සියල්ල වෙනස් කරන මුද්ද බිහිවන මොහොත! The Rings of Power තුන්වැනි වාරයෙන් සෞරෝන්ගේ සැබෑ රාජ්‍යයේ ආරම්භය කෙබඳු වේද?

සටහන – පුලී

ජූලි 23, LNW (කොළඹ):

“One Ring to rule them all, One Ring to find them…”

The Lord of the Rings චිත්‍රපටය ආරම්භයේම ගැලඩ්‍රියල්ගේ හඬින් ඇසෙන මෙම වදන් සිනමා ඉතිහාසයේ අමතක නොවන හැඳින්වීමක් බවට පත්වී තිබේ. එහි කතාව පවසන්නේ, මධ්‍යම පෘථිවියේ ජාතීන්ට බලවත් මුදු බෙදා දුන් අඳුරු අධිපති සෞරෝන් අවසානයේ සියලු මුදු පාලනය කළ හැකි එකම මුද්ද – The One Ring රහසිගතව නිර්මාණය කළ ආකාරයයි. වසර ගණනාවක් පුරා රසිකයන් බලාපොරොත්තු වූ එම ඓතිහාසික මොහොත දැන් අවසානයේ තිරයට පැමිණීමට සූදානම් වී තිබේ.

Amazon Prime Video හි දැවැන්ත ෆැන්ටසි කතාමාලාවක් වන The Rings of Power එහි තුන්වැනි වාරය තුළ, සෞරෝන් විසින් මවුන්ට් ඩූම් (Mount Doom) ගිනිකන්දේ ගිනි හදවත තුළ ‘The One Ring’ නිර්මාණය කරන දර්ශනය අනිවාර්යයෙන්ම ඇතුළත් වන බව කතාමාලාවේ සම-නිර්මාතෘ පැට්‍රික් මැකේ නිල වශයෙන් තහවුරු කර ඇත. ඔහු පවසන්නේ, “මේ තමයි අපි මුල් වාරයේ සිටම ගොඩනඟමින් ආපු කතාවේ විශාලතම අවස්ථාව. මේ වාරයේ සෞරෝන් ‘The One Ring’ නිර්මාණය කරනවා,” යනුවෙනි.

පසුගිය වාර දෙක තුළ රසිකයන් දුටුවේ සෞරෝන් සෙවණැලි අතරින් ක්‍රියා කරමින්, එල්ෆ්වරුන්ගේ විශ්වාසය දිනාගෙන බලයේ මුදු නිර්මාණයට මැදිහත් වූ ආකාරයයි. නමුත් ගැලඩ්‍රියල්ගේ මැදිහත්වීම හේතුවෙන් සියලු මුදු එකවර තම අතට ගැනීමට ඔහුට නොහැකි විය. එම අසාර්ථක උත්සාහයෙන් පසුව, දැන් ඔහු තනිවම සියලු බලය එක්රැස් කරන, ලෝකයේ ඉරණම වෙනස් කරන එකම මුද්ද නිර්මාණය කිරීමට සූදානම් වෙයි.

මෙවර කතාමාලාවේ සෞරෝන්ගේ චරිතය සම්පූර්ණයෙන්ම වෙනස් වන බව සම-නිර්මාතෘ ජේ.ඩී. පේන් පවසයි. “පසුගිය වාරවල දුටු සෞරෝන්ට වඩා මෙවර ඔබ දකින්නේ සම්පූර්ණ දුෂ්ටයෙක්. මේ වාරය වඩාත් අඳුරුයි, වඩාත් භයානකයි. කිසිවෙක් ආරක්ෂිත නැහැ,” යනුවෙන් ඔහු අනතුරු අඟවයි. ඒ අනුව, මධ්‍යම පෘථිවියේ වීරයන්ට පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණදීමට සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර, Empire Magazine විසින් නිකුත් කළ නව ඡායාරූපයක චාලි විකර්ස් රඟපාන සෞරෝන් අඳුරු සිංහාසනයක අසුන්ගෙන සිටින අයුරු දැක්වෙන අතර, එය ඔහුගේ බලයේ නව යුගය ආරම්භ වන බවට ඉඟි පළ කරයි. රසිකයන්ගේ මතය අනුව, මෙය මෙතෙක් The Rings of Power කතාමාලාවේ දැකගත හැකි වූ විශාලතම හා තීරණාත්මකම වාරය විය හැකිය.

The Lord of the Rings ලෝකයේ සියලු සිදුවීම්වලට මූලික වූ ‘The One Ring’ බිහිවන මොහොත දැකබලා ගැනීමට ලොව පුරා මිලියන සංඛ්‍යාත රසිකයන් දැඩි උනන්දුවෙන් බලා සිටින අතර, තුන්වැනි වාරය මධ්‍යම පෘථිවියේ ඉතිහාසය සදාකාලිකවම වෙනස් කරන ආරම්භයක් වනු ඇති බවට මේ වන විටත් විශාල බලාපොරොත්තුවක් ගොඩනැඟී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...