කොළඹ 7 ආනන්ද කුමාරස්වාමි මාවතේ ගිනිබත් කළ දෙමළ වෙළඳ සැලක් – 1983 ජූලි
දශක හතරකට පෙර දිවයින දකුණු දිග සිසාරා සතියක් තිස්සේ ඇවිළ ගිය දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා විසින් බිලිගනු ලැබූ තුන් දහසකට වැඩි මිනිස් ජීවිතද, දේපළද ‘දෙමළ කුමන්ත්‍රණයකම’ ඵලයක් යැයි අලුත් ඉතිහාස සංස්කරණයක් දැන් දැන් පැතිර යයි. ඒ අනුව, දෙමළ ජනයාට හිමි ගේ දොර, යාන වාහන සමග මිනිස් ජීවිතද මහමග ගිනිබත් කළ වර්ග නාශක සංහාරය දෙමළ ජනයා විසින්ම ක්‍රියාවට නංවන ලද එකකැයි කියැවේ. මේ කතා මහත් අභිරුචියෙන් වැළඳ වැඩිමනත් ලෙස බෙදා හදා ගනු ලබන්නේ එකී සංහාරයෙන් දශකයකට හෝ දෙකකට පසු උපන් පරම්පරාවන්ට අයත් සාමාජිකයෝ වෙති. නමුත් මේ ඉතිහාස ශෝධක ප්‍රබන්ධ සාහිත්‍යය මගින් අපරාධ වැළලීමට මුලපුරන ලද්දේ එකී ප්‍රචණ්ඩ දවස් ඇසින් දැක, ඒ ගිනිබත් නගර ඔස්සේ රහස් සතුටින් ඇවිද ගියවුන්ම විසිනි.
කළු ජූලියට හතළිස් වසක් සම්පූර්ණ වන මේ ජූලි මාසයේදී ඒ වංචනික ඉතිහාස සංස්කරණයන් අලුතින් සොයාගත් පොදු සාමාන්‍ය ඥානයක් සේ පැතිර යයි. කළු ජූලිය සිහිපත් කොට පහන් දැල්වීම ත්‍රස්ත ක්‍රියාවක් වන්නේ ඒ ඥානයේ මහිමයෙනි.
අමතක කිරීම ජාතිකානුරාගය බවට පෙරළණු තැනක මිනිස් මතකය ද්‍රෝහීකමක් බව හැඟවේ. මෙතැන් සිට එළඹෙන දවස්වල අප විසින් පළකෙරෙන මෙම ලිපි මාලාව ඒ ‘ද්‍රෝහී මතකය’ පිළිවෙලින් ලියා තැබීමේ වෑයමකි. දක්ෂිණාංශික හුඹස්වලට වැද ඉතිහාස ප්‍රබන්ධ ලියන ඝෝර සර්ප සේනාවන්ට විස දුමාරයක් වන්නේ ඒ ඉතිහාසයයි.
අම්බලවානර් සිවානන්දන්
මෙහි පළකෙරෙන ලිපිය මුල්වරට පළ වූයේ, 2018 වසරේ ජනවාරි මාසයේ දිවිසැරිය නිමකළ කෘතහස්ත විද්වතකු වූ අම්බලවානර් සිවානන්දන්ගේ සංස්කරණයෙන් පළ කෙරුණු සුවිශිෂ්ඨ වාරික ප්‍රකාශනයක් වන Race & Class සඟරාවේ 1984 ගිම්හාන කලාපයේ ය. ඒ, Sri Lanka’s week of shame: an eye witness account මැයෙනි.
ශ්‍රීලංකාව තුළ දෙමළකු වීම නිසා ම ජීවිතයේ දෙවැනි වතාවටත් අවමන් විඳීමට මට සිදුවිය. ජූනියස් රිචර්ඩ් ජයවර්ධනගේ ‘ධර්මිෂ්ඨ සමාජය’ යටතේය.
(පළමුවතාව වූයේ 1958 වාර්ගවාදී දෙමළ ප්‍රහාරක සමයයි)
වාර්ගික ප්‍රචණ්ඩත්වය ලංකාව පුරා නිතර හොල්මං කළ ද, මින් පෙර ඒවා මැඩපවත්වන ස්වභාවයක් පැවතිණ. නමුත් මෙවර සියලු සීමා බිඳ වැටිණ. එය, අපමණ කොල්ලකෑම් ද, ගිනිතැබීම් ද, ඝාතන ද ගහණ නොසිතූ විරූ බියකරු නපුරු සිහිනයක් මෙන් විය. ඉතා සශ්‍රීක පැවති නිවෙස්, වෙළෙඳසැල්, කම්හල්, ගිනිලෑමෙන් දැවී හළු වී වහළ රහිත හිස් කළු කුහර බවට පත්ව තිබුණෙන්, කොළඹ දිස්වූයේ, පළින් පළ බෝම්බ හෙළා වනසා දමන ලද නගරයක් මෙනි.
වටහා ගැනීමට අපහසු භයංකරම කාරණය, එම වාර්ගික මෙහෙයුම මුළුමනින්ම පාහේ, කලින් සැළසුම් කර, ක්‍රියාවට නංවන ලද්දක් වීම ය. දෙමළ හා ඉන්දීය (සම්භවයක් ඇති දෙමළ) නිවෙස්, වළෙඳසැල් හා කම්හල් කල්තියා පැහැදිලිවම සිතියම්ගත කර තිබුණි. සියලු සංසිද්ධි, විශාල භූ ප්‍රදේශයක් පුරා ඉතා වේගයෙන් පැතිර ගියේ, ඒවා ස්වයං සිද්ධව පැන නැඟුණු බව ඒත්තු ගැන්වෙන ලෙස වුවත් සිද්ධීන් තුළ දක්නට වූයේ එකම ප්‍රහාරක රටාවකි. ‘බීබීසී’ය වාර්තා කළ පරිදි එය, ‘දෙමළ ජනයාගේ ආර්ථික පදනම මුළිනුපුටා දැමීම අරමුණු කරගත් ප්‍රහාරයකි’. එනයින් එය, දෙමළ වර්ග සංහාරය පිණිස වූ ප්‍රයත්නයකි.
මේ සියල්ලේ සැලසුම්කරුට, ඔහු පුල පුලා බලා සිටි මොහොත, උදාවෙමින් පැවතුණි. වෙනම දෙමළ රාජ්‍යයක් වෙනුවෙන් සන්නද්ධ අරගලයක නිරත, උතුරේ ඊනියා ත්‍රස්තවාදීන් විසින් මඟ රැක හිඳ, ප්‍රහාරයක් එල්ල කර, ජූලි 23 දා, රාත්‍රී 11.30ට පමණ, සිංහල සොල්දාදුවන් (සමස්තයක් ලෙස ගත් කල, ශ්‍රී ලංකා යුද හමුදාව සිංහලයන්ගෙන් සමන්විත වේ) දහතුන්දෙනෙකු ඝාතනය කිරීමත් සමග ම එම අපේක්ෂිත මොහොත උදා විය. සැණින්, වෙඩිනූල අවුලනු ලැබුණි.
සතියකට පෙර යුද හමුදාව විසින් උතුරේ ‘ත්‍රස්තවාදීන්’ දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කරනු ලැබ තිබුණි. ‘කොටි’ ලෙස, තමන්ව හඳුන්වා ගත් සටන්කාමී දෙමළ තරුණයන්ගේ සැළසුම වී තිබුණේ, එම ද්විත්ව ඝාතනයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ය. ඔවුහු කිහිපවිඩක්ම යුද හමුදාවට බොරු ඔත්තු ‘ඇම දෙමින්’, සිටිය හ.
ජූලි 23දින යුද හමුදාවට ‘ත්‍රස්තවාදීන් ගැවසෙන තැන්’ පිළිබඳ මීළඟ ‘බොරු ඔත්තුව’ ලැබුණි.
යුද හමුදා නියෝගයක්ව පැවති, රාත්‍රී මුර සංචාර තහනම, නොසලකා හළ සන්නද්ධ හමුදා සොල්දාදුවෝ රථ දෙකක නැඟී කඳවුරෙන් එළියට බට හ. ඔවුන්, ඉතා පහසුවෙන් ම, ප්‍රහාරයට ගොදුරුවනු ලැබුණි. මෙම වාහන දෙක පුපුරාවාලන්නට යොදාගනු ලැබ තිබුණේ, කන්කසන්තුරෛ සිමෙන්ති කම්හළෙන් සොරාගත් ඩෙටනේටරයකි. පිපිරුණු වාහනවලින් එළියට බට සොල්දාදුවන් වටකොට වෙඩි තැබුණි. ඉන් දහතුන්දෙනෙකු එතැනම මිය ගිය අතර දෙදෙනෙකු තුවාල ලැබීය.
ඉරිදාව
24 වැනිදා ඉරිදා කොළඹට මෙම ප්‍රවෘත්තිය ලැබුණි.
මරා දමන ලද හමුදා සොල්දාදුවන් දහතුන්දෙනාගේ අවසන්කටයුතු පිණිස, ආණ්ඩුව විසින් බොරැල්ල කනත්ත යොදා ගන්නට ගත් තීරණය නිසා අති විශාල සෙනඟක් ඒ කරා ඇදෙන්නට විය. මියගිය සොල්දාදුවන්ගේ සිරුරු, ඔවුන් ජීවත් වූ ගම්බිම් වෙත නොයවා කොළඹ මහා කන්තට ගෙන ඒමට ආණ්ඩුව තීරණය කෙළේ ඇයිදැයි කිසිවකුත් දැන සිටියේ නැත. ‘ත්‍රස්තවාදීන්’ට එරෙහිව සිංහලයන් අතර වෛරය වපුරා දේශපාලන අරමුණු නෙළා ගැනීමේ අදහසක් ඒ යට තිබූ බවට සැක සංකා පහළ වෙමින් තිබුණි. මේ අතර, දහස් ගණනක සිංහල සෙනඟ, වෝඩ් පෙදෙසේ පිහිටි ජනාධිපති නිවස (ඔහුගේ නිල නිවස නොවේ) වට කර මළ සිරුරු ඉල්ලා උද්ඝෝෂණය කරන්නට වූහ. සෙනඟට කඳුළු ගෑස් එල්ල විය. නමුත් ආණ්ඩුව උන්නේ පසු බසිමිනි. එම රාත්‍රියේ මෙම පිරිසෙන් කොටසක් සැළසුම් සහගත වාර්ගික ප්‍රහාරයට අවතීර්ණ වෙමින්, කනත්තට ආසන්න, රොස්මිඩ් පෙදෙසේ බොරැල්ල අන්තයේ වූ දෙමළ නිවාසවලට ගිනි තැබීම ඇරඹූහ.
හමුදාවට එල්ල වූ ප්‍රහාරය පිළිබඳ පුවත මා වෙත ලැබුණේ, එදින හවස හතට පමණ ය. සිදුවන්නට නියමිත භයංකර තත්ත්වය හඟිමින්, එනමුත් එසේ නෙවේවා යැයි පතමින්, දෙමළ ජනයා එකිනෙකා අතර දුරකතන ඇමතුම් හුවමාරු වන්නට විය. 25 වැනිදා, සඳුදා පාන්දර එකට පමණ මා අවදි වූයේ රොස්මිඩ් පෙදෙසේ දෙමළ නිවෙස් ගිනි ගනිමින් තිබෙන බවට සිංහල මිතුරෙකුගෙන් ලැබුණු දුරකථන ඇමතුමකිනි. දින ගණනක් පැවති බියකරු සිහිනයක ආරම්භය වූයේ එම දුරකතන ඇමතුමයි.
සඳුදාව
උදෑසන මුද්‍රණයෙන් පිටවන සියලු පුවත්පත්, ඝාතනයට ලක්වූ යුද හමුදා සෙබළුන් දහතුන්දෙනාගේ අවමඟුල් උත්සවය සියලු රාජ්‍ය ගෞරව සහිතව එදින උදෑසන පවත්වන්නට නියමිත බව කියැවෙන ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රකාශය ප්‍රධාන සිරස්තලය කරගෙන තිබුණේ, ආණ්ඩුව විසින් පැනවුණු ප්‍රවෘත්ති වාරණය ද නොතකමිනි.
මෙය අන් කිසිවක් නොව‍්, පැහැදිලිවම මහජනයා කුපිත කිරීම පමණක් ම අරමුණු කරගත් වාර්තාකරණයක් විය. බොරැල්ල කනත්ත අසලට රැස්ව සිටි දහස් සංඛ්‍යාත පිරිස් දස අත විහිදී යමින් දෙමළ ගොඩනැඟිලි කොල්ලකෑමත් ගිනිතැබීමත් ඇරඹූහ. හෝරා කිහිපයක් ඇතුළත, එදා මෙදා තුර අහසට නැඟුණු දරුණුම ගිනිජාලාවන්ගෙන් කොළඹ නගරය වෙලා ගැනුණි. වෙන් වෙන් වශයෙන් තෝරා බේරාගත් දෙමළ වෙළඳසැල් සහ නිවාස කොල්ලකා පුළුස්සා දැමුණේ, බොහෝ දෙමළ ජීවිත පවා විනාශකර දැමෙන අතර ය. පළමු දින දෙක තුළ පමණක් එය 500ක් දෙනා ඝාතනය කෙරී ඇති බවට ගණන් බලා තිබුණි. එමෙන් ම, පුළුස්සා දැමුණු 500කට අධික මෝටර් රථ සහ ලොරි රථවල සුන්බුන් මං මාවත් පුරා දක්නට ලැබුණි. දමිළ සහ ඉන්දියානුවන්ට අයත් රටබීමහල් කොල්ලකෑ මැරයෝ බීමත්ව සිටියහ. ඉන්දීය හිමිකාරීත්වයක් සහිත, ‘වික්ටෝරියා ස්ටෝර්ස්’ රටබීමහල් ජාලය මුළුමනින්ම කොල්ලකෑමට ලක්විය. දෙමළ නිවාස, වෙළඳහල් හා කම්හල් කල්තියාම සලකුණු කර තිබූ බවට කිසිදු සැක සංඛාවක් නොතිබුණි. ආණ්ඩු හිතවාදියකු ලෙස ප්‍රකට ප්‍රකෝටිපති ඒ.වයි. ඥානම් (ලෝක බැංකුව විසින් ණය මුදලක් අනුමත කළ එකම ධනපතියා ඔහු ය) හා බලපුළුවන්කාර මහරාජා සංවිධානය ද ඇතුළු, ප්‍රමුඛපෙළේ කෝටිපති දෙමළ හා ඉන්දීය ව්‍යාපාරික කර්මාන්ත හිමිකරුවන්ට අයත්ව තිබූ කම්හල් ජාලා දහහතක් බිමට ම සමතලා කර දැමුණි.
4000කට අධික ශ්‍රම බලකායක් සහිතව, කොළඹ තදාසන්න ප්‍රදේශවල පවත්වාගෙන ගිය, ඉන්දීය හිමිකාර ප්‍රකට ඇඟලුම් කම්හල් ජාලාවක් වූ හයිඩ්‍රාමනි සමූහ ව්‍යාපාරය මුළුමනින්ම විනාශයට පත් කරන ලදී. ඒ වනාහී, කේ.ජී. පුද්ගලික සමාගම, හෙන්ට්ලීස් ගාමන්ට්ස් සහ තවත් ප්‍රධානතම රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන ආයතනවල අපනයන සැපයුම් ලැබුණු කම්හල් ජාලාවයි. ඉන්දියන් ඕවර්සීස් බැංකුව සහ ඕමාන් බැංකුව ගිනිබත් විය. දෙමළ හිමිකාරීත්වය සහිත සිනමාශාලා රැසක් මුළුමනින්ම විනාශ කරන ලදී.
ලැයිස්තුව දිගු ය; නො නිමි ය.
දෙමළ ජනගහණය අධික උප නගරයක් වූ වැල්ලවත්ත දිස්වූයේ බෝම්බ හෙළා සුන්බත් කළ නගරයක් මෙනි. එය, මුළුමනින්ම පාහේ නැවත ගොඩනැගිය යුතු තරමේ විනාශයකි. පෙනී ගිය අයුරින්, දරුණුවටම විනාශ කර දමා තිබුණු භූමි කලාපය වූයේ , දෙමළ හා ඉන්දියානු වෙළඳ ප්‍රජාව ව්‍යාපාරික ආධිපත්‍ය දැරූ, කොළඹ අගනගරයේ වාණිජ මධ්‍යස්ථානය වූ පිටකොටුවයි. එකදු දෙමළ හෝ ඉන්දියානු ගොඩනැගිල්ලක් විනාශ නොවී ඉතිරිව තිබුණේ නම් ඒ අහම්බයකිනි.
ම්ලේච්ඡත්වය විසින් පෙන්නුම්කරන ලද වඩාම වේදනාකාරී අංගය වූයේ දෙමළ වෛද්‍යවරුන්ගේ නිවාස සහ ඖෂධ ශාලා ගිනිතබා විනාශ කිරීමය. ඔවුන් අතරින් සමහරෙක් සියවස් කාලකට අධික කාලයක් අඛන්ඩව සිංහල ප්‍රදේශවල පමණක්ම සේවය කර තිබුණි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රය, සුවිසල් ප්‍රතිශතයක් දෙමළ ජාතික වෛද්‍ය වෘත්තිකයන්ගෙන් සමන්විත වෙයි. කොළඹ මෙන්ම වෙනත් නගරවල ද, වෛද්‍යවරුන් එක් අයෙකුට වඩා ඝාතනය කර ඇති බවට කටකතා පැතිරෙමින් තිබුණි.
වඩා කැපී පෙනුණු කාරණය වූයේ, සියල්ල මෙසේ සිදුවෙමින් පැවතිය දී පොලීසිය සහ සන්නද්ධ හමුදා කිසිදු මැදිහත්වීමක් නොකර සිටීම ය. ඔවුන් මෙසේ ඇස්වසාගෙන සිටියා පමණක් නොව, ඇතැම් විට කොල්ලකෑම්වලට ද සක්‍රීයව දායක විය. මෙනයින් සාපරාධී ම අපරාධකරුවා වූයේ යුද හමුදාව ය. ලොරි රථ තුළ ගමන්ගනිමින් සිටි හමුදා භටයන් කොල්ලකරුවන්ට වෙත ඉතා උද්යෝගයෙන් අත් වනන අයුරු හා කොල්ලකරුවන් පෙරළා හමුදා භටයන්ට අතවනන ඇයුරු ඇසින් දුටු සාක්ෂි අතර පැවතුණි. මැරයන් විසිරුවා හැරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නො ගැනුණි. කඳුළු ගෑස් පවා භාවිතා කෙරුණේ නැත. සාපරාධී කල්ලි උන්නේ විශ්වාසයෙන් පවා සන්නද්ධව ය.
දවස පුරා එන්න එන්න ම ප්‍රචණ්ඩත්වය වර්ධනය වෙමින් පැවති බවට වාර්තා ගලා ආව ද, මා උන්නේ, පවුලේ අයවලුන් සමග වඩා ආරක්ෂිත ස්ථානයක් වෙත යාම පිළිබඳ විවාදයක පැටලීගෙන ය. අප ජීවත් වූයේ නගරය මධ්‍යයේ ය. හැතැප්ම බාගයක පමණ ඈතින් ගිනිගනිමින් තිබූ දෙමළ නිවාසවලින් නැගෙන දුම් රොටු දෙස අප බලා සිටිය ද තත්ත්වය සමනය වනු ඇතැයි යන අපේක්ෂාව මත මම තීරණයක් ගැනීම මඟ හරිමින්, කල් මරමින් සිටියෙමි.
ඒ මොහොත වන විටත් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළත් දෙමළ සරණාගත පවුල් තුනක් අප නිවසේ කඳවුරු බැඳ සිටි හ. ඔවුන්ගේ නිවාස පහරදීමට ලක්ව තිබුණි. තත්ත්වය වඩා නරක අතට පෙරළමින් දුරකථන මාර්ග අවහිර විය. අප නිවසේ පමණක් නොව, යාබද සියලු දුරකථන ද ක්‍රියා විරහිත විය. අපි මුළුමනින්ම බාහිර සබඳතාවන්ගෙන් විසන්ධිව ගියෙමු. සවස පහ පමණ වද්දී, යාර සියයක් තරම් මෑතක, ගිනි තබා තිබූ නිවාස දෙකකින් දුමාරය මතු විය. අප හමුවේ තිබුණේ තවතවත් ලතැවිය නොහැකි තත්වයකි. වැඩිහිටියන් අට දෙනෙකු සහ දරුවන් තිදෙනෙකු වූ අප කණ්ඩායම නිවස පිටුපස උස් තාප්පයෙන් පැනගත්තේ තාප්පයෙන් එපිට වූ මුස්ලිම් නිවසේ නවාතැන් පතමින් ය. ඒ නිවසේ ඉස්තෝප්පුවේ අපි එක පොදියක ගුලිවී නිශ්ශබ්දව සිටියෙමු. අප වෙලාගෙන තිබුණේ යළි කිසිදවසක දකින්නට සිහිනයකිනුදු නොපතන ඒ භයංකර නපුරු සිහිනයයි.
(මතු සම්බන්ධයි)
(TheLeader )