ඩිජිටල් මරණ සහතික නිකුත් කෙරෙන නව දත්ත පද්ධතියක් එළිදැක්වේ.                                                                           

රෂිකා හෙන්නායක ජූලි 24, කොළඹ LNW :

රෙජිස්ට්‍රාර් සේවයේ නව නිලධාරීන් 49 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ.

“නව පත්වීම් ලාභීන් තමන්ගේ වගකීමේ පංගුව නිවැරදිව ඉටු කළොත් අපට රටක් ලෙස සමස්ත අභියෝගයන්  ජයග්‍රහණය කරන්න පුළුවන්”  —අමාත්‍ය මහාචාර්ය  චන්දන අබයරත්න

“රාජ්‍ය සේවයේ පැරණි යන්ත්‍රණය වෙනස් කරමින් අලුත් ඩිජිටල් තාක්ෂණය සමඟ නවීන රාජ්‍ය යන්ත්‍රණයක් ගොඩනැගීමේ වගකීම නව නිලධාරීන්ට පැවරෙනවා” — නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත් මහතා

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන ඉ-ජනගහන ලේඛන වැඩසටහන යටතේ ඩිජිටල් මරණ සහතික නිකුත් කිරීමේ නව දත්ත පද්ධතිය නිල වශයෙන් එළිදැක්වීම  සහ  රෙජිස්ට්‍රාර් සේවයේ III පන්තියේ II ශ්‍රේණියේ, අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් නව පත්වීම්ලාභී නිලධාරීන් 49 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත් මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (23) දින බත්තරමුල්ලේ පිහිටි එම දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී සිදුවිය.

ඩිජිටල් මරණ සහතික දත්ත පද්ධතිය                                                                                                                 

 මීට පෙර භාවිත වූ අතින් ලියන ලද මරණ සහතිකය වෙනුවට පරිගණක දත්ත පද්ධතියක් මඟින් මෙම ඩිජිටල් මරණ සහතික නිකුත් කිරීම සිදු කරනු ලබයි.

මෙලෙස ඩිජිටල් පද්ධතියක් මඟින් මරණ සහතික නිකුත් කිරීම හරහා යාවත්කාලීන කරන ලද පුද්ගල දත්ත පද්ධතියක් පවත්වා ගැනීමටත්, විවිධ ආයතන අතර කාර්යක්ෂමව දත්ත හුවමාරු කිරීමටත් හැකියාව ලැබෙන අතර ආරක්ෂිතව දත්ත ගබඩා කිරීම මඟින් තොරතුරුවල සුරක්ෂිතතාව ද තහවුරු වේ.

මෙහිදී  නිකුත් කරනු ලබන සෑම මරණ සහතිකයකම සත්‍යතාව පද්ධතිය හරහා ක්ෂණිකව පරීක්ෂා කරගත හැකි පරිදි විශේෂ QR කේතයක් අඩංගු කර ඇති අතර, මෙම සහතික මුද්‍රණය කරනු ලබන්නේ ආරක්ෂිත උපාංග ඇතුළත් කරන ලද විශේෂිත කඩදාසියක ය. මෙම පද්ධතිය යටතේ කළුතර දිස්ත්‍රික්කය මුල් කරගනිමින් නියමු ව්‍යාපෘතියක් ලෙස මුද්‍රණය කරන ලද පළමු සහතිකය කළුතර දිස්ත්‍රික් ලේකම් එච්. එම්. එස්. පී. හේරත් මහතා වෙත ප්‍රදානය කරන ලදී.

රෙජිස්ට්‍රාර් සේවයේ නව බඳවා ගැනීම්

2026.03.01 වන දින පවත්වන ලද විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල මත, කුසලතා අනුපිළිවෙලට සුදුසුකම් ලත් අයදුම්කරුවන්ගේ සම්මුඛ පරීක්ෂණ 2026.07.01 දින පවත්වන ලද අතර එහි ප්‍රතිඵල අනුව සුදුසුකම් සපුරාලූ අයදුම්කරුවන් 49 දෙනෙකු වෙත අද දින පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණි. මෙම නව නිලධාරීන් දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පවතින අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් පුරප්පාඩු සඳහා අනුයුක්ත කිරීමට නියමිත ය.

උත්සව සභාව ඇමතූ මහාචාර්ය චන්දන අබයරත්න මහතා දෙපාර්තමේන්තු ඉතිහාසය සහ නව නිලධාරීන්ගේ වගකීම පිළිබඳව මෙසේ සඳහන් කළේ ය.

“මේ දෙපාර්තමේන්තුවේ ඉතිහාසය 1864 දී ආරම්භ වුණාට, මේ අවශ්‍යතාව ආරම්භ වෙන්නේ ඊට වඩා බොහෝ කාලයකට පෙර. අනුරාධපුර යුගයේදීත් මේ අවශ්‍යතාව තිබුණා. ඒ නිසාම ‘ලේකම්ගේ’ කියන වෙනම කාර්යාංශයක් තිබුණා. එහි වැඩ කරපු නිලධාරීන් හැඳින්වූයේ ‘ලේකම්ගේ දරුවන්’ හෙවත් ‘ස්වාමි දරුවන්’ කියලා. ඒගොල්ලෝ තමයි උපත්, විවාහ, මරණ, ඉඩම් සහ වෙනත් සියලු තොරතුරු ලේඛනගත කරලා ආරක්ෂා කළේ. බටහිර ජාතීන්ගේ ආගමනයෙන් පස්සේ ‘තෝම්බු’ හැටියට සකස් වුණෙත් මේ තොරතුරුයි. එතකොට ඔබ පත්වෙන්නේ ජනතාවගේ එවැනි භාරදූර වගකීමක කොටස්කරුවන් බවටයි.

ජනතාව අපේක්ෂා කළ ඒ යහපත් සේවය ලබා දීමට අපි කෙතෙක් දුරට සමත් වුණාද කියන එක මත තමයි අපේ සේවයේ සාර්ථකත්වය තීරණය වෙන්නේ. 100% ක්ම ඒක සාක්ෂාත් කරගන්න බැරි වුණත්, අප ලබා දුන් සේවය පිළිබඳව තෘප්තිමත් වෙන්න පුළුවන් නම්, විශ්‍රාම යන දවසට සතුටින් විශ්‍රාම යන්න පුළුවන් වෙනවා.”

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  අමාත්‍යවරයා පෙන්වා දුන්නේ  උපතේ සිට මරණය දක්වා අවශ්‍ය සහතික ලබාගැනීමේදී ජනතාව මුහුණ දුන් කටුක අත්දැකීම් අනාගත පරපුරට මුහුණ දීමට සිදු නොවෙන ආකාරයෙන් කටයුතු කළ යුතු බවත් මරණාධාර සමිතියකින් ලබාදෙන සහනයක් ගැනීමට, රක්ෂණ වන්දි,  වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ආදී බොහෝ සහන ලබාගැනීමට ගන්න මරණ සහතිකය කඩිනමින් ලබා දීමට අවශ්‍ය බවයි.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.                                                                                                                                 

“1994 නැතිවුණු අයගේ මරණ සහතික තාම හදාගන්න බැරිවුණු පැමිණිලි අවම වශයෙන් 4-5 ක්වත් අපට සතියකට එනවා. දැනට ඒවා සැලකිය යුතු ප්‍රමාණයකින් අවම කරගෙන තිබුණත්, උප්පැන්න සහතික නැති දරුවෝ තාමත් ඉන්නවා. අද ආරම්භ කළ ඩිජිටල් පද්ධතිය හරහා මරණ සහතිකය කඩිනමින් ලබාදීමට හැකිවෙනවා. ඔබ පුරවැසි වගකීම සහ නිලධාරී භූමිකාව කියන දෙකම මැනවින් අවබෝධ කරගත්තොත් විශ්‍රාම යන දවසට සතුටින් යන්න පුළුවන්. ඔබේ සේවයට අදාළ යම් ගැටලු තිබේ නම් ඒවා නිරාකරණය කිරීමට රජය මැදිහත් වෙනවා.”

මෙහිදී අදහස් දැක්වූ පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත් මහතා මෙසේ අවධාරණය කළේ ය.

“රජයේ ප්‍රධාන අරමුණක් වන ඩිජිටල්කරණ ක්‍රියාවලිය ඇතුළේ, මෙතෙක් කල් තිබුණු පැරණි ක්‍රමවේද වෙනස් කරලා නවීන තාක්ෂණය ඇතුළත් කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මැදිහත් වී තිබෙනවා. මීට පෙරත් ලිපි ලේඛන ලබාගැනීමට අංකයක් ප්‍රසිද්ධ කළා වගේම, අද මරණ සහතික ලබාගැනීමේදී ඩිජිටල් ක්‍රියාවලිය හරහා ලබාගැනීමේ ඉඩකඩ කළුතර දිස්ත්‍රික්කයෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරනවා.

ජීවිතයේ කෙනෙකුගේ වැදගත්ම ලියකියවිලි තියෙන්නේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ. මිනිස්සුන්ගේ උපතේ සිට මරණය දක්වා අත්‍යවශ්‍ය වන ලිපිලේඛන තියෙන්නේ මෙතැනයි. කිසියම් සහතිකයක පුංචි අකුරක හෝ ඉස්පිලි-පාපිල්ලක වැරැද්දක් තිබුණොත්, එතැන් සිට දිවුරුම් ප්‍රකාශ ලියන්න වෙනවා. රාජ්‍ය ආයතනයකින් දෙන ලේඛනයක එවැනි පොඩි වැරැද්දක් තිබුණත් ඒක මිනිසෙකුගේ මුළු ජීවිතයටම බලපානවා. පාසලකින් නිකුත් කරන අස්වීමේ සහතිකයේ ගහන එක සටහනකින් ළමයෙකුගේ මුළු අනාගතයම, රැකියා අවස්ථා සහ ජීවිතයම තීරණය වෙනවා. එම වැරැද්ද මරණය දක්වාත්, මරණයෙන් පසුව ඔහුගේ සමීපතමයන්ටත් බලපානවා. ඒ නිසා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව කියන්නේ සාමාන්‍ය දෙපාර්තමේන්තුවක් නෙවෙයි; සමස්ත පුරවැසියන්ගේ වැදගත්ම ලේඛන සංරක්ෂණය කරන තැනයි.

අද මෙතන පත්වීම් ලබන 49 දෙනා භාරගන්නේ නිකන්ම නිකන් පත්වීම් ලිපියක් නෙවෙයි, විශාල වගකීම් සහගත ලිපියක්. ඔබ අද රාජ්‍ය සේවයට එකතු වෙනවා. හැබැයි ඔබ නිකන්ම නිකන් රාජ්‍ය සේවකයෙක් නෙවෙයි, වගකීමක් සහිත රාජ්‍ය සේවකයෙක්. "

මෙහිදී රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝකබණ්ඩාර, කළුතර දිස්ත්‍රික් ලේකම් එච්. එම්. එස්. පී. හේරත් යන මහත්වරු ද අදහස් දැක්වූ අතර මෙම අවස්ථාවට රෙජිස්ට්‍රාර් ජනරාල් එස්.ජලදීපන්, අතිරේක රෙජිස්ට්‍රාර් ජනරාල් ඒ.එම්.ආර්.එස්.කේ. අමරකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යාංශයේ හා  රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වී සිටිය හ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...