සටහන – නිශ්මං රණසිංහ
ජූලි 25, (LNW) කොළඹ :
පක්ෂයක නායකයෙක්ට ඒ තරම් සමීප විය හැකිද යන්න ලංකාවේ දේශපාලනය දකින කෙනෙක්ට විශ්වාස කළ නොහැකි තරම්ය.එහෙත් ඔහු සිටියේම මිනිසුන් අතරය.ඔහු මිනිස්සු ජාතියෙන්,ආගමෙන්,වෙනක් සමාජිය හෝ සංස්කෘතික කාරණාවලින් වෙන් කොට නොතැබීය.ඒ විවිධත්වයට සම අවස්ථා හිමිවීම,සියල්ල පොදුවේ ලාංකික ලෙස ජීවත්වීම යන සංකල්පවල කිදා බැස දිවි හිමියෙන් ඒ වෙනුවෙන් පෙනී සිටියේය.
විවිධ දේශපාලන සහ ආගමික දහරාවන්ගේ සියලු ප්‍රහාරයන් මේ උත්තරිතර මනුස්සකම ඉලක්ක කරමින් දේශද්‍රෝහී ලෙස හංවඩු ගැසුවත්,ඔවුන්ට දියුණු වීම හැර බාහු සහෝදරයාව මිල මුදල් වරප්‍රසාද හෝ වරදාන මත තමන්ගේ ගොඩට ඇඳ ගැනීමට නොහැකි විය.දේශපාලන ජීවිතයේ පළමු පියවරේ සිටිම කිසි විටෙක මේ රටේ මිනිස්සු බෙදා වෙන් කරන දේශපාලන දහරාවන්ගේ කුස්සිවල වැඩ භාර නොගත් මේ උත්තරීතර මිනිසා,සිය හුස්ම පොද සැඟව යන තෙක්ම ජාතිවාදයට ආගම්වාදයට මෙන්ම කිසිඳු ගෝත්‍රිකවාදී තත්ත්වයකට එකඟ නොවුණු,මේ රටේ සියලු පුරවැසියන්ට ලාංකිකයන් ලෙස හිමි විය යුතු වගකීම,ස්ථාවරය වෙනුවෙන් පෙනී සිටි අපූර්වතම මානව හිතවාදියෙකු විය.
වමේ පක්ෂ උතුරේ අරගලයේ දෙමළ මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතීන් පසෙකට කර තමන්ට දකුණේ දේශපාලනය වෙනුවෙන් සන්නද්ධ වෙන්නට,අරගල කරන්නට ඇති අයිතිය උතුරට ඔවුන්ගේ ජාතිය නිසාම අහිමි විය යුතු බව සිතමින් ආණ්ඩුවල යුද ජුන්ටාවන්ගේ නියෝජිතයන් ලෙස පෙනී සිටිද්දී බාහු,ඊට එරෙහිව පෙනී සිටිමින් උතුරේ මිනිසුන්ගේ දේශපාලනික අයිතිය මෙන්ම ප්‍රතිවිරෝධයන්ට ඇති දේශපාලනික අයිතිය වෙනුවෙන් ද සිය දිවි දෙවැනි කොට පෙනී උන්නේය.
තමන්ට සහ තමන්ගේ දැණුමට හිමි සියල්ල ඔහුට අහිමි කරමින් බාහුට රිද්දවා ආපමු හරවා ගන්නට දේශපාලන ව්‍යාපාර ගත් සියලු උත්සාහයන් අතර ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න,වැඩි වැඩියෙන් වැඩබිම්වල වෙනස්කම්වලට බඳුන් වන කම්කරුවාගේත්,පොදු බිම්වල ජාතිය ආගම ආදී විවිධ සමාජ සංස්කෘතික අනන්‍යතා නිසා බෙදී වෙන් කර සළකන මිනිසුන්ගේත් හදවතේ පතුලේම තැන්පත් වූ සහෝදරයා විය.කුමන ජඩ දේශපාලනික උවමනාවන් වෙනුවෙන් හෝ ඒ සහෝදරත්වය වෙනස් කර නොගත් සෘජුකම, ඒ බෙදා වෙන් කිරීමෙන් පීඩාවට පත් මිනිසුන්ගේ හදවත් තුළ සදාකාලිකව නින්නාද දෙන සහෝදරකමක් ලෙස පවතිනු ඇත.