- සටන උග්‍රයි – සිවු කොන් සටනක ලකුණු
- තීරණාත්මක කොටස් ගණනාවක්
- පිල්මාරු සමඟ දේශපාලන රංගන දිගටම
- දේශීය ආර්ථිකයක අවශ්‍යතාව
- පහළොවේ බිත්තරේ හතලිහට දෙන හැටි
- පිල්මාරු දිගටම
ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)
නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): ජනාධිපතිවරණ සටන ආරම්භවී තිබේ. මේ වන විට පෙනෙන ආකාරයට එය සිවුකොන් සටනක් දක්වා මේ වන විට ගමන් කර තිබේ.මෙවර ජනාධිපතිවරනයේ දී ලක්ෂ 170 කට වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කරන්නට සුදුසුකම් ලබා තිබේ. එයින් සියයට අසුවක් ඡන්ද ප්‍රකාශ කළහොත් ලක්ෂ 140 ක් පමණ ඡන්ද ප්‍රකශ කරනු ඇති අතර එයින් සියයට පනහක් යනු ලක්ෂ හැත්තාවක් පමණවේ. ඒ අනුව මෙවර සුළු ජාතික ඡන්ද, තරුණ ඡන්ද, රජයේ සේවකයන් මෙන්ම පාවෙන ඡන්ද තීරණාත්මක වනු ඇත. දැනට පෙනෙන ආකාරයට තවමත් කිසිදු අපේක්ෂකයකු සියයට පනහක ප්‍රතිශතය ලබා ගනු ඇතැයි පෙනෙන්නට නැත. කෙසේ වෙතත් ඒ නිසා සටන තවත් උග්‍ර ය.
ජනතා අභිලාශයන්
සියලු අපේක්ෂකයන්ට තමන් IMF යෝජනාවලිය සම්බන්ධයෙන් ගන්නා පියවර රට හමුවේ කිව යුතුව තිබේ. යෝජිත නිවාස බද්ද, ඉඩම් බද්ද, රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය ආදී කරුණු මෙන්ම බදු ප්‍රතිපත්තිය වැනි කරුණු පිළිබඳව ද නිසි ප්‍රතිපත්තිය රටට ප්‍රකාශ කල යුතුව තිබේ. එවිට ජනතාවට තීන්දු තීරණ ගත හැක.
එසේම තමන් ප්‍රකාශ කරන ප්‍රතිපත්ති මාලාවට පිටින් කිසිවක් නොකරන බවට කිසියම් හෝ ප්‍රතිඥාවක් ජනතාවට ලබාදිය යුතුව තිබේ. ඒ මෙතෙක් සිදුවූයේ බොරු පොරොන්දු ලබාදී බලයට පැමිණෙන පුද්ගලයන් තමන් මැතිවරණවලදී ප්‍රකාශයට පත්කරන ප්‍රතිපත්ති මාලාවේ කිසිසේත් අඩංගු නොවන දේ සිදු කිරීම ය. රටේ ප්‍රධාන ප්‍රශ්න, ජීවන වියදම, දේශීය නිෂ්පාදනය, රැකී රක්ෂා, බිඳවැටුනු කර්මාන්ත යළි නගා සිටුවීම, සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහනය, ටියුෂන් ආදී අංශ මෙන්ම නාස්තිය හා දූෂණය වලක්වන ක්‍රමවේද සියලු අපේක්ෂකයන් විසින් රටට ජනතාවට ප්‍රකාශ කල යුතු ය. එසේම කිසියම් දුෂණ වංචා සිදුවීමකදී ඒ සම්බන්ධයෙන් පියවර ගතහැකි ක්‍රමවේද නිශ්චිතව රටතුල නිර්මාණය නොකළහොත් ආර්ථික වශයෙන් දැනට බිඳ වැටී ඇති මේ රට යළි දියුණු කිරීම කල නොහැක.
ජනාධිපතිවරණ අපේක්ෂකයන්
ජනාධිපතිවරණය අප කලින් පැවසු පරිදිම සැප්තැම්බර් 21 වැනිදාට පවත්වන්නට නියමිතව තිබේ. මේ වන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තම අපේක්ෂකත්වය ප්‍රකාශ කර ඇති අතර ඔහු ඇප මුදල් තැන්පත් කර ඇත්තේ ස්වාධීන අපේක්ෂකයකු ලෙස ය. මේ වන විට විවිධ පාර්ශව ඒ ඒ අපේක්ෂකයා වෙත සම්බන්ධ වෙමින් හෝ සහාය දක්වමින් පවතී. පොහොට්ටුවේ සහය රනිල් වික්‍රමසිංහ හට ලබා නොදෙන බව ප්‍රකාශවී ඇති අතර ඒ සමගම පොහොට්ටුවේ මන්ත්‍රීවරු විශාල පිරිසක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙත සහය දැක්වීමට ඉදිරිපත්වී සිටිති. ඇතැමුන් සිතන්නේ මෙය කිසියම් හෝ නාටකයක් බව ය . එහෙත් ජනාධිපතිවරණයට දින පනස් ගණනක් තිබියදී එවැනි නාටකයකින් දෙපාර්ශවයටම හානි මිස යහපතක් වන්නේ නැත. එම නිසා රටේ සිදුවෙමින් පවතින්නේ කුමක් දැයි බොහෝ දෙනෙකුට තේරෙන්නේ ද නැත. සාමාන්‍ය ජනතාවට රටේ සිදුවෙමින් පවතින්නේ කුමක්දැයි වැටහෙන්නේ නැත. ඒ තරමට තත්වය ව්‍යාකූල ය. කෙසේ වෙතත් බොහෝ දෙනෙකු මේ මොහොතේ සිතන්නේ මීළඟ පාර්ලිමේන්තුවට පැමිණෙන ආකාරය ගැනය. දේශපාලනයේ දී පාර්ලිමේන්තුවට පැමිණීම අනිවාර්ය අංගයක් බැවින් එහි වරදක්ද නැත. එසේම දේශපාලනයේ සදාකල් සතුරෝද නැත. මිතුරෝද නැත. එදා රනිල්ට අපහාස කල බොහෝ දෙනාට අද රනිල්ට වඩා වීරයෙක් නැත. එදා මහින්ද රාජපක්ෂ සහ රාජපක්ෂවරු වීරයන් ලෙස සැලකූ වැඳුම් පිදුම් කල ඇතැමුන්ට අද රාජපක්ෂවරු නයාට අඳුකොළ මෙනි. ජනතාවට මේවා අලුත් දෙයක් නොවේ. පක්ෂ දේශපාලනයේ හැටි එසේ ය. වර්තමානයේ ජනතාව දක්වන ආකල්ප සහ අදහස් අනුව මීළඟ පාර්ලිමේන්තුවේ වැඩි ප්‍රමාණයක් නවක මුහුණු වනවාට සැකයක් නොමැත. ජාතික ලැයිස්තුවෙන් පැමිණිය හැකි මන්ත්‍රී ධුර ප්‍රමණය 29 ක් පමණක් නිසා ජනතාවගේ උදහසට ලක්වන පිරිස් වලට තවත් වසර පහක් පමණ නිවසටවී කල් ගත කරන්නට සිදුවනු ඇත.කෙසේ වෙතත් 2024 ජනාධිපතිවරනයට මේ දක්වා රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ. එස්. පී. ලියනගේ, සජිත් ප්‍රේමදාස සහ පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක ඇප මුදල් තැන්පත්කර ඇත.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාලනය
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පසුගිය දෙවසරක පාලන කාලය සම්බන්ධව යම්යම් විවේචන ඇතත් පොදුවේ ඔහු ගත් ක්‍රියාමාර්ග වලින් රට යම් තැනකට අද වන විට පත්ව ඇති බව බොහෝ දෙනෙකු පිළිගන්නා කරුණකි. එහෙත් සාමාන්‍ය ජනතාවට ජීවත්වීමට අසීරු ස්ථානයකට රට පත්ව ඇති බවද ඒ සමගම අප පිළිගත යුතුව තිබේ. විශේෂයෙන්ම ඔහු ඩොලරයේ අගය අඩුකරන්නට බොහෝ සාධනීය ක්‍රියාමාර්ග ගත්තද ඒ තුලින් භාණ්ඩ මිල අඩු කරන්නට ඔහුගේ වෙළඳ ඇමතිවරයා අපොහොසත්වීම නිසා ජනතාව ඉදිරියේ අපහසුවට පත්ව සිටින්නේ ජනාධිපතිවරයා ය. කොටින්ම කිවහොත් ඩොලරයේ අගය අඩුවීමේ වාසිය ලබා ගෙන ඇත්තේ සංවිධානාත්මක ව්‍යාපාරික මාෆියාව විසිනි. ඇතැම් තරුණ ඇමතිවරුන් හොඳින් වැඩ කලත් ඇතැමුන් ඒ හරහා අනේක විධ ආකාරයට හරිහම්බ කර තිබේ.මේ නිසා ලෝක වෙළඳපොලේ මිල ගණන් වලට වඩා භාණ්ඩ හා සේවා වෙනුවෙන් විශාල මුදලක් ගෙවන්නට රටේ ජනතාවට සිදුව තිබේ. මේ නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලින් අසීමිත ලෙස ගසා කන මාෆියාව සම්බන්ධයෙන් මෙවර පත්වන ජනාධිපතිවරයා පියවර ගත යුතුව තිබේ. උදාහරණයක් ලෙස අසල්වැසි ඉන්දියාවේ රුපියල් 4.11 ක් වන බිත්තරයක් (ශ්‍රීලංකා රුපියල් 15 ක් ) අපේ රටේ රාජ්‍ය ආයතනයක් වන STC ආයතනය
හරහා ගෙන්වා රට තුල අලෙවි කලේ රුපියල් 40 ත් 50 ත් අතර මුදලකටය. කුකුල් ආහාර සඳහා බඩ ඉරිඟු මාස තුන හතරක් තුල වගා කල හැකිව තිබියදී මුළු කුකුල් පාලන කර්මාන්තයම විනාශ වන ආකාරයට කටයුතු සිදුවිය. මේවාට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කිසිදු සම්බන්ධයක් නැති වුවද අදාළ අංශ භාරව සිටි පිරිස් නිසා නරක නාමය පොදුවේ රජයට ය.
පොහොට්ටුවේ තීරණය
ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදී පොහොට්ටුව ලකුණ යටතේ වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පසුගිය දා තීරණය කළේය.
මේ තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී ය.
එම රැස්වීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවට ඉදිරිපත්වූ යෝජනාව වැඩි ඡන්ද 68කින් සම්මත වූ බව ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ පවසයි.
පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ඉදිරිපත් කෙරුණු යෝජනාවට පක්ෂව ඡන්ද 68 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 11 ක් පමණි.කෙසේ වෙතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුදැයි එහිදී තීරණය නොකෙරිණ.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලයට සාමාජිකයෝ 82ක් ඇතුළත්වෙති.එහෙත් මෙම රැස්වීමට සහභාගි වූයේ නියෝජිතයන් 79 දෙනෙකු පමණි.ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී රැස්විය.
පොහොට්ටුව කැඩෙයි
තවද පොහොට්ටුවෙන් පිට අපේක්ෂකයකු සදහා සහය දෙන අයට විරුද්ධව විනය පියවර ගැනීම සදහා වූ යෝජනාවට විරුද්ධ වූයේ 06 දෙනෙකු පමණි.ඒ අනුව පක්ෂය ඉදිරිපත් කරන අපේක්ෂකයා ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරීමට සූදානම් බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම ඡන්ද විමසීමෙන් අනතුරුව විවිධ කතාබස් ඇතිවීමෙන් එම සභාවේ දැඩි උණුසුම්කාරී තත්වයක් ඇතිවිය. මහින්දානන්ද අලුත්ගමගේ, ආචාර්ය බන්දුල ගුණවර්ධන, ප්‍රදීප් උදුගොඩ, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, සහන් ප්‍රදීප්, රමේෂ් පතිරණ කාංචන විජේසේකර ප්‍රසන්න රණතුංග පක්ෂයෙන් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ඉදිරිපත් වූ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අය අතර වූහ. ඔවුන්ගේ මතය වුයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දැක්විය යුතු බවය. කෙසේ වෙතත් මෙහිදී බොහෝ උණුසුම් වාද විවාද හට ගෙන තිබිණි.
මේ සම්බන්ධයෙන් පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසුවේ ජයග්‍රහණය කළ හැකි සුදුසුම අපේක්ෂකයා ඉදිරිපත් කරන බවයි. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද වනතුරු සහාය ලබාදුන් බවත් පොහොට්ටුව ලකුණ යටතේ වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට දේශපාලන මණ්ඩලයේදී තීරණය කළ බවද ඔහු සඳහන් කළේය.
මේ අනුව පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යාපාරික ධම්මික පෙරේරා ඉදිරිපත් කරන්නට නියමිත බව සඳහන් ය. කෙසේ වෙතත් බොහෝ දෙනෙකු සිතන්නේ මේ තීරණය පසුපස විශාලතම කාර්යභාරයක් සිදු කලේ නාමල් රාජපක්ෂ බව ය. එසේනම් නම් ඔහු ගෙන ඇත්තේ අනාගතය ගැන සිතා දේශපාලනමය තීරණයකි.
පොහොට්ටුවේ ඉල්ලීම්
මීට පෙර පොහොට්ටුව මාස කීපයක සිට ඉල්ලා තිබුනේ මුලින් මහා මැතිවරණය පවත්වන ලෙසට ය. එහෙත් ඊට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විරුද්ධ විය.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වූ පසු සහය ලබා දෙන්නට නම් ඒ වෙනුවෙන් ඉල්ලීමක් කරන ලෙස පොහොට්ටුවෙන් ලැබුණු ඉල්ලීම අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පසුගිය දා ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරණයේදී තමාට සහය දෙන ලෙස ඉල්ලීමක් කළේය. අගමැති අපේක්ෂකත්වය හා දේශපාලන පක්ෂයකින් ඉදිරිපත්වීම යන කාරනා පොහොට්ටු පාර්ශවයෙන් ඉදිරිපත්වූ අතර ඒ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එකඟතාවයක් නොදැක්වීම නිසා පොහොට්ටුවේ සහය ජනාධිපතිවරයාට නොලැබුණු බව සඳහන් ය.
මීළඟ මහා මැතිවරණය
කෙසේ වෙතත් පොහොට්ටුවේ සැලකියයුතු පිරිසක් පොහොට්ටුවෙන් වෙන්ව ගොස් මේ වන විට ජනාධිපතිවරයා සමග එක්ව සිටිති. ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් පැවසෙන්නේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු 92 ක් ඔවුන් සමග කටයුතු කරන බව ය. එහෙත් පොහොට්ටුව පවසන සංඛ්‍යාව ඊට අඩු ය. සමහර මැති ඇමතිවරුන් පවසන්නේ තමන් ජනාධිපතිවරනයේ දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය දැක්වුවද තවමත් පොහොට්ටුවේ සාමාජිකයන් බව ය. පක්ෂය හැරදා ගිය පිරිස් සම්බන්ධයෙන් ඉදිරියේ දී විනය පියවර ගන්නා බව පොහොට්ටු ප්‍රධානීන් දැනටමත් ප්‍රකාශ කර තිබේ. එසේ විනය ක්‍රියාමාර්ග ගත්තද ජනාධිපතිවරණයෙන් කවුරුන් ජයගත්තද පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අනිවාර්ය බැවින් තමතමන් ඉදිරියේ දී මහමැතිවරණයට තරග කරන පක්ෂය හෝ සන්ධානය තෝරාගන්නට මේ වන විට මැතිඇමතිවරුන්ට සිදුව තිබේ.
ශ්‍රීලනිප සහය රනිල්ට
ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පූර්ණ සහාය පළ කරන බව ශ්‍රී ලංකා නිදහස පක්ෂ මධ්‍යම කාරක සභාව දැනුම් දී ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී මේ බව ප්‍රකාශ කළේය. මේ වන විට ශ්‍රීලංකා නිදහස් පක්ෂය කොටස් තුනකට කැඩී ඇති අතර නිමල් සිරිපාල, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර , දුමින්ද දිසානායක ඇතුළු පිරිස් මෙසේ ජනාධිපතිවරයාට සහය දක්වති.
සජිත් වෙනුවෙන් ඇප තැන්පත් කරලා
සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබේ.
පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ගොස් ඇප මුදල් තැන්පත් කරනු ලැබීය.
ලබන 8 වැනිදා සමගි ජන බලවේගයේ ප්‍රධානත්වයෙන් සමගි ජන සන්ධානය ආරම්භ කරන්නට නියමිතය.
අනතුරුව ජනාධිපතිවරණය තෙක් සජිත් ප්‍රේමදාස සහභාගිවන ප්‍රචාරක රැස්වීම් 100 ක් රට පුරා පවත්වන්නට නියමිතය.
ශ්‍රීලංකා මුස්ලිම් කොන්ගසයේ සහය මෙවර සමගි ජන බලවේගය වෙත ලබාදීමට නියමිතය.
කවුරු ගියත් ඡන්දදායකයන් පක්ෂය හැර නොයන බව ජොන්ස්ටන් කියයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කවුරු ගියත් ඡන්දදායකයන් පක්ෂය හැර නොයන බවත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා හැර කවුරු පක්‍ෂය හැර ගියත් ඔවුන්ට ඡන්ද රැගෙන යා නොහැකි බවත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 92 ක් පක්‍ෂයේ තීරණයට විරුද්ධ වී නොමැති බවත් එම පිරිසේ සමහරුන් එහෙත් මෙහෙත් සිටිමින් රඟපෑමක් කරන බවත් කොළඹදී ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තතු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා ළගට ගොස් සියින අයත් මහින්ද රාජපක්‍ෂ ගේ පිංතුරය ගහගෙන පාර්ලිමේන්තුවට ආපු අය බව කී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඔවුන් ගමට ගොස් මහින්ද මහත්තයා අගමැති කරන්න ප්‍රාදේශීය සභා අපේක්‍ෂකයට ඡන්දය දෙන්න කියපු අය බව ත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද පදනම මහින්ද රාජපක්‍ෂ මත තිබීම නිසා ජනතාව පක්‍ෂය හැර නොයන බවත් ගිය අය ඡන්ද 200 ක්, 500 ක් හෝ 1000 ක් ගෙනියනු ඇති බවත් කීය.
කවුරු ගියත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොවැටෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරු තුනක් තියාගෙන රටක් කළඹන බවත් පක්‍ෂය හැරදා ගිය පිරිස යෑමට හේතුව කුමක්ද යන්න ජනතාව දන්නා බවත් පක්‍ෂය රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දෙන්න තීරණය කළේ නම් ඔවුන් සජබෙට යන බවත් එසේ වූයේ නම් නඩු බේරගන්න ගියේ යැයි පවසන බව කී ජොන්ස්ටන් ප්‍රනාන්දු අලුත් ඡන්ද ලක්‍ෂ 15 කට වැඩියෙන් ගතහැකි අපේක්‍ෂකයෙක් තම පක්‍ෂයෙන් ඉදිරිපත් කරන බවත් පැවසීය.
පිල් මාරු දිගටම
ඉදිරි දින කීපයතුල පිල්මාරු ගණනාවක් සිදුවනු ඇතැයි අපේක්ෂිත ය. ඒ අනුව පොහොට්ටුවේ පිරිසක් දැනටමත් ජනාධිපතිවරයාට සහය දක්වන්නට ඉදිරිපත්ව තිබේ. පොහොට්ටුවේ තවත් පිරිසක් සමගි ජනබලවේගයට එක්වන්නට නියමිතය. මේ අතර සමගි ජන බලවේගයේ කීප දෙනෙකු ජනාධිපතිවරයාට එක්වන්නට නියමිත බව පැවසේ.
කොලම්කරු හා සම්බන්ධ වීමට:
[email protected]
WhatsApp: +13472050049
