ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:2026 ජූලි 23 වැනිදා වන විට වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගීන් 80114ක් වාර්තා වී ඇති අතර ඩෙංගු රෝගය හේතුවෙන් සිදුව ඇති මරණ 59ක් දක්වා වැඩි වී තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.
වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ ජූලි මාසයේ වන අතර එය 24739ක් ලෙස දැක්වෙයි. ජුනි මාසයේදී ඩෙංගු රෝගීන් 21534ක් වාර්තා වී තිබේ.
මේ අතර වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. එය 42414ක් ලෙස සටහන් වී තිබේ.
එමෙන්ම ඩෙංගු අධි අවධානම් කලාප 175ක් ලෙස දැක්වෙයි.
මේ අතර වත්මන් ඩෙංගු රෝග ව්යාප්තිය සම්බධයෙන් ශ්රී ලංකා මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සංගමයද සිය අදහස් දක්වා තිබේ.
වර්ෂාව නොමැති පසුබිමක වුවද ඩෙංගු රෝගය තවදුරටත් ව්යාප්ත වෙමින් පවතින්නේ මහජනතාව ලෙස ඔබ නොසැලකිමත් ලෙස කටයුතු කිරීම හේතුවෙන් බව ශ්රී ලංකා මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ කොළඹ දිස්ත්රික්කයේ ලේකම් ගයාන් ප්රසංග මහතා පවසයි.
ඒ අනුව මේ දිනවල මදුරුවන් බෝවන ස්ථාන නිර්මාණය කර ඇත්තේ මිනිසුන් විසින්ම බව ගයාන් ප්රසංග මහතා අවධාරණය කරයි.
මේ වන විට රෝහල්ගතවන රෝගීන්ගේ යම් අඩුවක් පැවතියද නිවෙස් තුළ ප්රතිකාර ලබන ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දැකගත හැකි බවයි ඔහු සඳහන් කරන්නේ.
ජාතික ඩෙංගු මර්දන වැඩසටහන යටතේ තවදුරටත් සිදුකෙරෙන පරීක්ෂා කිරීම්වලදී නිවෙස් තුළ මදුරුවන් බෝවන ස්ථාන දැකගැනීමට හැකි බවත් වහාම ඒ පිළිබඳ අවධානය යොමුකර එම ස්ථාන පිරිසිදු කරගන්නා ලෙසත් ඔහු තවදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම ඔබ ඩෙංගු රෝගියෙක් බව තහවුරු වී නිවෙස තුළ හිඳිමින් ප්රතිකාර ලබන්නේ නම් වහාම ළඟම තිබෙන සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලයට හෝ මහජන සෞඛ්ය පරීක්ෂක වෙත දැනුම් දෙන ලෙසද ඔහු ප්රකාශ කරයි.
මන්ද අදාළ දත්ත එම රෝහල් මඟින් දත්ත ලැබී සෞඛ්ය වෛද්ය කාර්යාල වෙත ලැබෙන විට සති දෙකක් පමණ ප්රමාද වන හෙයින් ඒ වන විට රෝගය දැඩි ලෙස ව්යාප්ත වන නිසා වහාම කඩිනමින් එම දැනුම් දීම සිදුකර ජාතික ඩෙංගු මර්දන වැඩසටහන වෙත සහය දෙන ලෙස ගයාන් ප්රසංග මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියි.


