -නිනෝ තත්ත්වය හමුවේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කළද විශාල ගංවතුර අවදානමක් පුරෝකථනය කර නොමැති හෙයින් මහ කන්නයේ ආරම්භක අදියරේ වැඩි වර්ෂාපතනයටත් අවසාන අදියරේ අඩු වර්ෂාපතනයටත් ගැළපෙන පරිදි වගා සැලසුම් සකස් කරන ලෙසයි ඔහු ගොවීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර ඔක්තෝබර් 15 වනදා පමණ වන විට වී වගාව අවසන් කර වගාව ස්ථාවර කර ගැනීම, අඩු කාලීන වී ප්‍රභේද භාවිතය, ජල හා පාංශු සංරක්ෂණය සහ දේශගුණයට අනුවර්තන කෘෂිකාර්මික ක්‍රමවේදයන් අනුගමනය කිරීම ඉදිරි මහ සහ 2027 යල කන්න සඳහා වැදගත් වන බව ද ඔහු පෙන්වා දෙයි.

ගොවි ජනතාව දැනුවත් කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ අදාළ ආයතන එක්ව මාර්ගෝපදේශයක් සකස් කර ක්ෂේත්‍ර නිලධාරීන් වෙත ලබාදී ඇති අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන තහවුරු නොකළ තොරතුරුවලට නොරැවටී නිල ආයතන නිකුත් කරන උපදෙස් අනුව කෘෂිකාර්මික කටයුතු සැලසුම් කරන ලෙස ද අධ්‍යක්ෂ ජනරාල්වරයා ගොවි ජනතාවගෙන් තවදුරටත් ඉල්ලා සිටියි.

මේ අතර එල්-නිනෝ තත්ත්වය මේ වන විට දැඩිව වර්ධනය වී ඇති අතර එහි උච්චතම අවස්ථාව බලාපොරොත්තු වූ කාල සීමාවට පෙර මෙරටට පැමිණිය හැකි බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි.

ඒ අනුව ජූලි, අගෝස්තු, සැප්තැබර් යන මාසයන්වලදී ඉතා දැඩි වියළි කාලගුණ තත්ත්වයක් උදාවිය හැකි අතර ඔත්තොබර්, නොවැම්බර්, දෙසැම්බර් මාසවලදී දැඩි වර්ෂාපතයක් දිවයිනට බලපා හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එල් -නිනෝ තත්ත්වයට මුහුණදීම සඳහා රාජ්‍ය අංශ ආයතනික වශයෙන් දැඩි බලගැන්වීමක් සිදුකරනු ලබන බවත් මෙම තත්ත්වය ලංකාවට පමණක් නොව ගෝලීයව බලපාන පාරිසරික තත්ත්වයක් වන බවත් හෙතෙම කියාසිටියි.

එම නිසා මෙම තත්ත්වයට මුහුණදීම සඳහා ජනතාවගේ සහයෝගය මෙන්ම සහභාගීත්වය ද ඉතා වැදගත් බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා සහ පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා මෙම අදහස් දක්වා සිටියේ අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති එල් නිනෝ තත්ත්වය සහ එහි ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම් පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...

විහාරමහාදේවියේ පැවති අඛණ්ඩ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ...